දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් එක් ක්ෂේත්‍රයන් සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල් පිළිබඳ සමාජයේ කතා බහට ලක් වී තිබෙනවා. මේ අතර අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් ද, සමාජයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“හොරා කන කාලේ අධ්‍යාපනයට 5%යි පුනරුදයේ අධ්‍යාපනයට 1%යි” යනුවෙන් සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වී තිබුණා.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.



කෙසේවෙතත් මෙම සටහන් මගින්, අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන්කර තිබෙන්නේ මුළු අයවැයෙන් ප්‍රතිශතයක් ලෙස ද යන්න හෝ දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙසද යන්න හෝ සඳහන් කර නොතිබුණු බැවින් එම ගණනය කිරීම් දෙක ඔස්සේම කරුණු විමසා බැලීමක් සිදුකිරීමට අප තීරණය කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
ඒ අනුව, ජනපති අනුර කුමාර දිසානායකගේ වත්මන් රජය 2026 දී අධ්‍යාපනය සඳහා අයවැයෙන් 1%ක් පමණක් ද සහ මීට පෙර ආණ්ඩුවල දී 5%ක් වැනි අගයක් වෙන් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
වත්මන් රජය, බලයට පත්වීමෙන් පසු එහි පළමු අයවැය 2025 මාර්තු මාසයේදී ඉදිරිපත් කළ අතර එය එම වසරේම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන ලදී. 2025 අයවැය මඟින් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 620 ක් වෙන් කරන ලදී. 2026 අයවැයෙන්, එම වෙන් කිරීම රුපියල් බිලියන 704 දක්වා, බිලියන 84කින් ප්‍රමාණාත්මක ව වැඩි වී තිබෙනවා.
කෙසේනමුත් 2026 සඳහා මුළු අයවැයෙන් (රු. බිලියන 7060) ප්‍රතිශතයක් ලෙස ගත් කළ, 2026 සඳහා අධ්‍යාපනයේ වෙන්කිරීම 10% පමණ වන අතර 2026 වසර සඳහා අපේක්ෂිත ආර්ථික වර්ධන වේග සමඟ දළ දේශීය නිෂ්පාදනය (රු. ට්‍රිලියන 32.5)ක් පමණ වේ යයි සලකා එහි ප්‍රතිශතයක් ලෙස ගත් කළ ප්‍රතිශතය 2.17% පමණ ද වේ.
2026 වසර සඳහා අධ්‍යාපනයට සිදුකළ වෙන්කිරීමේ ප්‍රතිශත ගණනය කිරීම්:
% of GDP (දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස) :704/(32,500*)×100=2.17%
% of Total Budget (මුළු අයවැයේ ප්‍රතිශතයක් ලෙස):704/(7,060)×100=9.97%
රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය පැවති සමයේ රජය 2023 සහ 2024 දී අධ්‍යාපනයට වෙන් කළ මුදල වන්නේ, පිළිවෙලින් රුපියල් බිලියන 470ක් සහ 584ක් වේ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් ලෙස පිළිවෙලින් 1.71% සහ 1.95%ක් වේ.
තවදුරටත්, මීට පෙර පැවති රජයන්හි අයවැය ඉදිරිපත් කිරීම්වල දී ද මුළු අයවැයෙන් ප්‍රතිශතයක් ලෙස සහ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය සඳහා සිදුකර තිබු වෙන්කිරීම් කවරේ ද යන්න අප ගණන කළ අතර, මේ සඳහා අයවැය වෙන්කිරීම් පිලිබඳ තොරතුරු මුදල් අමාත්‍යංශයේ අයවැය ලේඛන හරහා ද, දළ දේශීය නිෂ්පාදනයේ අගයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන්හි ප්‍රකාශිත අගයන් මෙන්ම අපේක්ෂිත අගයන් ද ඔස්සේ සලකා බැලුණි.
2016 වසරේ සිට අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය සහ ප්‍රතිශතයන් මෙසේය.
| වසර | අධ්‍යාපනය වෙන් කිරීම (රු. බිලියන) | දළ දේශීය නිෂ්පාදිතය (රු. බිලියන) | මුළු අයවැය (රු. බිලියන) | දළ දේශීය නිෂ්පාදිතයෙන් % | අයවැයෙන් % |
| 2016 | 620 | 11,839 | 4,500 | 5.24 | 13.78 |
| 2017 | 580 | 13,328 | 5,040 | 4.35 | 11.51 |
| 2018 | 600 | 14,291 | 6,000 | 4.20 | 10.00 |
| 2019 | 610 | 15,297 | 6,100 | 3.99 | 10.00 |
| 2020 | 500 | 15,646 | 5,800 | 3.20 | 8.62 |
| 2021 | 470 | 17,612 | 7,800 | 2.67 | 6.03 |
| 2022 | 430 | 24,063 | 6,640 | 1.79 | 6.48 |
| 2023 | 470 | 27,420 | 5,410 | 1.71 | 8.69 |
| 2024 | 584 | 29,899 | 6,870 | 1.95 | 8.50 |
| 2025 | 620 | 30,954* | 6,900 | 2.00 | 8.99 |
| 2026 | 704 | 32,500* | 7,060 | 2.17 | 9.97 |
*අගයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අගයන් මත අපේක්ෂිත අගයන් වන අතර මෙතෙක් ප්‍රකාශිත අගයන් නොවේ.
ඒ අනුව පැහැදිලි වන්නේ, පසුගිය දශකයේ දී 2016 වසරේ දී අධ්‍යාපනය සඳහා සිදුකර තිබු වෙන්කිරීම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5% ඉක්මවා තිබුණ ද එම අගය ඉන්පසුව ක්‍රමයෙන් අඩු වී ඇති බවත්, ආර්ථික අර්බුදය උග්‍රව පැවති වසරවල දී අවමයක (2% ටත් අඩු අගයන් හි තිබී) පසුව ක්‍රමයෙන් වැඩි වී ඇති ආකාරයක්.
දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකර ඇති වෙන්කිරීම, ජාත්‍යන්තර මිණුම් ලකුණට වඩා පහළින් පවතී. යුනෙස්කෝව රටවල් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 4–6% ක් හෝ මුළු රජයේ වියදමෙන් 15–20% ක් වෙන් කිරීමට නිර්දේශ කරයි. මෙවර අයවැයේ දී එම අගයන්ට ලඟා වී නොමැති බව පෙනී යනවා.
ඒ අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ දකුණු ආසියානු සංසන්දනයන් අනුව, අධ්‍යාපනයට සිදුකර ඇති වෙන්කිරීම් ලංකාවේ අඩු අගයක පවතින බව දැක ගන්නට ලැබේ.
රජය විසින් ප්‍රමාණාත්මික ව වැඩිම වෙන්කිරීමක් 2026 වසර සදහා සිදුකළ ද , දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දක්වමින් ඇතැම් පාර්ශවය සිය අදහස් දක්වා තිබු අතර, ඒ ගැන අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.
අධ්‍යාපන අමාත්‍යාංශය
අප මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් පැවසුවේ, 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පසුගියදා ඉදිරිපත් කළ අතර එහිදී අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 704 මුදලක් වෙන්කර ඇති බව ත්, 2025ට සාපේක්ෂව 2026 දී අධ්‍යාපනයය සඳහා රුපියල් මිලියන 84,000 වැඩිපුර වෙන්කර ඇති බවයි.
පසුගිය වසර තුන සංසන්දනය කර බලන විට අධ්‍යාපනය සඳහා වත්මන් ආණ්ඩුව විශාල මුදලක් යොදවා ඇති බව ත්, මෙවර අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රතිලාභ රැසක් හිමිව ඇති බව ත් පෙන්වමින්, විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළය දීමනාව 10,000 කිරීම හා ශිෂ්‍යාධාර 9000 දක්වා ඉහල දැමීම, වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11 500, විශ්වවිද්‍යාලයන් හී පර්යේෂණ කටයුතු සඳහා රුපියල් කෝටි 11500, නේවාසිකාගාර ආපනශාලා හා පොදු ඉගෙනුම් ප්‍රදේශ සංවර්ධනය සඳහා රුපියල් කෝටි 2500, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී ආබාධිත සිසුන් සඳහා මහපොළ දහ දාහට අමතරව තවත් රුපියල් 5000 මාසික දීමනාවක්, වෘත්තිය අධ්‍යාපනයට රුපියල් මිලියන 20200, නිපුණතා සිසුන්ට දිරි දීමනා 2500ක් දක්වා ඉහළ දමා ඇති බවත් සදහන් කරනු ලැබුවා.
විද්‍යාපීඨ ශික්ෂන ලාභීන්ගේ දීමනා 2750 වැඩිකර ඇති අතර උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 11 500ක්, පාසල් ළමුන් සඳහා ලබාදුන් ලිපිද්‍රව්‍ය දීමනාව 6000 එලෙසම පවත්වාගෙන යෑම වැනි ආකාරයෙන් මෙලෙස මුදල් වෙන්කර ඇතත් ඇතැම් පිරිස් අයවැයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා රුපියල් බිලියන 1.6 කප්පාදු කර ඇති බවට පවසනවා.
පසුගිය නොවැම්බර් 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එතැන් සිට දින 6 ක් අයැවැය දෙවැනි වර කියවීමේ විවාදය වෙනුවෙන් වෙන් වූ අතර අද (14) දෙවන වරට ඡන්ද විමසීමේ දී ද වැඩි ඡන්ද 118කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, 2026 අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 1%යි යනුවෙන් සහ මීට පෙර ආණ්ඩු අධ්‍යාපනය සඳහා 5%ක් වෙන් කර ඇති බවට පළ වන සටහන් නොමග යන සුළු බවයි.
2026 වසර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල වන්නේ, රුපියල් බිලියන 704 කි. එය 2026 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂිත ආර්ථික වර්ධන සමඟ බැලීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.17% ක් පමණ වෙනවා. මුළු අයවැයෙන් 10%ක් පමණ වෙනවා.
පසුගිය දශකයෙහි ම අගයන් පරික්ෂා කිරීමේ දී 2016 වසරේ දී අධ්‍යාපනයට 5% ඉක්මවා දළ දේශීය නිෂ්පාදනයෙන් වෙන්කිරීමක් සිදුකර තිබුණ ද ඉන්පසුව එම අගයන් ක්‍රමයෙන් අඩු වී ආර්ථික අවපාතය දැඩිව පැවති සමයේ අවමයකට පත් ව, පසුගිය වසර කිහිපයේ දී සුළු ලෙස වර්ධනය වුව ද තවදුරටත් 2% ආසන්න අගයකයි පවතින අතර මෙය ජාත්‍යන්තරව නිර්දේශිත හෝ කලාපිය අගයන් ව වඩා පහළ අගයකි.
Title:පසුගිය වසරවල් අධ්‍යාපනයට 5%ක් වෙන්කරත්, පුනරුදයේ අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ 1%ක් ද ?
Fact Check By: Pavithra SandamaliResult: Insight


