දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
World Economics ආයතනය විසින් මෑතක දී පලකරන ලද අදාල දූෂණ සංජානන වාර්තාව පදනම් කරගනිමින්, දූෂණයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් ඇති බව දක්වමින් බලයට පැමිණි රජයක් යටතේ ද 2025 දූෂණ දර්ශකයට (Corruption Perceptions Index) අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 24.7 ක් වැනි ඉතාම අඩු අගයක් බව හඟවමින් සමාජ මාධ්‍ය පුරා කතාබහක් ඇති වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“2025 World Economics Corruption Index හි අලුත්ම වාර්තාවට අනුව අපිට 24.7/100 (Distinction නෙවෙයි හොඳේ, ‘D’ කියන්නේ අන්තිම අඩිය. ( 2024 32/100% තිබ්බ අගය මේ අවුරැද්දේ 24.7% ට බැස ඇත).අන්ත දූශිතයැයි පවසන රාජපක්ශ සමයේ ලංකාව ලෝකයේ දූශනය අවම රටවල් අතර 87 වන ස්ථානයේ පැවති අතර වර්ථමානයේ 121 වෙනි ස්ථානයේ පසුවෙයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පල වී තිබුණා.

මේ ආකරයෙන් පළවූ තවත් සටහන් පෙළක් පහතින්.


2024 වර්ෂයේදී ගෝලීය දූෂණ වාර්තාවට අනුව 32% වූ ශ්‍රී ලංකාව 2025 වාර්තාවට අනුව 24.7% දක්වා පහත වැටී ඇති බවටත්, ඒ අනුව ශ්‍රී ලංකාව දූෂණ විරෝධී සටනින් පරාජයට පත් වෙමින් පවතින බවත් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන් පල වී තිබුණා.
මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළවී තිබු අතර ඒ ගැන කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
Transparency International -CPI (දූෂණ සංජානන දර්ශකය)
රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ ලොව පුරා බහුලව භාවිතා වන ශ්‍රේණිගත කිරීමක් ලෙස සැලකෙන දූෂණ සංජානන දර්ශකය – CPI (Corruption Perception Index), ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලැබේ. විශේෂඥයින් සහ ව්‍යාපාරිකයින්ට අනුව, එම වාර්තාව ඔස්සේ රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් අනුව රටවල් සහ ප්‍රදේශ 180ක් ශ්‍රේණිගත කරනු ලබන අතර මෙම දර්ශකය 0 සිට 100 දක්වා පරිමාණයන් ඒ සඳහා භාවිතා කරන ලැබේ. 0: අධික ලෙස දූෂිත සහ 100: ඉතා පිරිසිදු යනුවෙන් දක්වනු ලැබේ.
Transparency International ආයතනය විසින් අවසන් වරට නිකුත් කර තිබෙන CPI වාර්තාව 2024 වර්ෂයට අදාළ ය, 2025 සඳහා මෙතෙක් වාර්තාවක් පළකර නැහැ
Transparency International ආයතනය විසින් 2024 වර්ෂයට අදාල CPI වාර්තාව 2025 පෙබරවාරි මස 11 වන දා නිකුත් කර ඇති අතර මේ වන විට අවසන් වරට නිකුත් කර ඇති CPI වාර්තාව ලෙස එම වාර්තාව Transparency International ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙලෙසින්.
ඒ අනුව එලෙස අවසන් වරට පළකර තිබෙන 2024 වසර සඳහා දූෂණ සංජානන දර්ශක අගයන්හි දැක්වෙන්නේ 2023 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අගය, දර්ශක දෙකකින්, එනම් 34 සිට 32 දක්වා අඩුවී ඇති බව දැකගනන්ට ලැබෙනවා.
මෙම අගය, ගෝලීය සාමාන්‍යට ද වඩා අඩු අගයක පවතින අතර ගණනය කිරීම සඳහා සලකා බලා ඇති රවටල් සහ ප්‍රදේශ 180න් ලංකාව ලබා ඇත්තේ 121 වැනි ස්ථානයයි.


එසේම මෙහි පැරණි වාර්තා ද අප පරික්ෂා කළ අතර 2012 දී ශ්‍රී ලංකාවේ CPI අගය 40 ක තිබු අතර එය ඉන්පසු වසර වලදී අඩුවීමක් ඇති වී බව දැක ගන්නට ලැබෙනවා. 2020 දී 38ක් වූ මෙම අගය ඉන්පසුව ක්‍රමයෙන් අඩු වී 2023 දී 34 ක් සහ අවසාන වශයෙන් 2024 දී 32 දක්වා අඩු වී ඇති බව දැක ගන්නට ලැබෙනවා.
කෙසේවෙතත් 2025 වසර සඳහා මෙහි වාර්තාවක් පළවී ඇති අයුරු දැක ගන්නට නොලැබෙන බැවින් සහ Transparency International CPI දර්ශකය තුළ ඉංග්‍රීසි හෝඩියේ අකුරු අකුරු ශ්‍රේණි භාවිතා නොකර එය 0-100 පරිමාණයෙන් පුර්ණ සංඛ්‍යා ලෙස සංඛ්‍යාත්මකව ලකුණු පමණක් ප්‍රකාශයට පත් කෙරෙන බැවින්, අප මේ පිළිබඳව වැඩිදුර කරුණු පරීක්ෂාවක් සිදුකළා.
Transparency International සන්නිවේදන සහ සන්නාම කළමණාකරු
මේ සම්බන්ධයෙන් අප Transparency International Sri Lanka ආයතනයේ උපායමාර්ගික සන්නිවේදන සහ සන්නාම කළමණාකරු කසුන් සංකල්ප මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ 2025 වර්ෂයට අදාළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්හි CPI වාර්තාව (Corruption perception Indicator) තවමත් නිකුත් වී නොමැති බවයි.
2025 වසරට අදාළ වාර්තාවේ අවසන් අදියරේ කටයුතු සිදු වෙමින් පවතින බවත්, එසේ නිකුත් කිරීමට නියමිත CPI වාර්තාව, 2025 වසරට අදාලව නවතම යාවත්කාලීන කිරීම් සහිත වාර්තාව වන බවත්, එම වාර්තාව 2025 පෙබරවාරි මාසයේදී පල කරනු ඇති බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව World Economics විසින් පල කර තිබෙන CPI දර්ශකය, 2024 වර්ෂයේ දත්ත මත පදනම් වී සකස් කර තිබිය හැකි අතර ඒ සම්බන්ධයෙන් Transparency International ආයතනයට වගකීමක් ගත නොහැකි බවත් ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් 2025 ජනවාරි 26 දින ආයතන කළමණාකාරීත්වය සමඟ සාකච්චා කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව Transparency International ආයතනය මේ සම්බන්ධයෙන් දක්වන අදහස පිළිබඳව දැනුම් දෙන බවට ඔහු සඳහන් කළ අතර ඒ අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
World Economics හි වාර්තාව
Transparency International ආයතනය මගින් වාර්ෂිකව නිකුත් කරන දූෂණ සංජානන දර්ශකයේ දත්ත මුලික වශයෙන්ම පාදක කරගනිමින්, එක්සත් රාජධානිය පදනම් කරගත් පර්යේෂණ සංවිධානයක් වන “World Economics” විසින් දූෂණ සංජානන දර්ශකයක්, “Corruption Perception Index” (CPI), ප්‍රකාශයට පත්කරනු ලබනවා.
World Economics විසින්, Transparency International අවසන් වරට නිකුත් කර ඇති 2024හි CPI දත්ත යොදාගනිමින් සකස් කරන ලද ගෝලීය දූෂණ සංජානන දර්ශකයේ 24.7 යන අගය ඔස්සේ “D ශ්‍රේණිය” යටතේ ශ්‍රී ලංකාව දක්වා ඇත. එම දර්ශකය මෙතනින්. මෙය 2024 වර්ෂයට සාපේක්ෂව පහත වැටීමකි.

කලාපිය අනෙකුත් රටවල් හි මෙම අගයන් පරික්ෂා කිරීමේ දී ද ඉන්දියාව සහ නේපාලය ලංකාවට මදක් ඉහළින් හොඳ අගයක සිටින අතර පකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ලංකාවට පහළ අගයක සිටිනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් World economics හි අතීත සංඛ්‍යාලේඛන පරික්ෂා කිරීමේ දී ද එය Transparency International හි අගයන්ට සමානුපාතික ව විචලනය වී ඇති බව දැක ගත හැකිය. එක් එක් වසරවලදී ශ්‍රී ලංකාවට හිමි වූ ස්ථානය සහ අගය මෙලෙස දැක්විය හැකිය.
| වසර | Transparency International හි අගය | World Economics හි අගයන් | වර්ගීකරණය (World Economics) | ගෝලීය ශ්‍රේණිගත කිරීම (TI) | ගෝලීය සාමාන්‍ය අගයට සාපේක්ෂව ලංකාවේ අගය (TI) |
|---|---|---|---|---|---|
| 2015 | 37 | 28.6 | C | 83rd | -6 points |
| 2016 | 36 | 27.8 | C | 95th | -7 points |
| 2017 | 38 | 29.3 | C | 91st | -5 points |
| 2018 | 38 | 29.3 | C | 89th | -5 points |
| 2019 | 38 | 29.3 | C | 93rd | -5 points |
| 2020 | 38 | 29.3 | C | 94th | -5 points |
| 2021 | 37 | 28.6 | C | 102nd | -6 points |
| 2022 | 36 | 27.8 | C | 115th | -7 points |
| 2023 | 34 | 26.2 | C | 115th | -9 points |
| 2024 | 32 | 24.7 | D | 121st | -11 points |
ඒ අනුව පසුගිය වසර 10හි දත්ත පරික්ෂා කිරීමේ දී ද එම අගයන් ක්‍රමිකව අවම අගයක් කරා පැමිණ ඇති අයුරු හඳුනා ගත හැකිය. අවසන් වරට මෑතක දී ලබාදුන් ශ්‍රේණිගත කිරීම මෑතක දී ලංකාව ලබාගත් අවම අගය වන අතර ශ්‍රී ලංකාව “D ශ්‍රේණිය” දක්වා World Economics පහතට වැටී තිබෙනවා.
කෙසේ නමුත් 2024 Transparency International දත්ත යොදාගනිමින් සකස් කළ ද World Economics විසින් Level of Corruption Perception (2025) ලෙස ඔවුන්ගේ දත්ත පළකර තිබෙන බැවින් මේ ගැන අප එම ආයතනයෙන් විමසීමක් සිදුකළ අතර ඒ අනුව මෙම වාර්තාව යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.
World Economics සහ Transparency International හි පසුගිය වසර කිහිපය සඳහා ශ්‍රී ලංකාවේ අගයන් වෙනස් වී තිබු අයුරු පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ දූෂණය අතින් ශ්‍රී ලංකාවට 24.7 ක අගයක් ලබා දී තිබෙන World Economics විසින් මෑතක දී පළකර ඇති දූෂණ සංජානන වාර්තාව Transparency International ආයතනයේ 2024 වසරට අදාලව පල කර තිබෙන CPI වාර්තාවේ දත්ත මත පදනම්ව නිර්මාණය කර ඇති දර්ශකයක් වන බවයි. 2025 වසරට අදාල Transparency International ආයතනය විසින් පල කරන CPI වාර්තාව තවමත් නිකුත් වී නොමැති අතර පෙබරවාරි මාසයේදී එය නිකුත් කිරීමට නියමිත බව Transparency International Sri Lanka හි සන්නිවේදන සහ සන්නාම කළමණාකාරීත්වය විසින් තහවුරු කළා.
Title:2025 වසරේදී දූෂණය අතින් ශ්‍රී ලංකාව තවත් පහලට වැටිලා ද ?
Fact Check By: Pavithra HansaniResult: Insight


