දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
නිසි ලෙස තහවුරු කර නොගත් සහ අනුමාන මත පිහිටා ඇතැම් තොරතුරු වාර්තා කිරීම තුළ සිදුවන සමාජ හානිය අතිවිශාල වන අතර ඇතැම්විට ඒවා අපහසු හැරවිය නොහැකි තරමේ ප්‍රබල ඒවා ද විය හැකියි. මෙවැනි වාර්තා කිරීම් හරහා වින්දිතයින්ගේ දරුවන්, ඇතුළු ඥාතීන් හිතමිත්‍රදීන්ට ද සිදුවන්නේ, මහත් වූ හානියකි. කෙසේ වෙතත් මිනිස් ඝාතන වැනි සංවේදී කාරණාවලදී නිසි පරිදි තහවුරු කර නොගත් පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද වාර්තා කරන අවස්ථා සහ ඒවා ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කිරීම හමුවේ ඉතා වේගයෙන් සමාජගත වන ආකාරයක් ද දැක ගතහැකියි. මේ එලෙස රටේ ම අවධානය යොමු වූ නෙළුව තිදරු මවගේ ඝාතනය පිළිබඳව Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවයි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
නෙළුව පොලිස් වසමේ හක්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර හිස කොටස වෙනත් නිවසකට ගෙන ගොස් දමා ඇති බවට වන පුවත පසුගිය 20 වන දා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණා. එම මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඝාතනයට හේතුව බිරිඳගේ අනියම් සම්බන්ධයක් බවයි.
බිරිඳගේ ගෙළ කපා හිස අනියම් සැමියාගේ ගෙදර මිදුලේ තියලා – සැමියා පොලිසියට ඇවිත් භාරවෙලා යන ශීර්ෂයෙන් Dasathalankanews මෙම පුවත මෙලෙස වාර්තා කර තිබුණේ වැඩි විස්තර සඳහා වන ප්‍රවේශයක් ද සහිතවයි.
සටහනට අදාළ වැඩිවිස්තරය තුළ අදාළ සැමියා බිරිඳ ඝාතනය කිරීමෙන් පසු පොලීසියට භාරවී ඇති බවත් බිරිඳගේ හිස කොටස අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන පුද්ගලයාගේ නිවසේ මිදුලට දමා ගොස් ඇති බවත් වාර්තා කර තිබුණා. 32 හැවිරිදි අදාළ කාන්තාව තිදරු මවක බවත් අදාළ කාන්තාව නිවස අසල පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යාම නිසා දෙදෙනා අතර මෙම අරවුල හටගෙන ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා. Archived Link
Hiru News මෙම පුවත මරණයකින් කෙළවර වූ අනියම් පෙම යන ශීර්ෂය යටතේ වාර්තා කර තිබුණේ සිදුවීමට අදාළ දර්ශන ද සහිතවයි.
තවත් වෙබ් අඩවි රැසක්ම අනියම් ප්‍රේම සම්බන්ධතාවක් නිසා අදාළ කාන්තාව ඝාතනයට ලක්ව ඇති බවට ලංකාදීප|Archived Link අරුණ|Archived Link ගොසිප් ලංකා |Archived Link වාර්තා කර තිබිණ.
අනියම් ඇසුරක් නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට තවත් සටහන් ෆේස්බුක් ඔස්සේ මෙලෙස පළ වී තිබුණා.
කාන්තාවගේ ගෙල කපා ඝාතනය කිරීමට හේතුව අනියම් සම්බන්ධතාවක් බවට විශ්වාස කරමින් අදහස් පළ කර තිබූ බොහෝ පිරිසක් අතරේ තවත් පිරිසක් මෙය අනියම් සම්බන්ධතාවක් මත සිදුවූ ඝාතනයක් නොවන බවට අදහස් පළ කර තිබුණේ මෙලෙසයි.
|
|
|
|
මේ අනුව ඝාතනයට හේතුව අනියම් සම්බන්ධයක් නොවන බවට අදහස් පළ වී තිබීම සහ එහි නිර්වද්‍යතාව විමසා අප වෙත ලද ඉල්ලීම් ද සලකා මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
නෙළුව ඝාතනයට අදාළ කරුණු පරීක්ෂාවේදී අප ප්‍රධාන ධාරාවේ අනෙකුත් මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබූ ආකාරය මූලිකවම පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලම පාහේ මෙම පුවත වාර්තා කර තිබූ අතර සිය නිල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද පුවතට අදාළ සටහන් හුවමාරු කර තිබුණා. 20 වැනිදා අලුයම් කාලයේදී සැමියා විසින් ගෙල කපා අදාළ බිරිඳ ඝාතනය කර ඇති බවත් පසුව කඳින් වෙන් වූ බිරිඳගේ හිස කොටස අසල නිවසකට ගෙන ගොස් දමා ඇති බව ද එම වාර්තාවල සඳහන් වූණා. තිදරු මවක වන මෙම කාන්තාවගේ මරණයට හේතුව සැමියා නිවසට යන විට බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග සිටීම බව මාධ්‍ය කිහිපයක් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබූ අතර තවත් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි. එහෙත් පවුල් අරවුලට හේතුව බිරිඳගේ අනියම් ඇසුරක් බවට මෙම පුවත් වාර්තාවල ඝෘජුවම ප්‍රකාශ කර නොමැත.
මේ අනුව කාන්තාවගේ ඝාතනයට සැබෑ හේතුව කුමක් ද යන්න පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන නිවේදනය පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
පොලිසියේ වාර්තාවට අනුව හප්පිටිය ප්‍රදේශයේදී ගෙල කපා කාන්තාවක (32) ඝාතනය කර ඇති බවත් පවුල් ආරවුලක් දුරදිග යාම ඝාතනයට හේතුව බව දැනට සිදුකරන විමර්ශනවල අනුව අනාවරණය වී ඇති බවත් ඝාතනය සිදු කළ 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් එහි සඳහන් වේ. ඇතැම් වාර්තාවල සඳහන් පරිදි පවුල් ආරවුලට හේතුව අනියම් සම්බන්ධයක් බවට අපරාධයට අදාළව පොලිසිය නිකුත් කරන ලද නිල වාර්තාවේ හෝ සඳහන් නොවේ.
මේ පිළිබඳ තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් සිදු කළා. එහිදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට හේතුව අදාළ කාන්තාවගේ අනියම් සම්බන්ධයක් බවට අනාවරණය වී නොමැති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ, ඝාතනය සිදු කර පොලිසියට භාරවී ඇති අදාළ සැකකාර සැමියා මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකු බවයි.
නෙළුව පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ධාරාවල අදාළ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පළ වන වාර්තාවල නිර්වද්‍යතාතව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප සිදුවීම සම්බන්ධව විමසර්ශන සිදුකරනු ලබන නෙළුව පොලිස් සථානයෙන් ද විමසීමක් කළා. එහි ස්ථානාධිපතිවරයා කියා සිටියේ, අනියම් සම්බන්ධයක් නිසා අදාළ ඝාතනය සිදු කර ඇති බවට වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බවයි. ඝාතනය සිදු කර ඇති සැකකාර සැමියා හිටපු හමුදා සාමාජිකයෙකු බවත් ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන බවත් බිරිඳට අනියම් සම්බන්ධයක් ඇති බවට ඔහු තුළ සැකයක් තිබී ඇති බවත් ය. කෙසේ වෙතත් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අදාළ සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද ස්ථානාධිපතිවරය ප්‍රකාශ කළා.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන්
කාන්තාවගේ ඝාතන සිදුවීම සම්බන්ධව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන් කිහිප දෙනෙකු හරහා ද අප කරුණු විමසා බැලීමක් සිදු කළා. ඔවුන් ප්‍රකාශ කළේ, ඝාතනයට හේතුව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයේ අනියම් සම්බන්ධතාවක් නොවන බවයි. සැකකාර සැමියා කලක් හමුදා සේවයේ නිරතව සිට ඇති පුද්ගලයෙකු බවත් ඔහු මේ වනවිට යම් මානසික අබාධ තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙකු බවත් ය. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයෙකු බවට වාර්තාවන බවත් නිරන්තරව අදාළ කාන්තාවට පහර දීම් සිදු කරන බවට වාර්තා වන බවත් ය.
නෙළුව, හක්පිටිය ප්‍රදේශවාසීන්
ඇතැම් වර්තාවල සඳහන් වන පරිදි කාන්තාවගේ ඝාතනයට හේතුව අනියම් සම්බන්ධයක් ද යන්න පිළිබඳව අප ගම්වාසීන් හරහා ද තොරතුරු විමසා බැලීමක් සිදු කළා. එක් පුද්ගලයෙකු ප්‍රකාශ කළේ, ආදාළ කාන්තාව අවුරුදු 14 පමණ තිස්සේ සිට දන්නා බවත් ඇය කිසිදු පුද්ගලයෙකු සමග අනියම් ඇසුරක් පවත්වා ගත් තැනැත්තියක නොවන බවයි. සෙනග රැස්වන ස්ථානවලට යාමට ඇයට සැමියා අවසර නොදුන් බවත් වෙනත් පිරිමියෙකුගේ ඇසුරක් ලැබීමට තරම් ඇයට සැමියාගෙන් ඉඩකඩක් නොලැබුණ බව ද ඔහු සඳහන් කළා. “වෙන පිරිමි ඇසුරක් ලබන්න තරම් ඉඩකඩක් ලැබුණේ නෑ. පිරිමි පුද්ගලයාගේ තාඩන පීඩන උඩ ජීවත් වුණේ, මේ නංගි ඒ දුක වින්ඳෙ දරුවො තුන්දෙනා වෙනුවෙන්. හැම දුකක්ම විඳලා ඒ මනුස්සයා මරුණා. දැන් ඒ මනුස්සයගේ අත්මය වත් රැකෙන්න ඕන සීයට දාහක් වුණත් තහවුරු කරලා කියනවා මේ නංගිට අනියම් ඇසුරක් තිබුණේ නෑ කා එක්කවත්” මේ අතර සැකකාර සැමියා හමුදා සේවයේ සිටියදී කන ප්‍රදේශයට වෙඩි වැදී සිටි පුද්ගලයෙකු බවත් පසුව ඔහු හමුදා සේවය හැර දමා පැමිණ සිටි බවත් පසුව ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකු බවත් තවත් පුද්ගලයෙක් ප්‍රකාශ කළා. “මත්ද්‍රව්‍ය භාවිත නොකරන අවස්ථාවලදී ඉතා යහපත් හැසීරීමක් පෙන්වනවා ඒත් චුට්ටක් හරි මත්ද්‍රව්‍ය ගත්තම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා යකෙක් වගේ වෙනවා. අනියම් ඇසුරක් ගැන කතාව අමූලික බොරුවක්”
ඝාතනයට ලක්වූ කන්තාව පිළිබඳව තවත් ප්‍රදේශවාසී කාන්තාවක් මෙලෙස අදහස් දැක්වූවා. “ඒ අක්කා ඇත්තටම අහිංසක කෙනෙක්. අයියගේ ප්‍රශ්න නිසා. පිරිමි කෙනෙක් එකක් කතා කළත් සැක කරනවා. එළියටවත් ආපු නැති කෙනෙක්”
නෙළුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කණිෂ්ක එදිරිසිංහ
ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා ද ඝාතන සිදුවීම සම්බන්ධයෙන් අප සමග අදහස් පළ කළා. ඔහු ද කියා සිටියේ මෙම කාන්තාවගේ ඝාතනය අනියම් සම්බන්ධයක් මත සිදුවූ බවට වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.
“ඒ ගෑනු කෙනාට පිරිමියෙක්ගේ හුළඟක් වත් වැදිච්ච කෙනෙක් නෙවෙයි. කිසිම හේතුවත් මත එළියට බහින්න දෙන්නේ නෑ. ගෙදර ඉන්නත් ඕන දොර වහගෙ එළියට ගිහිපු වෙලාවක මගදි හම්බවෙලා කතා කළොත් ගෙදර ගිය ගමන් පහර දෙනවා.අහිංසක ඉන්නකල් වඳ විඳලා මැරිලත් සැනසීමක් නෑ. මාධ්‍ය කෙහේවත් ඉන්න ගෙදරක කෙනෙක් පටලවලා නැති මනුස්සයෙකුට වරදක් පටවලා”
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, බිරිඳ සහ දරු තිදෙනා සැකකාර පුද්ගලයා ඔවුන්ගේ මහගෙදර ජීවත් වූ බවත් මීට වසරකට පමණ අභාවයට පත්වූ ඔහුගේ මවගේ අවමංගල්‍යෙ උත්සවය නිවසේ තිබූ බවත් එම අවස්ථාවේදී පවා අදාළ පුද්ගලයා ඝාතනයට ලක්වූ කාන්තාවට එළියට හෝ පැමණීමට ඉඩ නොදී කමරයක සිර කර තබා තිබූ බවයි.
තව ද සිදුවීම සිදුවූ දිනයේ අදාළ කාන්තාව දරුවෙකු යවා අසල්වැසි නිවසකින් හාල් ඉල්ලා ගෙන විත් දරුවන්ට කෑම සකසා දී ඇති බවත් රාත්‍රීයේ මව තමන් සමග නින්දට ගිය බවත් , පසුව පියා පැමිණ දෙරට ගසද්දී මව දොර විවෘත කළ බව දරුවන් ද ප්‍රකාශ කළ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා. සැකකාර පුද්ගලයා ද ඉතාමත් යහපත් අතීතයේ යහපත් ජීවිතයක් ගත කළ අයෙකු බවත් ඔහු හයිටි රාජ්‍යයේ සාම සාධක හමුදාවේ පවා සේවය කළ ඔහු වෙඩි වැදීමේ සිදුවීමෙන් පසු යම් මානසික අබාධයකින් පෙළී ඇති බවත් පසුව මත්ද්‍රව්‍ය භාවිතයට ද පුරුදු වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
බිරිඳ ඝාතනය කිරීමෙන් පසු මුලින්ම බිරිඳගේ හිස යාබද ඉඩමේ පිහිටි සිය සහෝදරයාගේ නිවසට රැගෙන ගොස් දොරට ගසා ඔවුන්ට කතා කර ඇති බවත් මීට පෙරද බීමතින් පැමිණ සහෝදරයාට පහර දෙන බැවින් ඔහු එම අවස්ථාවේ ද ඉවතට නොපැමිණ සැඟව ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. පසුව සහෝදරයාගේ බිරිඳ දොර විවෘතකර ඇති බවත් පසුව ගෑනිගේ බෙල්ල කැපුවා කියමින් බිරිඳගේ හිස ගේ ඇතුළෙන් තබා ඇති බවත් එය දැකීමෙන් බිය වූ සහෝදරයාගේ බිරිඳ ද දරුවා සමග කැලයට පැනගොස් ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. පසුව අදාළ පුද්ගලයා එය රැගෙන වෙනත් නිවසක මිදුලෙන් තබා පොලිසියට ගොස් භාර වී ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිස කොට තබා ගොස් තිබූ නිවසේ පුද්ගලයා
අදාළ පුද්ගලයා බිරිඳ ඝාතනය කර හිස කොටස තබා ගොස් තිබූ නිවසේ පුද්ගලයා ද අප සමග අදහස් පළ කළා. තමන් මව පියා සහ දරුවා සමග නිවෙස් ජීවත්වන බවත් සිය බිරිඳ විදෙස්ගතව සිටින බවත් ඔහු සඳහන් කළා. මුලින්ම මිදුලේ තිබූ හිස කොටස සිය මව දැක තිබූ බවත් පසුව හෙල්මට් එකක් වනි යමක් මිදුලේ ඇති බව මව ප්‍රකාශ කිරීමෙන් පසු තමන් පැමිණ බැලූ බවයි. ඒ වනවිටත් අදාළ පුද්ගලයා පොලිසියට භාරවී ඇති බව සඳහන් කළ ඔහු පසුව සිය මිදුලේ ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ හිස කොටසක් ඇති බවට ඒ වනවිට ගමට පැමිණ සිටි පොලිසියට තමන් දැනුවත් කළ බව ද ඔහු ප්‍රකාශ කළා. වැඩිදුටත් අදහස් පළ කළ අදාළ පුද්ගයා මෙසේ ද ප්‍රකාශ කළා.
“ඒ ගෙදරත් එක්ක එක වචනයක් වත් කතා කරලා නෑ. ලොකුවට දැකලත් නෑ. දෙපාරක් තුන්පාරක් දකින්න ඇති. ඒ කාන්තාව දුක්ඛිත ජීවිතයක් ගත කළේ, හිරකර ගෙන හිටියේ, දවල්ට හිටියත් දොරවල් වහගෙන ඉන්නේ”
කාන්තාව ඝාතනය කළ පුද්ගලයා බීමතින් සිටි අවස්ථාව ඇති වූ සුළු සිදුවීමක් නිසා තමන් සමග යම් අමනාපකමක් තිබී ඇති බව ද ඔහු සඳහන් කළා.
අදාළ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ කළ සියලු දෙනා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත්වූ පුද්ගලයින් වන අතර ඔවුන් සියලු දෙනා තහවුරු කර කියා සිටි කරුණ වූයේ, කාන්තාවට කිසිදු අනියම් සම්බන්ධතාවක් පවත්වා නොමැති බවත් ඇය ඉතා අහිංසකව ජීවත් වූ දුක්ඛිත ජීවිතයක් ගත කළ කාන්තාවක් බවයි.
සමාජ මාධ්‍ය සටහන්
ප්‍රධාන ධාරාවේ ඇතුළු ඇතැම් සමාජ මාධ්‍ය අදාළ කාන්තාවගේ ඝාතනය අනියම් සම්බන්ධයක් හේතුකොට ගෙන සිදුකර ඇති බවට පළ කර තිබූ වාර්තා හෙළා දකිමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිපදෙනෙකු ද සිය ගිණුම් ඔස්සේ මෙලෙස අදහස් පළ කර තිබුණා.
|
|
|
|
Facebook | Archived Link Facebook | Archived Link
නෙළුව කාන්තාව ගෙල කපා ඝාතනය කිරීමට හේතුව අදාළ කාන්තාව අනියම් ඇසුරක් පැවැත්වීම යන්න මාධ්‍ය වාර්තා තුළ සඳහන් වූයේ කෙසේ ද යන්න ප්‍රශ්න සහගතයි. කෙසේ වෙතත් විමර්ශන පවත්වන පොලිසිය පවසන්නේ, මෙම ඝාතනය අනියම් ඇසුරක් නිසා සිදුවූ ඝාතනයක් බවට කරුණු අනාවරණය නොවන බවයි. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ, මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා ඝාතනයට ලක්වූ සැමියාට බිරිඳ පිළිබඳව යම් සැකයක් තිබී ඇති බවයි.
අදාළ කාන්තාවගේ හිස වෙනත් නිවසක මිදුලට ගෙන ගොස් තැබීම මත හෝ, සැමියා තුළ බිරිඳ පිළිබඳව සැකයක් පැවතීම හෝ පවුලේ යම් යම් ආරවුල් තිබීම මත සිට මෙම ඝාතනයට ලක් වූ කාන්තාවට අනියම් ඇසුරක් තිබී ඇති බවටත් සහ ඝාතනය සිදු කර ඇත්තේ, එම අනියම් ඇසුර නිසා බවට වන නිගමනයන්ට එළැඹ ඒවා සමාජගත කිරීම කෙතරම් දුරට සාදාචාර සම්පන්න ද යන්න නැවත නැවතත් සියලු දෙනාම සිතා බැලිය යුතු කරුණකි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

