තෙල් හිඟයකට ඉඩ නොදෙන බවත්, නැව්වලට නාවික හමුදාව යොදා ආරක්ෂාව දෙන බවටත් බලශක්ති ඇමති ප්‍රකාශයක් කළාද? 

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ, රට තුළ ඉන්ධන හිඟයක ඇතිවේ ද යන්නයි. කෙසේ වෙතත් මෙය මූලික කරගනිමින් ඒ හා බැඳුණු, සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන්  රැසක් සමාජ මාධ්‍ය වේදිකා තුළ සංසරණය වන බව දැකගත හැකියි. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

 “මැදපෙරදිග යුද්ධය නිසා තෙල් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. ලංකාවට එන තෙල් නැව්වලට නවික හමුදාව යොදවා ආරක්ෂාව දෙනවා’’ යනුවෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බව කියමින් මෙම සටහන පළ කර ඇත්තේ, රටේ නාවික හමුදාවට ආදරෙයි නම්, ශෙයාර් කරන්න යනුවෙන් ඉල්ලීමක් ද කරමින්. තව ද මෙය පළ කර ඇත්තේ, මාර්තු 01 වැනිදා Newswire නිල ෆේස්බුක් පිටුවෙ පළ කරන ලද සටහනක් බවට හැඟී යන අයුරිනි. යුද්ධයක් තිබුණ ද තෙල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවටත් යුදමය තත්ත්වය හමුවේ මෙරටට එන තෙල් නෞකා සඳහා නාවික හමුදාව යොදා ආරක්ෂාව සපයන බවටත් උපහාසාත්මක් කෝණයෙන් මෙය පළ කර ඇති බව පෙනී යයි.   

Facebook | Archived Link

විශාල ප්‍රමාණයේ යුද නෞකාවලට පවා ප්‍රහාර එල්ල වන වටපිටාවක් තුළ  අපේ ශ්‍රී ලංකා නාවික හමුදාව තෙල් නැව් ආරක්ෂා කරන්නේ කෙසේ යනුවෙන් තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් අමාත්‍යවරයා විසින් සිදුකර ඇති බව කියන ප්‍රකාශය උපහාසය දනවන සුුළු ආකාරයෙන් සමාජ මාධ්‍යයේ මෙලෙස පළ කර තිබුණා. 

වට්ස්ඇප් ඔස්සේ ද මෙම සටහන හුවමාරු වී තිබුණේ මේ ආකරයෙනි.

මෙහි නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ද ලද ඉල්ලීම් ද මුල්කර ගනිමින් අප මෙහි කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මීට දින කිහිපයකට ඉහතදී ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම ආරම්භ කිරීමත් සමග මේ වනවිට මැදපෙරදිග කලාපයම යුද ගැටුමකට මැදි වී සිටී. තව ද අමෙරිකානු සහ ඊශ්‍රායල  ප්‍රහාර  හමුවේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු කලාපයේ යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින ආකාරයක් ද දැකගත හැකියි. මෙැවනි වටපිටාවක් තුළ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති වේ යැයි යන බියකින් දින කිහිපයක් තිස්සේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකගත හැකියි.   

මැදපෙරදිග යුද ගැටුම් නිසා තෙල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවටත් ලංකාවට එන තෙල් නැව් සඳහා නාවික හමුදාව යොදා ආරක්ෂාව දෙන බවටත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළා යැයි සටහන් පළ වන්නේ, එවැන් වටපිටාවක් තුළදී ය. 

අදාළ සටහන Newswire අකෘතියට සමාන බැවින් අප මූලිකවම ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා.  කෙසේ වෙතත් එහි එවැනි සටහනක් පළ කර නොමැති බව තහවුරු විය. ඒ අනුව අමාත්‍යවරයා විසින් සිදු කරන ලද බව කියන එවැනි ප්‍රකාශයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ වාර්තා කර තිබේ යන්න අප ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති විකාශ සහ වැඩසටහන් ඔස්සේ ද පරීක්ෂාවට ලක් කළ නමුත් අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවක් දැකගන්නට නොමැත. 

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා. රට තුළ ඉන්ධන ඉඟියක් නොමැති බවත් මාසයකට වැඩි කාලයක් සඳහා රට තුළ ඉන්ධන සංචිත පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙලෙසයි. 

මේ අතර අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා මෙන්ම  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ද අවධාරණය කර කියා සිටියේ, රට තුළ කිසිදු ආකාරයේ ඉන්ධන හිඟයක් නොමැති බවත් අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සංචිත රට තුළ පවතින බවත් ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන නෞකා කිහිපයක් ම මෙරටට පැමිණීමට නියමිත බවත් ය.

බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ “මැදපෙරදිග යුද්ධය නිසා තෙල් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. ලංකාවට එන තෙල් නැව්වලට නවික හමුදාව යොදවා ආරක්ෂාව දෙනවා’’ යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකර තිබේ දැයි අප බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසා සිටියා. මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඉහත ආකාරයේ ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදුකර නොමැති බවයි.  

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක 

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනට අනුව මේ දිනවල හෝ ඉදිරියේදී  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්ධන නෞකා සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගන්නේ දැයි අප නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම නෞකාවක් සඳහා ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරිය වන බවයි. යුදමය තත්ත්වයක් තිබීම හෝ නොතිබීම යන කරුණු මත  නොව ලංකාවට එන සියලු වර්ගයේ නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී ආරක්ෂා කිරීම නාවික හමුදාවේ වගකීම බවත් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් යටතේ එය සිදු කරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා. 

ලංකාවට ඉන්ධන එන්නේ කොහෙන් ද? කෙතරම් කාලයක් සඳහා තොග පවතින්නේ ද? 

මේ වනවිට අවශ්‍ය තරම් ඉන්ධන තොග ගබඩාවල පවතින බවත් ඒ හේතුවෙන් ඉන්ධන රැස් කර ගැනීමට හෝ ඒ සම්බන්ධව අනවශ්‍ය කලබලයක් ඇති කර ගතයුතු නොමැති බව අද (02) අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් රජය ජනතාවට දැනුම් දී සිටියා.  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන නැව් පැමිණෙන්නේ මැදපෙරදිග කලාපයේ සිට නොවන බවයි. වෙනත් කලාපවල සිට ශ්‍රී ලංකාවට ඉන්ධන නෞකා පැමිණෙන බවත් පසුගිය වසර පුරාවටම ශ්‍රී ලකාවට ඉන්ධන නෞකා පැමිණ ඇත්තේ, ඉන්දියාව, කොරියා, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල සිට බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා. මාසයකට ප්‍රමාණවත් පරිදි සංස්ථාව සතුව ඉන්ධන තොග පිළිබඳව සභාපතිවරයා මෙලෙස සංඛ්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදු කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට බොර තෙල් ආනයනය කරන්නේ, මැදපෙරදිග කලාපයේ සිට බවත් මාසයක් සඳහා බොර තෙල් ද තිබෙන බව ප්‍රකාශ කළ සභාපතිවරයා කියා සිටියේ යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතුන හොත් වෙනත් කලාපවලින් බොර තෙල් ආනයනය සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කර ඇති බවයි.  ඒ අනුව යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතුන ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති වන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.  

මේ අතර එම මාධ්‍ය හමුවේදී ඇනවුම් කරන ලද ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්ධන නෞකා පිළිබඳව කැබිනට් ප්‍රකාශවරයා දින වකවානු ද සහිතව මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “මැදපෙරදිග යුද්ධය නිසා තෙල් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. ලංකාවට එන තෙල් නැව්වලට නවික හමුදාව යොදවා ආරක්ෂාව දෙනවා’’ යනුවෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සමාජය නොමග යැවීමේ අරමුණින් Newswire නිල සටහන් ආකෘතිය ව්‍යාජව යොදා ගනිමින් සකසා සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනකි. කෙසේ වෙතත් අමාත්‍යවරයා ඇතුළු රජයේ වගකිවයුතු පාර්ශව විසින් මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව තහවුරු කරමින් ප්‍රකාශ කර තිබේ.

Result Stamp

Title: තෙල් හිඟයකට ඉඩ නොදෙන බවත්, නැව්වලට නාවික හමුදාව යොදා ආරක්ෂාව දෙන බවටත් බලශක්ති ඇමති ප්‍රකාශයක් කළාද? 

Fact Check By: Sagarika Chathumali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *