දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ(26) පැවති නඩුවාරය සඳහා මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ද, පැමිණි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මේ ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට” යනුවෙන් සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුවාරයට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පැමිණි බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
තව ත් සටහනක් පහතින්.
මෙම සටහන් වල නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පසුගිය 22 වන දා අත්අඩංගුවට ගෙන තිබූ අතර වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ඊයේ (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා පැමිණි බව මෙම නඩුව පිළිබඳව සජීවි තොරතුරු ඉදිරිපත් කළ ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කර නොතිබුණු බව දැක ගන්නට ලැබුණා.
මේ හේතුවෙන් අප අපගේ අධිකරණ වාර්තාකරුගේ මෙන් ම ඊයේ(26) දින අධිකරණ පරිශ්‍රයේ රැඳී උන් අප සහෝදර මාධ්‍යවේදීන් හරහා ද, මේ පිළිබඳව විමසා සිටි අතර ඔවුන් ද, තහවුරු කළේ, මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව සඳහා නොපැමිණි බවයි.
අප මේ පිළිබඳව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් ද, විමසා සිටි අතර ඔවුන් පවසා සිටියේ, මෙය අසත්‍ය තොරතුරක් බව ත්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු වාරය සඳහා නොපැමිණි බවයි.
ඒ බවට මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වල ද, සඳහන් කර තිබුණා.
X ඔස්සේ පළ කර තිබූ පණිවිඩය පහතින්.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පස්වරුවේ දී රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප 03ක් මත මුදා හැරීමට ත්, එළැඹෙන ඔක්තෝබර් 29 වනදා නැවත කැඳවනු ලබන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කර තිබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ(26) පැවති නඩුවාරය සඳහා මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ද, පැමිණි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙන් ම අධිකරණ වාර්තාකරුවන් ද, සඳහන් කළා.

Title:හිටපු ජනපති වික්‍රමසිංහ වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට?
Fact Check By: Pavithra SandamaliResult: False
