දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට එම ප්‍රතිලාභ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ මත පදනම්ව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඡන්දයක් කිට්ටු වන විට නැවත අස්වැසුම ලබාදීමට සිදුවන බවට ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. එම සටහන සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
පවුල් ලක්ෂ 7කට අස්වැසුම නතර කළේ ඒ අය ඒක ගන්න උනන්දු නොවුන නිසා බවත්, ඡන්දයක් කිට්ටු වනවිට නැවත ආපහු එය දෙන්න සිදු වන බවත් අමාත්‍ය බිමල් රත්නායක විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.


ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට අප කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම):
පවුල් ලක්ෂ 7කට අස්වැසුම නතර කළේ ඒ අය ඒක ගන්න උනන්දු නොවුන නිසා හෝ ඡන්දයක් කිට්ටු වනවිට නැවත එය දීමට සිදු වන බවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කළ බවට කිසිදු විශ්වාසදායක මාධ්‍ය වාර්තාවක් හෝ නිල නිවේදනයක් ප්‍රකාශයට පත් වී නොමැත.
එසේම අප විසින් මෑතකදී බිමල් රත්නායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ අතර, මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවට හඳුනා ගැනීමට ලැබුණේ නැහැ.
එසේම, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟිනි. බිමල් රත්නායක මහතා මීට අදාළ අමාත්‍යවරයාද නොවේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක
අප විසින් සිදු කළ විමසීමේදී බිමල් රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින්ද සඳහන් කළේ මෙම සටහන සම්පූර්ණයෙන් අසත්‍ය සටහනක් බවත් අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ය.
අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට අප්‍රේල් සහ ජූනි මාස වල සිට අස්වැසුම ප්‍රතිලාභ අහිමි වන්නේ ඇයි ?
මෙම සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබුණේ අප්‍රේල් සහ ජූනි මාස වල සිට අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 7කට පමණ එම ප්‍රතිලාභ ලබාදීම අවසන් කිරීමට තීරණය කර ඇති පසුබිමකයි. ඒ අනුව මෙම ප්‍රතිලාභීන්ට එම ප්‍රතිලාභ ලබාදීම නතර කළේ කුමන හේතුවක් මත ද යන්න සොයාබැලීමටද අප කටයුතු කළා.
අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට මෙම ගෙවීම් නතර කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ මත රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිමය ක්‍රියාවලියකි. අස්වැසුම යනු දීර්ඝ කාලීන ස්ථිර දීමනාවක් නොව ආර්ථික තත්ත්වය අනුව වෙනස් වන ක්‍රමවේදයකි. ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් වූ ජනතාව ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම අරමුණු කරගෙන අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක විය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අස්වැසුම යටතේ පවුල් ඒකකයක දරිද්‍රතා මට්ටම මැන බැලීම සඳහා නිර්ණායක 6ක් සහ දර්ශක 22ක් භාවිත කෙරිණි. ඒ අනුව ප්‍රතිලාභීන් ප්‍රධාන කාණ්ඩ 4කට වර්ගීකරණය කර දීමනා ලබා දෙන ලදී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්,
- අතිශය දිළිඳු: වඩාත්ම පීඩිත පවුල් (මාසිකව රු. 15,000/- බැගින් වසර 3කට). පසුව මෙය රු. 17,500/- දක්වා ඉහළ නංවන ලදී.
- දිළිඳු: අඩු ආදායම්ලාභී පවුල් (මාසිකව රු. 8,500/- බැගින් වසර 3කට). පසුව මෙය රු. 10,000/- දක්වා ඉහළ නංවන ලදී.
- අවදානමට ලක්වූ: ආර්ථික වශයෙන් අස්ථාවර පවුල් (මාසිකව රු. 5,000/- බැගින්).
- සංක්‍රාන්තික: තාවකාලිකව ආර්ථික සහාය අවශ්‍ය පවුල් (මාසිකව රු. 2,500/- බැඟින්)
අස්වැසුම සැලසුම් කිරීමේදීම “සංක්‍රාන්තික” සහ “අවදානමට ලක්වූ” යන කාණ්ඩ දෙක හඳුන්වා දුන්නේ කෙටි කාලීන සහන කාණ්ඩ ලෙසයි. ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් ස්ථාවර වන තෙක් පමණක් මෙම සහනය දීමට නියමිතව තිබුණි. මුල් සැලසුම් අනුව අවදානමට ලක්වූ කාණ්ඩයේ දීමනා 2025 දෙසැම්බර් මස අවසන් වීමට තිබූ නමුත්, ආර්ථික තත්ත්වය සලකා එය 2026 ජූනි මාසය දක්වා දීර්ඝ කර තිබුණි. එම දීර්ඝ කළ කාල සීමාව මේ වන විට අවසන් වී ඇත.
මෙම දීමනා නතර කිරීම පියවර දෙකකින් සිදු විය
පළමු පියවර (2025 අප්‍රේල්): “සංක්‍රාන්තික” කාණ්ඩයේ ප්‍රතිලාභ ලැබූ පවුල් 315,000 කගේ දීමනා 2025 අප්‍රේල් මාසයෙන් පසුව නතර කෙරිණි.
දෙවන පියවර (2026 ජූනි සිට): “අවදානමට ලක්වූ” කාණ්ඩයේ සිටි පවුල් 425,000 කගේ දීමනා 2026 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නතර කර ඇත.
කෙසේ වෙතත්, මේ වන විට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් වාර්ෂිකව දත්ත යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, නැවත ආර්ථික අපහසුතාවන්ට ලක්වන පවුල් සිටී නම් ඔවුන්ට සිය තහවුරු කිරීම් හරහා නැවත සුදුසුකම් ලැබීමට ද අවස්ථාව සලසා ඇත.
අස්වැසුම අඛණ්ඩව ලැබෙන්නේ කාටද?
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත්තේ මින් ඉදිරියට අස්වැසුම ප්‍රතිලාභ “දිළිඳු” සහ “අතිශය දිළිඳු” පවුල් සඳහා පමණක් සීමා කිරීමටයි. එම දීමනා ද 2027 ජූනි දක්වා ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
එසේම අස්වැසුම සුභසාධක දීමනා ගෙවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී නිමල් කොටවලගෙදර මහතා (සභාපති, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය) විසින් සඳහන් කර තිබුණේ අස්වැසුම යනු පුළුල් සමාජ ආරක්ෂණ වැඩසටහනක එක් කොටසක් පමණක් බවත්, ප්‍රතිලාභීන් තේරීමේදී පුද්ගල මනාපයන් මත නොව, දත්ත පද්ධතියක් හරහා ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් භාවිත කරන බවත් ඔහු අවධාරණය කළේය.
එසේම අශාන් දර්ශක මහතා (සහකාර කොමසාරිස්, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය) විසින් සඳහන් කර තිබුණේ, අස්වැසුම යටතේ පැවති සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් 2024 අප්‍රේල් මාසයෙන් අවසන් වූ අතර, අවදානමට ලක්වූ කාණ්ඩයේ ගෙවීම් 2024 ජූනි මාසයෙන් අවසන් වන බවයි. කෙසේ වෙතත්, මෙම පිරිස් අතරින් තවමත් ආර්ථික අපහසුතා ඇති අයට නව තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය හරහා නැවත අයදුම් කර සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවතින බවත් ඔහු සඳහන් කර තිබුණා. දුප්පත් සහ අන්ත දිළිඳු කාණ්ඩ සඳහා ගෙවීම් 2027 ජූනි දක්වා අඛණ්ඩව සිදු කෙරෙන බවත් ඔහු සඳහන් කර තිබුණා.
එහිදී ප්‍රකාශ කළ වැදගත් තොරතුරු සහිත වීඩියෝවක් මෙතනින්.
එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පවුල් ලක්‍ෂ හතකට අස්වැසුම නතර කළේ ඒ අය ඒක ගන්න උනන්දු නොවුනු නිසා යනුවෙන් සහ ඡන්දයක් ළං වෙනකොට නැවත ඉල්ලගෙන එයි, එවිට අපිටත් ආපහු දෙන්න වෙන බවට ප්‍රකාශයක් බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් සිදුකර ඇති බවට සඳහන්ව හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට අප්‍රේල් සහ ජුනි මාස වල සිට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම අවසන් කිරීම IMF නිර්දේශ මත ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි.


