Update : 2/11/26
Transparency International ආයතනය විසින් 2025 වසරට අදාළ දූෂණ සංජානන දර්ශකය (CPI) 2026 වසරේ පෙබරවාරි 11 වන දා එනම් ඊයේ(10) දින නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අගය 35ක් ලබා ගනිමින් 107 වන ස්ථානය හිමිව ඇති බව දැක ගන්නට ලැබේ.
2024 වසරේ දී ශ්‍රී ලංකාවේ අගය වූයේ 32කි. 2025 වසරේ ලබා ගත් අගය 35ක් වූ බැවින් එය දර්ශක 3කින් ඉහළ යාමක් වේ.
2024 වසරේ දී 121 වන ස්ථානයේ සිට 2025 වසරේදී දී 107 වන ස්ථානය දක්වා ඉහළ ගොස් ඇති අතර එය දර්ශක 14 කින් නැගීමක් පිළිබිඹු කරයි.

කෙසේ වෙතත් 2025 වසරට සාපේක්ෂව ලෝක ආර්ථික දූෂණ දර්ශකය (World Economic CPI) විසින් පළකෙරෙන දූෂණ සංජානන දර්ශකය මෙතෙක් නිකුත් කර නොමැති නමුත්, එම දර්ශකයේ පසුගිය වසර කිහිපයේ රටාවන් අධ්‍යනය කිරීමේ දී, ඔවුන් සිය ගණනය කිරීම් සඳහා මුලිකව ට්‍රාන්ස්පේරන්සි හි අගයෙන් 0.77 ක අඩු අගයක් දක්වා තිබු බැවින්, ශ්‍රී ලංකාවේ 2025 සඳහා අගය, 26.95 ක් (27ක්) පමණ වනු ඇති බවට උපකල්පනය කළ හැක. කෙසේවෙතත්, ඔවුන් විසින් නිකුත් කරන නිල වාර්තාව අනුව, ඉදිරියේදී මෙම ලිපිය යාවත් කාලීන කෙරේ.
Transparency International ආයතනය විසින් 2025 වසරේ දූෂණ සංජානන දර්ශකය පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
මෙම වාර්තාව සැකසීම ලොව පුරා රටවල් සහ පාලන ප්‍රදේශ 182 ක රාජ්‍ය අංශයේ පවතින දූෂණය පිළිබඳව, විශේෂඥ ඇගයීම් සහ ව්‍යාපාරිකයින් අතර සිදු කළ සමීක්ෂණ පදනම් කර ගනිමින් සිදුව ඇත. මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් සඳහා ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් සහ ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩල ඇතුළු ස්වාධීන බාහිර මූලාශ්‍ර 13 ක දත්ත උපයෝගී කරගෙන ඇත. මෙහිදී දර්ශකයට අදාළ කරගන්නා රටවල් හා පාලන ප්‍රදේශවලට 0 සිට 100 දක්වා වූ පරිමාණයකින් ලකුණු ලබා දෙන අතර, “0” මගින් හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාළ රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂිත බවට සංජානනය වන බවත්, “100” හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාළ රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය තන්ත්‍රයක් බවට සංජානනය වන බවත් නිර්වචනය වේ.
රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ විවිධ පැතිකඩ, දූෂණ සංජානන දර්ශකය (CPI) මගින් ආවරණය කෙරේ. මෙයට අල්ලස් ලබා ගැනීම, රජයේ අරමුදල් අයථා ලෙස භාවිත කිරීම, දූෂණ නඩු පැවරීම්වල කාර්යක්ෂමතාව, නෛතික රාමුවල ප්‍රමාණවත් බව, තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රවේශය මෙන්ම අකටයුතු නාදකරන්නන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන්ට ලබා දී ඇති ආරක්ෂාව යන කරුණු අන්තර්ගත වේ. ආණ්ඩුකරණයේ ප්‍රමිති පිළිබඳ වටිනා අවබෝධයක් මෙම දර්ශක මගින් ලබා දුන්නද, දූෂණයේ සියලුම මානයන්, විශේෂයෙන්ම රාජ්‍ය අංශයෙන් බැහැරව සිදුවන දූෂණ මෙයට ඇතුළත් නොවේ. 2025 දූෂණ සංජානන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 35 ක් ලබා ගෙන ඇති අතර, එය 2024 වසරේ ලබා ගත් ලකුණු 32 ට සාපේක්ෂව ලකුණු තුනක සුළු වර්ධනයකි. මේ අනුව ශ්‍රී ලංකාව රටවල් 182 ක් අතුරින් 107 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය පසුගිය වසරේ පැවති 121 වැනි ස්ථානයෙන් ඉදිරියට පැමිණීමකි. කෙසේ වෙතත්, දිගුකාලීනව පවතින දත්ත විශ්ලේෂණය කර බලන විටදී, මෙය තිරසාර ප්‍රගතියකට වඩා ශ්‍රී ලංකාව අවම ලකුණු පරාසයක් අතර ලැග්මක් ලෙස කියවා ගත හැකිය. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ CPI හි ලකුණු මට්ටම විශාල වෙනසක් ලක් නොවී ඇත.ගෙවී ගිය එම දශකය තුළ, ශ්‍රී ලංකාව මෙම දර්ශකය තුළ ලද අවම ලකුණ වන “32” ක, ලකුණු ප්‍රමාණය 2024 වර්ෂයේද, උපරිම ලකුණු ප්‍රමාණය, 2017 සිට 2020 දක්වා “38” ක ලකුණු ප්‍රමාණයක්ද වන ලෙස සටහන්ව ඇත. මෙම පරාසය තුළ වසරින් වසර සිදුවන සුළු වෙනස්වීම් මගින් පෙන්නුම් කරන්නේ දූෂණය පිළිබඳ සංජානනයේ සිදුවන සුළු වෙනස්වීම් මිස ව්‍යුහාත්මක වෙනසක් නොවේ. තිරසාර දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ මගින් සාමාන්‍යයෙන් කාලයත් සමඟ ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාවේ ස්ථාවර ඉහළ යාමක් පෙන්නුම් කළ යුතු නමුත්, ශ්‍රී ලංකාව තවමත් මෙම දර්ශකය තුළ (CPI) තවමත් එවැනි ප්‍රවණතාවක් පෙන්නුම් කර නැත.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ 2025 දූෂණ සංජානන දර්ශකයෙන්, ගෝලීය මට්ටමින් දූෂණය ඉහළ ගොස් ඇති බවට සංජානනයක් සහ ආණ්ඩුකරණ ප්‍රමිති පහත වැටීමක් දක්නට ලැබෙන බවයි. එහිදී බොහෝ රටවල් “රාජ්‍ය ආරක්ෂාව” යන නාමය යටතේ බලය මධ්‍යගත කරමින්, විනිවිදභාවය සහ වගවීම දුර්වල කර ඇති බවද ඔවුහු සඳහන් කරති. බොහෝ රටවල් වර්ධනය වෙමින් පවතින අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, ආණ්ඩුකරණය තුළ දුෂ්කර කාලපරිච්ඡේද තුළ රාජ්‍ය තුළ වගවීම කෙතරම් දුරට ආරක්ෂා කරන්නේද යන්න දූෂණ සංජානන දර්ශකය (CPI) මගින් පිළිබිඹු වේ. දූෂණ විරෝධී පද්ධති ශක්තිමත් මෙන්ම ඔරොත්තු දෙන සුළු බවින් යුතු අවස්ථාවලදී, දූෂණ අවදානම් පාලනය කළ හැකිය. එබැවින් දූෂණය පිළිබඳ සංජානන දර්ශකයේ සිදුවන සුළු වෙනස්කම්වලට වඩා, අර්ථවත් ව්‍යුහාත්මක දියුණුවක පවතින වැදගත්කම ගෝලීය ප්‍රවණතා මගින් මැනවින් නිරූපණය කෙරේ. ශ්‍රී ලංකාව මෙම දර්ශකය තුළ ලබාගත් සුළු වර්ධනය, මෑතකදී සිදු කරන ලද ව්‍යවස්ථාදායක හා ආයතනික සංවර්ධන සඳහා ගන්නා ලද ප්‍රයත්න හේතුවෙන් විශේෂඥයන් හා ව්‍යාපාරික පාර්ශවකරුවන් දූෂණය පිළිබඳ දරන ලද සංජානනය වෙනස්වීම හේතුවෙන් සිදුවූවා විය හැකිය. මෙයට නව දූෂණ විරෝධී පනතක් හා, අපරාධවලින් උපයාගන්නා ලද දේ පවරා ගැනීමේ පනතක් නීතිගත කිරීම සහ නීතිය ක්‍රියාවට නැංවීම උදෙසා පියවර ශක්තිමත් කිරීම යන කාරණා අන්තර්ගතය.
ශ්‍රී ලංකාවට අදාළ CPI හි ප්‍රතිඵලය අවධාරණය කරන්නේ මෙය තිරසාර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවස්ථාවක් මිස අවසාන නිගමනයක් නොවන බවයි. මෙය වඩාත් ශක්තිමත් සුපිළිපන් මාවතක ශ්‍රී ලංකාව ගමන් කිරීමේ පෙරනිමිත්තක් ද, නැතිනම් කෙටි කාලීනව සිදු වූ උච්චාවචනයක් ද යන්න තීරණය වන්නේ, වගවීම, නීති බලාත්මක කිරීම සහ විනිවිදභාවය පිළිබඳ පද්ධති කෙතරම් ගැඹුරින්, ස්ථාවරව සහ ස්වාධීනව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ ද යන්න මතය. නව නීති සම්පාදනය සහ බලාත්මක කිරීමේ උත්සාහයන් වැනි වර්ධනයන් හරහා ප්‍රගතියක් සිදුවන බවට යම් සංජානනයක් ඇති කළ හැකි වුවද, ඒවායේ දිගුකාලීන සඵලතාවය සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම පිළිබඳව තවමත් නිශ්චිතව කිව නොහැක. එමෙන්ම, ආණ්ඩුකරණයේ වත්මන් මුහුණුවර, යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත (NGO Bill) සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැනි කරුණු මගින් හැඩගස්වා ඇත. එවන් වපසරියක, දූෂණය අර්ථවත් ලෙස අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සිවිල් අවකාශයේ නිදහස, මාධ්‍ය නිදහස සහ ස්වාධීන අධීක්ෂණය සඳහා අවශ්‍ය ඉඩප්‍රස්තාව කෙරෙහි බලපෑම් ඇති කරයි.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
World Economics ආයතනය විසින් මෑතක දී පලකරන ලද අදාල දූෂණ සංජානන වාර්තාවක් බව දක්වමින්, දූෂණයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් ඇති බව දක්වමින් බලයට පැමිණි රජයක් යටතේ ද 2025 දූෂණ දර්ශකයට (Corruption Perceptions Index) අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 24.7 ක් වැනි ඉතාම අඩු අගයක් බව හඟවමින් සමාජ මාධ්‍ය පුරා කතාබහක් ඇති වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“2025 World Economics Corruption Index හි අලුත්ම වාර්තාවට අනුව අපිට 24.7/100 (Distinction නෙවෙයි හොඳේ, ‘D’ කියන්නේ අන්තිම අඩිය. ( 2024 32/100% තිබ්බ අගය මේ අවුරැද්දේ 24.7% ට බැස ඇත).අන්ත දූශිතයැයි පවසන රාජපක්ශ සමයේ ලංකාව ලෝකයේ දූශනය අවම රටවල් අතර 87 වන ස්ථානයේ පැවති අතර වර්ථමානයේ 121 වෙනි ස්ථානයේ පසුවෙයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පල වී තිබුණා.

Facebook | Archived Link Facebook
මේ ආකරයෙන් පළවූ තවත් සටහන් පෙළක් පහතින්.


2024 වර්ෂයේදී ගෝලීය දූෂණ වාර්තාවට අනුව 32% වූ ශ්‍රී ලංකාව 2025 වාර්තාවට අනුව 24.7% දක්වා පහත වැටී ඇති බවටත්, ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ විරෝධී සටනින් පරාජයට පත් වෙමින් පවතින බවත් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන් පල වී තිබුණා.
මේ පිළිබඳ Daily Mirror ඉංග්‍රීසි මාධ්‍ය පුවත් ලිපියක ද, පළ වී තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළවී තිබු අතර ඒ ගැන කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
World Economics හි වාර්තාව
සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ සටහන්හි සඳහන් කර තිබුනේ, එක්සත් රාජධානිය පදනම් කරගත් පර්යේෂණ සංවිධානයක් වන “World Economics” විසින් පළකෙරෙන Corruption Perception Index නම් වාර්තාවක්. එහි පහත දැක්වෙන සබැඳිය ද දක්වා තිබෙනවා.
(https://www.worldeconomics.com/Indicator-Data/Corruption/Corruption-Perceptions-Index.aspx)
නමුත් එම සබැඳියට පිවිස පරික්ෂා කිරීමේ දී පැහැදිලිව සඳහන් කරන්නේ, “World Economics” විසින් පළකෙරෙන Corruption Perception Index (CPI) ගණනය කිරීම් සඳහා මුලිකව පාදක වන්නේ Transparency International ආයතයන විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දත්ත බවයි.
World Economics වාර්තාව Transparency International වාර්තාව පාදක කරගනිමින් සිය ගණනය කිරීම් සිදුකර ඇති බව එම වෙබ් දිගුව මගින් මෙලෙස පෙන්වා දිය හැකිය. එහෙත් එම Transparency International වාර්තාවේ දක්වෙනෙන් 2024 වසර සඳහා ඔවුන් මෙම දත්ත පිළියෙළ කිරීමක් සිදුකර ඇති බවයි.
කෙසේවෙතත්, World Economics විසින්, Transparency International අවසන් වරට නිකුත් කර ඇති 2024හි CPI දත්ත යොදාගනිමින් සකස් කරන ලද ගෝලීය දූෂණ සංජානන දර්ශකයේ 24.7 යන අගය ඔස්සේ “D ශ්‍රේණිය” (Poor) යටතේ ශ්‍රී ලංකාව දක්වා ඇත. එම දර්ශකය මෙතනින්. මෙය 2023 වර්ෂයේ එම දර්ශකයේ ශ්‍රී ලංකාව ලබාගෙන තිබු 26.2 අගයට සාපේක්ෂව තවත් පහත වැටීමකි. නමුත් එම පහත වැටීම සිදුවන්නේ 32 අගයේ සිට නොවේ.

කලාපිය අනෙකුත් රටවල් හි මෙම අගයන් පරික්ෂා කිරීමේ දී ද මාලදිවයින, ඉන්දියාව සහ නේපාලය ලංකාවට ඉහළින් සිටින අතර පකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ලංකාවට පහළ අගයක සිටිනවා.
මේ දිනවල හුවමාරු වන්නේ 2025 වසරේ මුල භාගයේ දී පළකර තිබු වාර්තාවක්!
තවද ඉහත වාර්තාව මෑතක දී පළකරන ලද්දක් බව සමාජ මාධ්‍ය සටහන්හි හඟවා තිබු බැවින් අප World Economics විසින් දත්ත ලබා දී ඇති සබැඳියේ අතීත වාර්තා (Archives) ද පරික්ෂා කළ අතර එහිදී තහවුරු වුයේ 2025 වසරේ මුල් භාගයේ සිටම, (අප්‍රේල් 25, 2025 Archive) මෙම 2025 යනුවෙන් සඳන් කරමින් දත්ත ඇතුළත් කර තිබූ වාර්තාව අදාළ සබැඳියේ තිබු බවයි.

ඒ අනුව මෙය World Economics (WE) විසින් මෑතක දී පළකර තිබු වාර්තාවක් නොවන බවත්, 2025 පෙබරවාරි මස, 2024 වසර සඳහා Transparency International (TI) ආයතනය එළි දැක්වූ වාර්තාවේ දත්ත මත පදනම් කර ගනිමින්, ඊට කෙටි කාලයකට පසුව යාවත්කාලින කර තිබු වාර්තාවක් බවයි.
මීට පෙර වසරවල දී World Economics හි පළ කිරීම් සමඟ පරික්ෂා කිරීමේ දී ද මෙයට සමාන රටාවක් පෙන්නම් කරනවා, එනම් , TI වර්තාව පළකර දින කිහිපයකින් පසුව WE වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ නමුත් 2024 Transparency International දත්ත යොදාගනිමින් සකස් කළ ද World Economics විසින් Level of Corruption Perception (2025) ලෙස ඔවුන්ගේ දත්ත පළකර තිබෙන බැවින් ඇතිව තිබු මේ පටලැවිල්ල ගැන අප එම ආයතනයෙන් විද්‍යුත් ලිපියක් හරහා විමසීමක් සිදුකළ අතර එහි පිළිතුර ලැබුණහොත් මෙම වාර්තාව යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.
කෙසේවෙතත්, World Economics CPI ගණනය කිරීම් සඳහා මුලික වී තිබෙන්නේ Transparency International හි වාර්තා බැවින් ඒ ගැන අප වදිදුරටත් පරීක්ෂාවක් සිදුකළා.
Transparency International -CPI (දූෂණ සංජානන දර්ශකය)
රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ ලොව පුරා බහුලව භාවිතා වන ශ්‍රේණිගත කිරීමක් ලෙස සැලකෙන දූෂණ සංජානන දර්ශකය – CPI (Corruption Perception Index), ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලැබේ.
විශේෂඥයින් සහ ව්‍යාපාරිකයින්ට අනුව, එම වාර්තාව ඔස්සේ රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් අනුව රටවල් සහ ප්‍රදේශ 180ක් ශ්‍රේණිගත කරනු ලබන අතර මෙම දර්ශකය 0 සිට 100 දක්වා පරිමාණයන් ඒ සඳහා භාවිතා කරන ලැබේ. 0 යනු අධික ලෙස දූෂිත සහ 100 යනු ඉතා පිරිසිදු යනුවෙන් දක්වනු ලැබේ.
Transparency International ආයතනය විසින් අවසන් වරට නිකුත් කර තිබෙන CPI වාර්තාව 2024 වර්ෂයට අදාළවයි, 2025 සඳහා මෙතෙක් වාර්තාවක් පළකර නැහැ!
Transparency International ආයතනය විසින් 2024 වර්ෂයට අදාල CPI වාර්තාව 2025 පෙබරවාරි මස නිකුත් කර ඇති අතර මේ වන විට අවසන් වරට නිකුත් කර ඇති CPI වාර්තාව ලෙස එම වාර්තාව Transparency International ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙලෙසින්.
ඒ අනුව එලෙස අවසන් වරට පළකර තිබෙන 2024 වසර සඳහා දූෂණ සංජානන දර්ශක අගයන්හි දැක්වෙන්නේ 2023 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අගය, දර්ශක දෙකකින්, එනම් 34 සිට 32 දක්වා අඩුවී ඇති බව දැකගනන්ට ලැබෙනවා.
මෙම අගය, ගෝලීය සාමාන්‍යට ද වඩා අඩු අගයක පවතින අතර ගණනය කිරීම සඳහා සලකා බලා ඇති රවටල් සහ ප්‍රදේශ 180න් ලංකාව ලබා ඇත්තේ 121 වැනි ස්ථානයයි.

එසේම මෙහි පැරණි වාර්තා ද අප පරික්ෂා කළ අතර 2012 දී ශ්‍රී ලංකාවේ CPI අගය 40 ක තිබු අතර එය ඉන්පසු වසර වලදී අඩුවීමක් ඇති වී බව දැක ගන්නට ලැබෙනවා. 2020 දී 38ක් වූ මෙම අගය ක්‍රමයෙන් අඩු වී 2023 දී 34 ක් සහ අවසාන වශයෙන් 2024 දී 32 දක්වා අඩු වී ඇති බව දැක ගන්නට ලැබෙනවා.
කෙසේවෙතත් 2025 වසර සඳහා මෙහි වාර්තාවක් පළවී ඇති අයුරු දැක ගන්නට නොලැබෙන බැවින්, අප මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂාවක් සිදුකළා.
Transparency International සන්නිවේදන සහ සන්නාම කළමණාකරු
මේ සම්බන්ධයෙන් අප Transparency International Sri Lanka ආයතනයේ උපායමාර්ගික සන්නිවේදන සහ සන්නාම කළමණාකරු කසුන් සංකල්ප මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ 2025 වර්ෂයට අදාළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්හි CPI වාර්තාව (Corruption perception Indicator) තවමත් නිකුත් වී නොමැති බවයි.
2025 වසරට අදාළ වාර්තාවේ අවසන් අදියරේ කටයුතු සිදු වෙමින් පවතින බවත්, එසේ නිකුත් කිරීමට නියමිත CPI වාර්තාව, 2025 වසරට අදාළ නවතම යාවත්කාලීන කිරීම් සහිත වාර්තාව වන බවත්, එම වාර්තාව ළඟදීම පළ කරනු ඇති බවත් ඔහු සඳහන් කළා.
‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් – දූෂණ සංජානන දර්ශකය – 2025, ළඟදීම….‘ යනුවෙන් ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් ද Transparency International Sri Lanka විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ අද (ජනවාරි 26) පළකර තිබුනේ මෙලෙසින්.
එසේම, World Economics විසින් පල කර තිබෙන CPI දර්ශකය, 2024 වර්ෂයේ දත්ත මත පදනම් වී සකස් කර තිබිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් Transparency International ආයතනයට වගකීමක් ගත නොහැකි බවත් ඔහු සඳහන් කළා.
Transparency International ආයතයන විසින් CPI දර්ශකයට අදාළ ගණනය කිරීම් සදහා අංශ 13ක් යටතේ World Bank, World Economic Forum ඇතුළු ආයනත මෙන්ම ගවේෂණ සහ පරීක්ෂණ කණ්ඩායම් මගින් සිදුකරන සමීක්ෂණ ඇතුළු විධික්‍රම ඔස්සේ දත්ත ලබාගෙන ඒවායේ පසුගිය වසරන් සමඟ ද සංසන්දනය කරමින් ලබාගන්නා අගයක් ඔස්සේ අවසාන අගයන් කරා ළඟාවෙන බවත්, එය සෑම වසරකම වෙනත් පිළිගත් ආයතයන මගින් අධීක්ෂණය වන බවත් දක්වා තිබුනේ මෙලෙසින්.
Transparency International සහ World Economicsහි දත්ත
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් World economics හි අතීත සංඛ්‍යාලේඛන පරික්ෂා කිරීමේ දී ද එය Transparency International හි අගයන්ට සමානුපාතික ව විචලනය වී ඇති බව දැක ගත හැකිය. එක් එක් වසරවලදී ශ්‍රී ලංකාවට හිමි වූ ස්ථානය සහ අගය මෙලෙස දැක්විය හැකිය.
| වසර | Transparency International හි අගය | World Economics හි අගයන් | වර්ගීකරණය (World Economics) | ගෝලීය ශ්‍රේණිගත කිරීම (TI) | ගෝලීය සාමාන්‍ය අගයට සාපේක්ෂව ලංකාවේ අගය (TI) |
|---|---|---|---|---|---|
| 2015 | 37 | 28.6 | C | 83rd | -6 points |
| 2016 | 36 | 27.8 | C | 95th | -7 points |
| 2017 | 38 | 29.3 | C | 91st | -5 points |
| 2018 | 38 | 29.3 | C | 89th | -5 points |
| 2019 | 38 | 29.3 | C | 93rd | -5 points |
| 2020 | 38 | 29.3 | C | 94th | -5 points |
| 2021 | 37 | 28.6 | C | 102nd | -6 points |
| 2022 | 36 | 27.8 | C | 115th | -7 points |
| 2023 | 34 | 26.2 | C | 115th | -9 points |
| 2024 | 32 | 24.7 | D | 121st | -11 points |
ඒ අනුව පැහැදිලි වන්නේ ද මෙම දර්ශක දෙක සමානුපාතිකව වෙනස්වන බවත්, World Economics හි 24.7 අගයට පහත වැටි ඇති බව පෙන්වමින් හුවමාරු වන අගයේ ද මීට පෙර අගය වන්නේ 26.2 මිස 32ක් නොවන බවයි. 32 වන්නේ Transparancy International හි 2024 වෙනුවෙන් ලංකාව ලබා ගෙන ඇති අගය බව අතර එය 34 සිට 32 දක්වා 2023 සිට 2024 ට පහත වැටී ඇති බව දැක ගන්නට ලැබෙනවා.
World Economics සහ Transparency International හි පසුගිය වසර කිහිපය සඳහා ශ්‍රී ලංකාවේ අගයන් වෙනස් වී තිබු අයුරු පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ දූෂණය අතින් ශ්‍රී ලංකාවට 24.7 ක අගයක් ලබා ගෙන තිබෙන්නේ 2025 වසර වෙනුවෙන් World Economics විසින් මෑතක දී පළකර තිබු වාර්තාවකින් නොව, 2024 වසර සඳහා Transparency International ආයතනය පල කර තිබෙන CPI වාර්තාවේ දත්ත මත පදනම්ව නිර්මාණය කර ඇති දර්ශකයක් මගින් ලබාගත් අගයක් බවයි. එම වාර්තාව 2025 වසරේ මුල් භාගයේ සිටම පළකර තිබෙනවා.
එසේම World Economics අවසන් වාර්තාව අනුව ද 24.7 ක අගයට ලංකාව පතතට වැටී තිබෙන්නේ 32 සිට නොව ඊට පෙර World Economics හි ලංකාව වෙනුවෙන් වූ CPI අගය වන 26.2 සිට ය.
2025 වසරට අදාල Transparency International (TI) ආයතනය විසින් පල කරන CPI වාර්තාව තවමත් නිකුත් වී නොමැති අතර එය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව Transparency International Sri Lanka හි කළමණාකාරීත්වය විසින් තහවුරු කළා. ඒ අනුව එම TI දත්තවලට අදාළ World Economics දර්ශකන් එලි දැක්වෙනු ඇත්තේ ඉන්පසුව වන අතර 2025 වසර සඳහා වන දූෂණ සංජානන අගයන් පරික්ෂා කරමින් සංසදනය කළ හැක්කේ ඉන් පසුවයි.
Title:2025 වසරේදී දූෂණය අතින් ශ්‍රී ලංකාව 34 සිට 24.7 දක්වා පහලට වැටිලා ද ?
Fact Check By: Pavithra HansaniResult: Misleading


