දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මිනිසා මෙන්ම වන සතුන් ද මිහිතලයේ ස්වභාවික උරුමක්කරුවන් වූවත් ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් නිසා බොහෝ අවස්ථාවල වන සතුන්ගේ උරුමය තර්ජණයට ලක්වන අවස්ථා දැකගත හැකියි. එවැනි පසුබිමක් තුළ මිනසුන් විසින් වන සතුන්ගේ පැවැත්ම සුරැකිම වෙනුවෙන් නව අදහස් ඉදිරිපත් වන අවස්ථා ද දැකගත හැකියි. ඒ අකාරයට වඳුරන් සහ ලේනුන් වැනි වන සතුන්ට අනතුරුවලින් වැළකී කාර්යබහුල මාර්ග හරහා ගමන් කළ හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ලණු වියන් පාලම් ඉදිකර ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව සිදු කළ විමසා බැලීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ලෝකයේම අවධානය දිනා ගත් ශ්‍රී ලංකාවේ “වියන් පාලම්” යනුවෙන් සඳහන් කරමින් පැහැදිලි කිරීමක් ද සහිතව මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ, මාර්ගයක් හරහා ලණුවලින් බඳින ලද වියන් පාලමක් මතින් වඳුරෙකු සහ ලේනෙකු ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද සමගයි.
ඡායාරූපයට පහතින් ශ්‍රී ලංකාව වඳුරන්ට සහ ලේනුන්ට ආරක්ෂිතව මාර්ග හරහා එහා මෙහා ගමන් කිරීම සඳහා ලණු වියන් පාලම් ඉදිකරයි යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබේ.
මීට අමතරව ඡායාරූපය පිළිබඳ විස්තරයේදී වැඩිදුරටත් පවසා ඇත්තේ, වන ජීවින් ආරක්ෂා කිරීමටත්, මාර්ග හරහා ගමන් කිරීමේදීත් සිදුවන වනජීවි මරණ අවම කර ගැනීමටත් මෙය සාර්ථක උත්සාහයක් බවයි. මෙමගින් වඳුරන්, ලේනුන් වැනි සතුන්ට පහසුවෙන් හා ආරක්ෂිතව එහා මෙහා යා හැකි බවත් එම වියන් වනාන්තර අතර ඇති මහාමාර්ගවලට ඉහළින් යොදා ඇති බවයි.
මෙම සමාජ මාධ්‍ය සටහනින් අදහස් කෙරෙන්නේ, මෙවැනි ලණු වියන් පාලම් ඉදි කිරීම දැනටමත් ආරම්භ වී ඇති බවයි.
මේ අතර ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති මෙම සටහන සත්‍ය යැයි සිතා පරිශීලකයින් අදහස් පළ කර තිබුණේ මේ අයුරිනි.
ඉංග්‍රීසි භාෂාවෙන් හුවමාරු කරගන්නා ලද තවත් ෆේස්බුක් සටහනක දැක්වුණේ, ශ්‍රී ලංකාවේ, වඳුරන් සහ ලේනුන් වැනි වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා කල් පවතින ලණු හෝ දැල් යොදා ගනිමින් සාදන ලද ලණු වියන් පාලම්, සිංහරාජ වැනි වනාන්තර අසල ද උපායමාර්ගිකව ස්ථානගත කර ඇති බවයි.
වන සතුන්ට වනාන්තර අතර මාර්ග හරහා එහාමෙහා මාරුවීමට ලණු වියන් පාලම් සවි කර ඇති බවට ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද තවත් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් මෙතැනින් Archived Link සහ මෙතැනින් Archived Link
ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි සත්‍ය ලෙසම වන මේ වනවිට ශ්‍රී ලංකාවේ ලණු වියන් පාලම් ඉදිකර තිබේද සහ එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව විමසීමක් සිදුකිරීමට මෙලෙස පියවර ගත්තේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වඳුරන්, රිලවුන් යනු පසුගිය සමයේ මෙන්ම නිරන්තව මෙරට කතාබහට ලක්වන වන සත්ත්ව කොට්ඨාසයකි. මෑතකදී සිදු වූ සත්ත්ව සංගණනයේදී මෙන්ම නිරන්තරව වඳුරන්, රිලවුන් නිසා සිදුවන වගා හානි, ජන ජීවිතයට වන බලපෑම් පිළිබඳව මාධ්‍ය වාර්තා නිරන්තරව දැකගත හැකියි.
එවැනි පසුබිමක් තුළ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ලණු වියන් පාලම් ඉදි කිරීමක් සිදුවූයේ නම්, ඒ පිළිබඳව මෙරට මාධ්‍ය වාර්තා කර තිබිය යුතු ය. එහෙත් අප සිදු කළ කරුණු පරීක්ෂාවන්හිදි මෙරට මාධ්‍ය කිසිවක් මෑතකදී එවැනි ඉදි කිරීම් සිදු කළ බවට හෝ එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බවට වන පුවත් හෝ වාර්තා කර තිබෙනු දැකගත නොහැකි විය.
මීට වසර 3කට පෙර සීගිරිය – ඉනාමළුව මාර්ගයේ ඉදිකළ වියන් පාලමක්..
තවදුරටත් අප සිදු කළ කරණු පරීක්ෂාවේදී අනාවරණය වූයේ, වසර කිහිපයකට ඉහතදී එනම් 2022 වසරේදී ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සීගිරිය – ඉනාමළුව මාර්ගයේ එවැනි එක් වියන් පාලමක් ඉදිකර ඇති බවයි. ඒ වඳවීමේ තර්ජනයකට ලක්ව සිටින දම් පැහැති මුහුණැති ලැන්ගර් (කළු වඳුරන්) සහ අනෙකුත් වන සතුන් ප්‍රදේශයේ මාර්ග හරහා ගමන් කිරීමේදී සිදුවන මරණ වළක්වා ගැනීමේ අරමුණිනි.
වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ සභාපති ජෙහාන් කනගරතන මහතා 2022 වසරේදී Ceylon Today පුවත්පතට පැහැදිලි කර තිබුණේ, මෙම වියන් පාලම ඉදි කිරීමෙන් එම ප්‍රදේශයේ වඳුරන් ඇතුළු වන සතුන්ගේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට අපේක්ෂා කරන බවයි. එක් දිනක් තුළදී ඉදි කරන ලද අඩි 60ක් පමණ දිගකින් යුත් මෙම වියන් පාලම නයිලෝන් දැලක් සහිතව වානේ කේබල් දෙකක් භාවිත කරමින් ඉදි කර ඇත.
මුල් දින කිහිපයේ වඳුරන් මේ හරහා ගමන් කිරීමට මැලිකමක් දැක්වූව ද පසුව ක්‍රමයෙන් ඔවුන් ඒ හරහා ගමන් කරන අයුරු නිරීක්ෂණය කළ බවත් පසුකාලීනව එම ප්‍රදේශය ආශ්‍රිතව මාර්ග අනතුරුවලින් විශේෂයෙන් දම් පැහැති මුහුණැති ලැන්ගර් (කළු වඳුරන්)ගේ මියයාම් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවී ඇති බවත් අදාළ පුවත්පත් වාර්තාව වැඩිදුරටත් සඳහන් වේ. පුවත් වාර්තාව මෙතැනින්
මේ අතර සීගිරිය – ඉනාමළුව මාර්ගයේ ඉදිකරන ලද මෙම වියන් පාලම තවදුරත් ක්‍රියාත්මක වන්නේ දැයි, අප සීගිරිය වනජීවි කාර්යාලයෙන් විමසා සිටි අතර ඔවුන් පැවසුවේ, එය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
තව ද වඳුරන්, ලේනුන් වැනි සුළු සත්ත්වයින් පිරිසකට පමණක් ඒ හරහා ගමන් කළ හැකි බවත් මෙම වියන් පාලම ඉඳි කිරීම නිසා වාර්තාවන මාර්ග අනතරු නිසා සිදුවන වන සත්ව මරණ සංඛ්‍යාව අඩුවී ඇති බව ද එම කාර්යාලය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ වියන් පාලම් ඉදිකිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මකයි ද?
සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල වියන් පාලම් ඉදි කර ඇති බවට සටහන් පළ වී තිබීම තුළ රට පුරා මෙවැනි ව්‍යාපෘතියක් දියත් කර තිබේදැයි, අප කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගත්තේ ය.
මේ සම්බන්ධයෙන් වන ජීවි දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ, සීගිරිය – ඉනාමළුව මාර්ගයේ ඉහත සඳහන් කළ වියන් පාලමට අමතරව වෙනත් කිසිදු ස්ථානයක වන සතුන් වෙනුවෙන් එවැනි වියන් පාලම් ඉදි කර නොමැති බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල යම් අපැහැදිලිතාවක් ඇති බවයි.
සීගිරිය – ඉනාමළු වියන් පාලම ශ්‍රී ලංකාවේ දැනට ඇති එකම වියන් පාලම වන අතර අත්තිඩිය තෙත්බිම් ආශ්‍රිතව දෙවන වියන් පාලමක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සැලසුම් කරන බව පවසා තිබුණ ද වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ, එවැනි වියන් පාලමක් හෝ මෙතෙක් ඉදි කර නොමැත.
මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර ඔවුන් ද කියා සිටියේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ වියන් පාලම් ඉදි කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් සැලැස්මක් ද නොමැති බවයි.
ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය
2022 වසරේදී Ceylon Today පුවත්පත් වාර්තාවට අනුව වියන් පාලම් වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබූ බැවින් අප ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයෙන් ද (WNPS) මේ පිළිබඳව විමසා සිටියේ ය. ඔවුන් පැවසුවේ, ඇතිවූ ප්‍රායෝගික දුෂ්කරතා සහ බාධක හේතුවෙන් 2022 දී එම ව්‍යාපෘතිය අතහැර දැමීමට සිදුවූ බවයි.
ප්‍රාදේශීය වාර්තාකරුවන්
තවදුරටත් මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ද සම්බන්ධ කර ගත්තේ ය. ඔවුන් ද කියා සිටියේ එම ප්‍රදේශවල මාධ්‍ය වේදිකාවල සංසරණය වන ආකාරයේ වියන් පාලම් ඉදි කර නොමැති බවයි.
ඒ අනුව සමාජ මාධ්‍ය සහටන්වල ඇති ඡායාරූප කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප දැයි යන සැකය මත අප එම ඡායාරූප AI පරීක්ෂක මෙවලමක් වෙත යොමු කළේ ය. ඒ අනුව තහවුරු වූයේ, සමාජ මාධ්‍ය සටහන්වල සංසරණය වන සටහන් සඳහා යොදා ගෙන ඇති ඡායාරූප සියල්ල AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවයි.
ලොව පුරා රටවල් වන සතුන් වෙනුවෙන් ඉදි කළ වියන් පාලම්
මාර්ග අනතුරුවලින් වන සතුන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙරට ආරම්භ කළ වියන් පාලම් ව්‍යාපෘතිය එක් පාලමකට පමණක් සීමා වුව ද ලොව පුරා බෝහෝ රටවල් මෙම වියන් පාලම් සහ ආරක්ෂිත වනජීවි හරස් මාර්ග ඉදි කිරීම් වැනි වැඩසටහන් සාර්ථකව දියත් කරන ආකාරයක් දැකගත හැකියි.
සිංගප්පූරුව :
සිංගප්පූරුව එරට වඳවීමේ තර්ජනයකට මුහුණ දී සිටින Raffles’ banded langurs සහ අනෙකුත් වන සතුන්ට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා වියන් පාලම් සාර්ථකව අත්හදා බලා ඇති රටක් ලෙස හඳුනාගත හැකියි. 2019 වසරේදී සිංගප්පූරුවේ Thomson ස්වභාවික උද්‍යානය විවෘත කිරිමේදී ඊට යාබද ජල පෝෂක රක්ෂිතය සම්බන්ධ කරමින් ලණු වියන් පාලම් ඉදි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. මේ අතර සිංගප්පූරුවේ ජාතික වනෝද්‍යාන පිළිබඳ මණ්ඩලය වාර්තා කරන්නේ, Raffles’ banded langurs ඇතුළු වන සතුන් ඉතා ඉක්මනින් එම පාලම් මතින් ගමන් කිරීම ආරම්භ කළ බවයි. ඡායාරූප සහිත වාර්තාව මෙතැනින් මේ අතර සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යනයකින් ද හෙළි වී ඇත්තේ, එරට ඉදි කරන ලද වියන් පාලම් වන සතුන් ආරක්ෂා කිරීමට ඉතා සාර්ථක ප්‍රතිපල අත් කර දී ඇති බවයි. ඒ අනුව සිංගප්පූරුව වන සතුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉදි කරන ලද වියන් පාලම්වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටින බව පැහැදිලි වේ.
මැලේසියාව :
මැලේසියාවේ, පනැන්ග්හි, විද්‍යාඥ කණ්ඩායමක් 2019 වසරේදී පළමුවරට එරට වඳවීමේ තර්ජනයට ලක්ව සිටින dusky langur වඳුරු විශේෂය සංරක්ෂණට අරමුණු කරගනිමින් පළමු වියන් පාලමක් ඉදිකිරිමට පියවර ගෙන තිබුණා. ලණු සහ කේබල් යොදා ගනිමින් ඉදිකරන ලද එම වියන් පාලම කාර්යබහුල අධිවේගී මාර්ගයක් පුරාම විහිදීගොස් තිබූ අතර පාලම ඉදි කර දින කිහිපයක් ඇතුළත macaque වඳුරෙකු පාලම භාවිත කරනු කැමරාකාචයකට හසු කරගෙන තිබුණා. පසුව මාස කිහිපයක් ඇතුළත dusky langur පමණක් නොව ලේනුන් පවා පාලම භාවිත කළ බවට වාර්තා වේ.
2019 සිට 2021 දක්වා කාලය තුළ වියන් පාලම මතින් 2,100කට වඩා වැඩි වන සතුන්ගේ ගමනාගමනයන් සංඛ්‍යාවක් පර්යේෂකයින් නිරීක්ෂණය කර ඇති අතර වැඩිදුරටත් සඳහන් වන්නේ, පාලම ඉදි කිරීමෙන් පසු මාර්ග අනතුරුවලින් dusky langur සතුන්ගේ කිසිදු මරණයක් වාර්තා නොවූ බවයි. මැලේසියානු අධ්‍යනයේ කතුවරුන් පවසන්නේ, මෙම නියමු ව්‍යාපෘතිය රට පුරා වන සතුන් සංරක්ෂණය සඳහා වියන් පාලම් ඉදිකිරීමට දිරිගන්වන බවයි. තව ද මැලේසියාව තුළ තවත් වියන් පාලම් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද වාර්තා වේ.
ඉන්දුනීසියාව :
මේ අතර ඉන්දුනීසියාව ද වියන් පාලම් සාර්ථකව අත්හදාබලා එහි ප්‍රයෝජන අත්විඳිමින් සිටින තවත් රටකි. රාජ්‍ය නොවන සංවිධානයක් වන TaHuKah සංවිධානය එරට උතුරු සුමාත්‍රාවේ කැබලි කරන ලද වනාන්තර යා කරමින් නව මහාමාර්ග දිගේ විවිධ වර්ගයේ වියන් පාලම් 5ක් ඉදි කිරීමට පියවර ගෙන තිබුණා.
එලෙස ඉදි කරන ලද පාලම් මතින් කළු සුමාත්‍රා ලැන්ගර්, දිගු වලිග සහිත මැකේක් සහ යෝධ කළු ලේනුන් ගමන් කරන ආකාරය රූපරාමුවලට හසු කර ගැනීමට බලධාරීන් සමත්ව ඇත. කෙසේ වෙතත් ඔරංඔටන් තවමත් වියන් පාලම් භාවිත කර ඇති බවක් වාර්තා නොවේ. වැඩි විස්තර මෙතැනින්
බ්‍රසීලය:
2024 ජූලි මාසයේදී බ්‍රසීලයේ ඇල්ටා ෆ්ලෝරෙස්ටා නගරයේ වනජීවී සංරක්ෂණ ව්‍යාපෘතියක් වන Reconecta ව්‍යාපෘතිය යටතේ නාගරිකව වෙසෙන සතුන් වෙනුවෙන් මාර්ග හරහා වියන් පාලම් 7ක් ඉදි කෙරුණු අතර මාස කිහිපයක් ඇතුළත වියන් පාලම් 3,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉදි කර ඇති අතර එහිදී දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති Alta Floresta titi monkey ඇතුළු වඳුරු විශේෂයන් රැසක් මෙම වියන් පාලම් මතින් ගමන් කරන බව වාර්තා කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය නිසා මාර්ග අනතුරුවලින් ජීවිත අහිමිවන සතුන් සංඛ්‍යාව බිංදුව දක්වා පහත බැස ඇති අතර මෙය තවත් නගර ආශ්‍රිතව ද වියන් පාලම් ඉදි කිරීම සඳහා බලධාරීන් දිරිගැන්වීමක් ද වේ. වැඩි විස්තර මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, 2022 වසරේදී සීගිරිය – ඉනාමළුවේ ඉදිකරන ලද වියන් පාලම හැරණු කොට සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ වියන් පාලම් කිසිවක් මෙරට කිසිදු ස්ථානයක මේ දක්වා ඉදි කර නොමැති බවයි. තව ද ජාතික මට්ටමින් එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීමේ සූදානමක් හෝ ඇති බවට තොරතුරු වාර්තා නොවීය.
කෙසේ වෙතත් 2022 වසරේදී ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සීගිරිය ඉනාමළුවේ ඉදිකළ වියන් පාලම සාර්ථක ප්‍රතිඵල අත් කර දී ඇති බව පැහැදිලිය. වඳුරන් ඇතුළු වන සතුන් මාර්ග අනතුරුවලට මුහුණ දීම අවම කිරීමේ අරමුණින් සිදු කළ පළමු වියන් පාලම සාර්ථකව අදටත් ක්‍රියාත්මක වන නමුත් ඒ වනවිටත් සැලසුම් කර තිබූ ඉදිරි ව්‍යාපෘති ප්‍රායෝගික ගැටලු හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි. තව ද ලොව පුරා බොහෝ රටවල් වියන් පාලම් ඉදි කිරීම හරහා මාර්ග අනතුරු නිසා වන සතුන්ට වන හානී අවම කරගැනීමට සමත්ව ඇති අතර මෙය වඳවීමේ තර්ජනයන්ට ලක්ව ඇති වන සත්ත්ව විශේෂ සංරක්ෂණය සඳහා සුවිශේෂි පියවරක් බව සඳහන් කළ හැකියි.

Title:ලංකාවේ වඳුරන්ට, මහා මාර්ග උඩින් ගමන් කරන්න වියන් පාලම් ව්‍යාපෘතියක්?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading
