දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
‘චූටි බබා’ පෙර පාසල් දරුවන් සඳහා වෙන්ව ඇති අධ්‍යාපනික මාසික සඟරාවේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නේ ‘ඇසක්’ පෙන්විය යුතු ස්ථානයක රූපය ලෙස ‘කන’ මුද්‍රණය කර තිබු බව දක්වමින්. මෙහි සත්‍ය තොරතුරු සහ පසුබිම කුමක් ද යන්න පිළිබඳව නිරීක්ෂණයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් :
පෙර පාසල් දරුවන් සඳහා වෙන්ව ඇති පත්තරයක් වන ‘චූටි බබා’ නමැති අධ්‍යාපනික මාසික සඟරාවේ ඉංග්‍රීසි හෝඩියේ “e” අකුරෙන් නිරුපණය වන දෙයක් ලෙසට “eye” සඳහන් කර තිබුණ ද, එහි “ඇසක” ඡායාරූපය වෙනුවට “කන”ක (ear) ඡායාරූපයක් පළ කර ඇති ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

කෙසේ වෙතත් මෙම ඡායාරූප සටහන් වල දැක්වෙන්නේ සත්‍යයක් ද, යන්න පිළිබඳ ව අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම):
මෙම ඡායාරූපය මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බැවින් අප ඉහත ‘චූටි බබා’ ළමා පත්තරේ මෑතක පළ වූ අනුවාද පරීක්ෂා කළත්, ඉහත සඳහන් ආකාරයේ ඡායාරූපයක් අපට දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවෙන් අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එහිදී මෙම ඡායාරූප සටහනක් 2021 වර්ෂයේ මාර්තු මසදී ෆේස්බුක් ඔස්සේ පළ වී තිබූ අයුරු අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. Archived Link
කෙසේනමුත් මේ දිනවල බහුවල සංසරණය වන ඡායාරූප සටහන් මෙන්, 2021 වර්ෂයේ මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබූ අයුරු අපට දැක ගන්නට නොලැබුණි.
එමෙන් ම 2021 වසරේ පළ වී තිබූ ඡායාරූපය ම, මේ දිනවල දැක්වෙන සටහන් වෙත යොදා ගෙන ඇති බවට එහි ඡායාරූප පසුබිම නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබෙන අතර, වෙනත් ඡායාරූප අවස්ථාවක් අපට 2021 වසරේ හෝ මෑතකදී පළ වූ සටහනක් ලෙස දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවෙන් ඒ පිළිබඳ තොරතුරු විමසා බැලීම සඳහා අප ‘චූටි බබා’ ළමා පත්තරේ ප්‍රකාශන සමාගම වන ඉමාශි ප්‍රකාශන සමාගමේ අලෙවි කළමණාකරු රවී ගමගේව මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා.
ඉමාශි ප්‍රකාශන සමාගමේ අලෙවි කළමණාකරු
රවී ගමගේ සඳහන් කළේ, මෙම ඡායාරූප සටහන මෑතකදී ‘චූටි බබා’ ළමා පුවත්පතේ පළ කිරීමක් නොවන බවත්, 2021 වසරේ මාර්තු මස බෙදා හැරීමට නියමිත ව තිබූ මාසික සඟරාවක් බවයි. කෙසේ වෙතත් ඡායාරූපයේ දැක්වෙන ලෙස සිදුවූ අත්වැරද්ද, මෙම පුවත්පත පාඨකයින් වෙත බෙදා හැරීම සිදු කිරීමට දින කිහිපයකට පෙර හඳුනාගත් බවත්, ඒ හේතුවෙන් මාර්තු මාසයේ ‘චූටි බබා’ ළමා පුවත්පත බෙදා හැරීම වහාම නතර කළ බවත් ඒ මහතා පවසා සිටියා.
ඒ අනුව මෙම වැරදීම සිදුව තිබූ 2021 මාර්තු මාසයට නිකුත් වීමට නියමිත ව තිබූ පුවත්පත් කලාපයේ බෙදා හැරීම් කටයුතු වහාම නැවත්වීමට, එනම්, පුවත්පතේ අලෙවි සිදුකර පාඨකයන් අතට පත් වීමට පෙර පුවත්පත් නියෝජිතයන් වෙතින් එකතු කර ගත් බවත් ඉමාශි ප්‍රකාශන සමාගමේ අලෙවි කළමණාකරු රවී ගමගේ මහතා අවධාරණය කර සිටිනවා.
2021 වසරේ මාර්තු කලාපයේ මුද්‍රණ කොට බෙදා හැර තිබූ පත්තර සංඛ්‍යාවෙන්, සියල්ලක්ම වාගේ (99.7%) නැවත එකතුකරගැනීමට හැකි වී තිබෙන බවත්, ඒ මාසය සඳහා අලෙවි වාර්තා පරික්ෂා කරමින් ඒ මහතා පෙන්වා දෙනවා.
යම්කිසි අයුරකින් ඉතා සුළු පාඨක පිරිසක් වෙතට හෝ 2021 මාර්තු මස කලාපය ලැබුණේ නම්, එය ද නිවැරදි කරනු පිණිස අප්‍රේල් මස කලාපයේ, එම වැරද්ද නිවැරදි කිරීමක් පළකළ බව ද, ඉමාෂි ප්‍රකාශන අලෙවි කළමණාකරු වැඩි දුරටත් පවසා සිටියා.
එලෙස නිවැරදි කරනු ලැබූ පත්තර පිටු ද, අප වෙත යොමු කරනු ලැබුවා. එය පහතින්.
පුවත්පත් නියෝජිතයින් කිහිපදෙනෙක් ද පත්තර නැවත එකතු කර ගත් සිදුවීම තහවුරු කොට සිටිනවා
අප මේ පිළිබඳව විමසා බැලීම සඳහා කොළඹ, කුරුණෑගල, නුවර, ගාල්ල, ඇතුළු ප්‍රදේශවල, පුවත්පත් නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් විමසා බැලීමට ද කටයුතු කළා. බොහෝ පිරිසකට එම සිදුවීම අමතක වී තිබුණත්, ඇතැම් නියෝජිතයින් දෙදෙනෙකු (කොළඹ සහ නුවර) පවසා සිටියේ එම සිදුවීම මතක බවත්, එක් කලාපයක ‘චූටි බබා’ ළමා පත්තරේ වූ වැරැද්දක් හේතුවෙන්, එය අලෙවි කිරීමට ප්‍රථම සියලුම පුවත්පත් තම ආයතනයෙන් නැවත එකතු කර ගත් බව යි.
සැ.යු. මෙම චුටි බබා ළමා පුවත්පත මඟින් සිදුව තිබෙන අත්වැරැද්ද අප ද කිසිසේත් අනුමත කරන්නේ නැති අතර වෙතන් ළමා පත්තරවල ද ඇතැම් අවස්ථාවල දී මෙවැනි අතපසු වීම් සිදුව තිබෙනවා. විශේෂයෙන්ම පෙර පාසල් ළමුන්ට සහ කුඩා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන මෙවැනි පුවත්පත්හි අන්තර්ගතය සම්බන්ධයෙන් කතෘ මණ්ඩලය මනා සැළකිල්ලෙන් කටයුතු කළ යුතු අතර සෝදුපත් කියවීමේ කටයුතු යනාදිය ද ඉතා වගකීමෙන් සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක්. එවැනි ක්‍රමවේදයක් තුළ මේ ආකරයේ අත්වැරැද්දක් කතෘ මණ්ඩලය මඟින් යම් ලෙසකින් හෝ සිදුවුවද මුද්‍රණය කිරීමට සහ බෙදා හැරීමට පෙර එය වළක්වා ගත හැකිව තිබුණි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:‘චුටි බබා’ පත්තරේ ඇහැක ඡායාරූපයක් වෙනුවට කනේ ඡායාරූපයක් මුද්‍රණය කළ සිදුවීමේ ඇත්ත නැත්ත!
By: Pavithra SandamaliResult: Explainer