යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කළා ද? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රටක ආරක්ෂාව යනු ජාතිකමය වශයෙන් වැදගත්කමක් උසුලණ සංවේදී කරුණක් වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාළ තොරතුරු හුවමාරු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත්තේ එවැනි තොරතුරු හරහා සිදු කළ හැකි බලපෑම ප්‍රබල වන නිසාවෙනි. මේ ඒ ආකාරයෙන් මේ දිනවල යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය හා සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සටහන් පිළිබඳව Fact Crescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කරයි! යනුවෙන් සඳහන් කරමින් මෙම සටහන පළ කර ඇත්තේ, එය කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ලද ඓතිහාසික ජයග්‍රහණයක් බව ද පවසමිනි. මේ අනුව දහස් ගණනක් ජීවිත පුදා රැකගත් යාපනය ශ්‍රී ලංකා යුද හමුදාවට අහිමිවී ඇති බව ද මෙහි සඳහන් ය.

Facebook | Archived Link

එම තේමාවෙන් ම පළ වී තිබූ තවත් සටහන් කිහිපයක් පහතින්.  

Facebook | Archived Link   

Facebook | Archived Link   

බොහෝ පිරිසක් අදහස් දක්වා ඇති සහ සත්‍ය තොරතුරක් යැයි අනුමාන කරමින් හුවාමරු කරගෙන ඇති මෙම සටහන්වල අන්තර්ගතයේ නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස කටයුතු කරනු ලැබුවා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

වර්තමානයේ යාපනය අර්ධද්වීපයේ ආරක්ෂාව සහතික කරන ප්‍රධාන හමුදා ඒකකය වන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය 1963 වසරේදී පිහිටුවා ඇත්තේ, නීතිවිරෝධි සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා වන කාර්ය සාධක බලකායක් ලෙසයි. මෙය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ලෙස නම් කර ඇත්තේ, 1986 වසරේදී ය. උතුරේ ආරක්ෂාව ඇතුළු කාර්යභාර සහ වගකීම් රැසක් ඉටුකරනු ලබන ජාතික ආරක්ෂාව අතින් සුවිශේෂීතවයක් දරන මෙවැනි ප්‍රමුඛ පෙළ ආරක්ෂක සේනා මූලස්ථානයක් ඉවත් කිරීමක් හෝ ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත්වූයේ නම්, එවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ ඇතුළු සියලු මාධ්‍යයන් ඔස්සේ වැඩි ප්‍රමුඛත්වයක් දී විකාශය කර තිබිය යුතු ය. එහෙත් අපි සිදු කළ කරුණු පරීක්ෂාවේදී මෑතකාලීනව එවැනි පුවතක් පිළිගත් මාධ්‍ය කිසිවක් විසින් වාර්තා කර ඇති බවක් දැකගන්නට නොමැත.   

අප මේ පිළිබඳව ආරක්ෂක අංශ මෙන් ම අනෙකුත් පාර්ශව කිහිපයකින් ම විමසීමක් කරනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ  මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක  

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කර ඇති බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් පිළිබඳව අප ආරක්ෂක අමාත්‍යාංශයේ  මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතාගෙන් විමසීමක් කළා. මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාලාවල සංසණය වන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. ඉදිරියේදී හෝ එවැනි තීරණයක් ගැනීමේ සූදානමක් පවතී දැයි, අප මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටි අතර ඔහු ප්‍රකාශ කළේ, අනාගතයේදී හෝ එලෙස  යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ සැලසුමක් නොමැති බවයි. 

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා

යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවට ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර ඇති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා උපුටා දක්වමින් පළ කරන ලද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, සත්‍යතාවයකින් තොර අසත්‍ය කරුණු සමාජගත කිරීමට එරෙහිව නීත්‍යනූකූල ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවට ලේකම්වරයා සඳහන් කළ බවයි.  තව ද ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ, මෙවැනි සටහන් දේශපාලන අවශ්‍යතා මත සිදු කරන ප්‍රචාරයන් බවයි.  

පලාලි පොලිස් ස්ථානය 

යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය ඉවත් කර ඇත්දැයි, අප පලාලි පොලිසියෙන් ද විමසා සිටියා. එැවන්නක් නොමැති බව සඳහන් කළ පොලිසීය තහවුරු කළේ, කිසිදු වෙනසක් නොමැතිව ආරක්ෂක සේනා මූලස්ථානය සුපුරුදු ස්ථානයේම ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. 

යාපනය ප්‍රාදේශීය වාර්තාකරුවන් 

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පිහිටි ස්ථානයෙන් ඉවත් කිරීමක් හෝ එවැනි සූදානමක් තිබේ දැයි අප යාපනය ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද  විමසා සිටියා.   ඔවුන් ද තහවුරු කළේ, දීර්ඝ කාලයක් තිස්සේ පලාලි හි පිහිටා ඇති ආරක්ෂක සේනා මූලස්ථානය තවදුරටත් එම ස්ථානයේ ක්‍රියාත්මක බවයි. මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට හෝ දැනගැනීමට නොමැති බව ප්‍රාදේශීය වාර්තාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

විශ්‍රාමික මේජර් ජෙනරල් Chagie Gallage

මේ අතර විශ්‍රාමික මේජර් ජෙනරල් Chagie Gallage විසින් පසුගිය ජනවාරි 30 වැනිදා 𝐑𝐞𝐥𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐇𝐞𝐚𝐝𝐪𝐮𝐚𝐫𝐭𝐞𝐫𝐬 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐅𝐨𝐫𝐜𝐞𝐬 (𝐉𝐚𝐟𝐟𝐧𝐚) තේමාවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පිළිබඳව ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

විශ්‍රාමික මේජර් ජෙනරල්වරයා සිය සටහන මගින් පවසා ඇත්තේ, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පලාලි සිට හදිසියේ ස්ථාන මාරු කිරීමට සූදානම් වන බවට පැතිර යන කටකතා, සාම්ප්‍රදායික ආරක්ෂක මූලධර්මවලින් මෙන්ම ශ්‍රී ලංකාවේ යුද ඉතිහාසයෙන් උගත් පාඩම්වලින් බැහැරවීමක් ද පෙන්නුම් කරන බවයි. ඒ අනුව මූලස්ථානය පලාලි ප්‍රදේශයෙන් ඉවත් කිරීමට යම් අදහසක් හෝ සාකච්ඡාවක් පවතී නම් එහි ප්‍රතිවිපාක වඩාත් අවධානයෙන් යුතුව විමසා බැලීම අත්‍යවශ්‍ය වන බව ද  විශ්‍රාමික මේජර් ජෙනරල්වරයා සිය සටහන මගින් පවසා ඇත. භූගෝලීය මෙන්ම උපායමාර්ගිකව ද මූලස්ථානය එම ස්ථානයේ පිහිටා තිබීමේ ඇති වැදගත්කම කරුණු කිහිපයක් යටතේ කරුණු සහිතව පැහැදිලි කර ඇති   විශ්‍රාමික මේජර් ජෙනරල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙනයාම සඳහා ඉදිරිපත් වන ඕනෑම යෝජනාවක් විනිවිද මෙන්ම ආරක්ෂක තක්සේරුවක් මත පදනම් විය යුතු බවත් එමගින් ජාතික ආරක්ෂාව, සමුද්‍රීය මෙන්ම භෞමික අඛණ්ඩතාව ද තහවුරුවීමක් මිසක එය පළුදු නොවන බවට පැහැදිලිව ඔප්පු කළ යුතුව ඇති බවත් ය. 

Facebook | Archived Link

විශ්‍රාමික මේජර් ජෙනරල්වරයා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ස්ථාන මාරු කිරීමට සූදානමක් ගැන පැතිර යන කටකතා මුල් කර ගෙන  එම සටහන තබා ඇති අතර ඔහු කිසිදු තැනක යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කර ඇති බවක් හෝ ඒ සඳහා වන තීන්දුවකට එැළැඹ ඇති බවක් සඳහන් නොකරයි. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමක් සිදු කර නොමැති අතර මූලස්ථානය සුපුරුදු ලෙස එම ස්ථානයේම පිහිටා ඇති බවයි. තව ද ආරක්ෂක සේනා මූලස්ථානය පිහිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙනයාමට රජය තීරණයකට එැළැඹ ඇති බවට කිසිදු නිල ප්‍රකාශයක්  හෝ තහවුරු කිරීමක් සිදු කර නොමැත. 

Avatar

Title:යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *