දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය සමයේ පැවති අරගලයට දායකත්වය සැපයූ ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන විසින්, අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ තවත් ජනප්‍රිය චරිත විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“අරගලේ හිටපු අය මටත් කොකා පෙන්නලා මඩි තර කර ගත්තා. මට ලැබුණු කොටස පවා රැට්ටලා දමිතලා යටි මඩි ගහ ගත්තා. ඒ නිසයි මම අරගලයෙන් එළියට බැස්සේ. මට අන්තිමට ඉතුරු වුණේ, කැනඩාවෙ පදිංචි දමිළ සහෝදරයෙක් එවපු කරේ දාගෙන ඉන්න මේ චේන් පට විතරයි.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දූලිකා මාරපන විසින් ෆේස්බුක් හි සජීවි හමුවකට පැමිණ ප්‍රකාශ කළ බවට හඟවමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

එම සටහන ෆේස්බුක් පරිශීලකයින් ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළා ද, යන්න පිළිබඳව ඇයගේ නිල ෆේස්බුක් ගිණුම හරහා අප නිරීක්ෂණය කළා. ඇය විසින් එලෙසින් අරගලය සම්බන්ධයෙන් හෝ අරගලයට දායකත්වය සැපයූ රතිඳු සේනාරත්න(රැට්ටා) සම්බන්ධයෙන් හෝ ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හෝ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයක් කර නොතිබුණි.

ඉන් අනතුරුව අප අවධානය යොමු කළේ, දුලීකා මාරපන විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි සජීවිව පැමිණි අවස්ථාවක් ඇත් ද යන්නයි. ඒ අනුව දුලීකා මාරපන විසින් එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුමට සමාන අයුරින් වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා දැක ගන්නට ලැබෙනවා.

එහි පසුබිම පරික්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය සටහන් සඳහා මෙම වීඩියෝවේ රුප රාමුවක් යොදාගෙන ඇති බව පැහැදිලි වෙනවා. සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු එම වීඩියෝවේ 7 වන තත්පරයේ නිශ්චල රූප රාමුව පහතින්.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්. Archived Link

අප මෙම වීඩියෝව වෙත අවධානය යොමු කළා. එම ෆේස්බුක් සජීවි වීඩියෝවේදී , දුලීකා මාරපන විසින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන අතර ඇය විසින් එම වීඩියෝව පුරාවට අදහස් ප්‍රකාශ කරන්නේ ඇය එම අවස්ථාවේ සහභාගී වෙමින් තිබූ නාට්‍ය රූගත කිරීමක් සම්බන්ධයෙනි.

එමෙන්ම එම සජීවි වීජියෝව හරහා ප්‍රේක්ෂකයින් අසනු ලබන පැන වලට පිළිතුරු සපයන අතර අවස්ථා දෙකකදී ඇයට යොමු කරන ප්‍රශ්නයක් වන දේශපාලනයට එනවාද යන්න ප්‍රශ්න සඳහා තමන් දේශපාලනයට නොපැමිණෙන බව ද, දුලීකා පවසා සිටිනවා. ඒ හැරුණු කොට ඇය විසින් කිසිදු අවස්ථාවක දමිතා හෝ රැට්ටා සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් හෝ මෙම වීඩියෝවේ දී සිදු නොකරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සටහන් සම්බන්ධයෙන් දුලීකා මාරපන සිය නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් මෙතනින්. Archived

එමෙන්ම ඇය විසින් වෙනත් අවස්ථාවක හෝ ඉහත සඳහන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද යන්න පිළිබඳ අප “Keyword” භාවිත කරමින් පරීක්ෂා කළ ද, එවැනි සටහනක් හෝ වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි.

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දුලීකා මාරපන මහත්මියව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඇය සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක රැට්ටා හෝ දමිතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවත්, ඔවුන් දේශපාලනයට පැමිණිය ද, තමන්ට කිසිදු විවේචනයක් හෝ ඒ සම්බන්ධයෙන් නොමැති බවත්, තමන් රූගත කිරීමකට සහභාගී වූ අවස්ථාවේ ෆේස්බුක් සජීවි වීඩියෝවක් කළ බවත්, එම අවස්ථාවේ ඡායාරූපයක් අවභාවිත කොට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් අසත්‍ය තොරතුරු පතුරුවන බවයි.

එමෙන් ම සිය රසිකයින් ද, මෙම සටහන් තමන් වෙත යොමු කළ බව ත්, අසත්‍ය පැතිරවූ පුද්ගලයන්ට මේ පිළිබඳ දැනුවත් කළ බවත්, ඇය තව දුරටත් ප්‍රකාශ කළා.

Also Read: FACT CHECK: රංගන ශිල්පිනී දුලීකා මාරපන මියගොස් ඇති බවට නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ ව්‍යාජ පුවතක්!

FACT CHECK: දුලීකා මාරපන රංගන ශිල්පිනිය පාස්කු ප්‍රහාරය හා හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් වීඩියෝ පටයකට පෙනී සිටියාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල දැක්වෙන පරිදි, රංගන ශිල්පිනී දුලීකා මාරපන විසින් අරගලය සම්බන්ධයෙන් රැට්ටා හා දමිතා අබේරත්න අළලා හෝ එම සටහනේ දැක්වෙන පරිදි වෙනත් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. එම ව්‍යාජ සටහන්හි පසුබිමට යොදාගෙන තිබෙන වීඩියෝවේද, දුලීකා මාරපන විසින් එවන් ප්‍රකාශයක් සිදු නොකරන අතර තමා ඉලක්ක කර ගනිමින් නැවත වරක් හුවමාරු වන්නේ ව්‍යාජ පුවත් පෙළක් බවත් දුලීකා තහවුරු කර සිටිනවා.

Avatar

Title:දමිතයි රැට්ටයි විවේචනය කරමින් දුලීකා මාරපනගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Pavithra Sandamali

Result: False