ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය වටා අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක සටහන් ගැන පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මීට වසර දෙකකට පමණ පෙර මෙරට ජාතික ඖෂධ අධිකාරිය හරහා භාවිතයට නුසුදුසු බාල ඖෂධ මෙරටට ගෙන්වා තිබීම ත්, එම බාල ඖෂධ ලබාදීමෙන් රෝගීන්ට ඇති වූ ආසාත්මිකතා, සංකූලතා නිසාත් එය සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මාතෘකාවක් වුණා. මෙම ඖෂධ අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් දැඩි අවධානයක්   යොමු  වූ අතර  මතු වූ ගැටලුකාරී තත්ත්වය හමුවේ භාවිතයෙන් ඉවත් කළ මෙම ඖෂධය නැවත භාවිත කරන බවට පළ වූ සටහන් පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙනා බාල ඖෂධයක් නැවත ගෙන්වීමට අවසර ලබා දී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්

මෙම සටහන් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හියුමන් ඉමියුනොග්ලොබියුලීන්

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (IVIG) ස්නායු ආබාධ ඇති පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිතව උපත ලබන අයට ලබා දෙන ප්‍රතිශක්තිකරණ වර්ධනය කරන ප්‍රතිකාරයකි. එය පරිත්‍යාග කරන ලද මිනිස් ප්ලස්මාවලින් සාදන ලද බැවින්, නිසි ලෙස පරීක්ෂා කර පිරිසිදු නොකළහොත් ආසාදන සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති බැවින්, දැඩි ප්‍රමිතීන් යටතේ උසස් තත්ත්වයේ ඖෂධ සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

හිරු පුවත් තුළින් නොමග යවන සුළු අර්ථ කතනයක්

පසුගිය මැයි 31 වන දා හිරු මාධ්‍ය ප්‍රවෘත්ති විකාශයේදී ඔවුන් වාර්තා කරනු ලබන පුවතක සඳහන් වුණේ,  ප්‍රමිති‍යෙන් බාල බව තහවුරු වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් ‍ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ‍ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය රෝහල්වලට දැනුම් දී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්‍ගේ වෘත්තීය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරන බව ත් වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විරෝධි කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි. 

එහිදී එම මාධ්‍ය ජාලය විසින් පවසන්නේ, මෙහි සඳහන් කරන ඉමියුනොග්ලොබියුලින් ‍ඖෂධය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද, මෙරටට ගෙන්වීම හේතුවෙන් නීතිය හමුවට කැඳවා ඇති බවයි. එම වීඩියෝව මෙතනින්. කෙසේ වෙතත් මෙම පුවතේ සඳහන් වන වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරන්නේ, ප්‍රශ්න සහගත කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාලයේදී ගෙන්වන ලද ඉමියුනොග්ලොබියුලින් ඖෂධ භාවිත කිරීමෙන් ඉවත් කළාට පසුව දෙවන වරට වෙනත් සමාගමකින් ගෙන්වන ලද එම ඖෂධය භාවිත කරන විට එම ඖෂධයේ බැක්ටීරියා සහ විස සහ වීදුරු කැබිලි, විවිධ සංඝටක පවතින බවට දෙවන වරට ගෙන්වූ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ද භාවිතයෙන් ඉවත් කළ බව පවසනවා. නැවතත් එම ඖෂධය ම භාවිත කරන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය විසින් රෝහල්ොවලට දැනුම් දුන් බව සඳහන් කරනවා එම කොටස මෙතනින්.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගෙන්වූ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය නැවත වරක් ගෙන්වා ඇති බවට හිරු පුවත් මාධ්‍ය ජාලය විසින් වාර්තා කළ බැවින් ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වූයේ වර්තමානයේ ප්‍රශ්න සහගත බව ඇති වූයේ ද, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන්වූ බව කියන බාල ඖෂධය නැවත මෙම ආණ්ඩු විසින් ද, ගෙන් වූ බවට දක්වමින්.

“රඹුක්වැල්ල ගෙන්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නෙමෙයි” සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා විසින් ඊයේ දිනයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්වා දෙන්නේ, ඉමියුනොග්ලොබියුලින් හා කෙහෙළිය රඹුක්වැල්ල සිදුවී‍මෙන් පසු ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරට රෝගීන්ට ලබා දිය යුතු ඖෂධයක් බැවින් කැබිනට් පත්‍රිකාවක් හරහා සම්මත කිරීමෙන් පසුව  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පැන නැගුණු ඉමියුනොග්ලොබියුලින් ඖෂධය නොව මෙරට පිළිගත් සැපයුම්කරුවෙකු විසින් ඉන්දියාවේ පිළිගත් සමාගමකින් මෙම ඖෂධය ආනයනය කළ බව ත් පවසා සිටියා. පසුව මේ ඖෂධය සම්බන්ධව ද, පැමිණිලි කිහිපයක් ලැබුණු බැවින් ඒ ගැන ජාතික ඖෂධ අධිකාරිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ බව ත්, එම ඉතුරු වී තිබූ තොගය තාවකාලිකව නතර කළ බව ත්, යළි ඒ සම්බන්ධ‍යෙන් මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්‍යාගාරයේ මෙන්ම   ඉන්දියාවෙ විද්‍යාගාර වලින් ද පරීක්ෂණ වාර්තා ලැබුණා ඒ වාර්තා මත පදනම්ව මෙරට විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම ඖෂධය භාවිත කිරීමට හැකි බවට නිර්දේශ කිරීම මත මෙය නැවත භාවිත කළ බව ත්, නමුත් කිසිසේත් ම මෙය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය

2023 වසරේදී මේ සම්බන්ධයෛන් මාධ්‍ය විසින් අනාවරණය කර ඇති තොරතුරු වල දැක්වෙන්නේ, එවකට පැවති ආර්ථික අර්බුදය හමුවේ රටට අත්‍යවශ්‍ය ඖෂධ හදිසියේ ලබාගැනීම උදෙසා ක්‍රියාත්මක කළ දීර්ඝ ප්‍රසම්පාදන පිළිවෙත් සහ සුපරීක්ෂාවන් මඟහැරිය හැකි ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නමැති උපක්‍රමශිලී ක්‍රමවේදය භාවිත කරමින් මෙරටට ගෙන් වූ ඖෂධ අතර ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) නමැති ඖෂධය ද, තිබූ බවයි.

රජයේ රෝහල්වලට බෙදාහරින ලද ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) නමැති ඖෂධය හේතුවෙන් හටගත් අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ වාර්තා මාතලේ දිස්ත්‍රික් රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙතින් වාර්තා වූ අතර මාතලේ DGH හි රෝගීන් දෙදෙනකු තුළ මෙම IVIG එන්නත් කිරීමෙන් පසු ඇනෆිලැක්සිස් (ජීවිත තර්ජනාත්මක අසාත්මිකතා ප්‍රතික්‍රියාවක්) තත්ත්වය වර්ධනය වී තිබේ. මෙම ඖෂධය රට තුළට ගෙන්වා බෙදා හැර ඇති ආකාරය පිළිබඳ බරපතළ චෝදනා රැසක් එළි වී ඇති අතර අල්ලස දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් මේ බෙහෙත ව්‍යාජ නිල මුද්‍රා යොදා සැකසූ කූඨ ලිපි ලේඛන භාවිත කර ගෙන්වා ඇති බවත් ඒ සඳහා පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පැමිණිලි කර තිබුණි. පසුව වෛද්‍ය සංගම් වෙතින් ද, මේ පැමිණිල්ල ඉදිරිපත් වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඒ චෝදනාවම කරමින් පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

ඒ අනුව මෙහි නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ   Livealth Bio Pharma Pvt Limited ය. දේශීය නියෝජිතයා Isolez Biotech Pharma AG නමැති සමාගමකි. 

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු කර තිබේ. මෙම ක්‍රියාවලියක් ඔස්සේ මෙරට සැපයුම්කරුවකුගෙන් මිලයට ගත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගය ඉහත සැපයුම්කරු නිෂ්පාදනය කර ඇත්තේ මෙරටදී බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. මේ සැපයුම්කරු තමන්ගේ කර්මාන්ත ශාලාවක් තුළ එම ඖෂධය නිෂ්පාදනය කර තිබූ අතර ඔහු ඒ සඳහා භාවිත කර තිබු‍ණේ පළතුරු බීම නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේදී අනාවරණය කෙරිණි. ඒ ඉමියුනොග්බියුලින් වැනි එන්නතක් නිෂ්පාදනය කිරීමට තරමේ ඉහළ තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත ශාලාවක් මෙරට නොමැති බව ද හෙළි වී තිබේ.

මේ සිද්ධියට අදාළව නඩු පවරා ඇති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් විසින් රජයේ මුදල් බිලියනයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලද බවටද චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

මේ වන විට ආනයනය කරන ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය 

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ජූනි පළවන (01) දින පළකිරීම සඳහා මුද්‍රණය කර ඇති මව්බිම ප්‍රවෘත්ති පත්‍රයේ ” භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් කුප්පි යළිත් ඇවිත් ” යන මාතෘකාව යටතේ පළ කර ඇති ප්‍රවෘත්තියත්, ඊට අදාළව ” විෂ එන්නත රෝගීන්ට බෙදන්න, යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.” යන මාතෘකාව යටතේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ප්‍රවෘත්තියත් සම්බන්ධව කරන කරුණු පැහැදිලි කිරීමක් ලෙස දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සඳහන් වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා සම්බන්ධ සිදුවීමෙන් පසු ICHOR Biologics (Pvt) Ltd යන සමාගම විසින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඉමියුනොග්ලොබින් නමැති ඖෂධයක් මෙරටට ආනයනය කළ බව ත්, ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිය ලබා දෙන්නේ 2023 අප්‍රේල් මාසයේදී බවත් ය. මෙම ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පෙනී ගිය බැවින්, ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව කමිටුව මඟින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී තිබේ. පසුව මේ පිළිබඳ තවදුරටත් කරන ලද පර්යේෂණ වලදී පෙනී ගොස් ඇත්තේ එම ඖෂධය නිසි ප්‍රමිතීන්ගෙන් යුතු බවයි. එසේම ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය මඟින් එම ඖෂධය පිළිබඳ කරන ලද තත්ත්ව පර්යේෂණ වලින් ද මේ බව තහවුරු වී ඇති බව ත්, එම වාර්තා සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව මගින් එම ඖෂධය තවදුරටත් භාවිතා කළ හැකි බව තීරණය කරන ලද අතර මෙම ඖෂධය නැවත භාවිතා කළ හැකි බව නිර්දේශ කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව අදාල සියලු කරුණු සලකා බැලීමෙන් පසුව බව ත් එහි වැඩි දුරටත් දන්වා තිබුණා.

අප මේ පිළිබඳව වැඩි දුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. මෙම ඖෂධය ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව කමිටුව මඟින් භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී තිබීම හා ඒවා නැවත භාවිත කිරීමට සුදුසු ලෙස අනුමත වූයේ කෙසේ ද යන්නයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, මෙම ඖෂධය ප්ලස්මා තරලයෙන් නිෂ්පාදනය කිරීම නිසා මේ සඳහා අසාත්මිකතා ඇති වීමට හැකියාව ඉහළ මට්ටමක පවතින අතර ලැබුණු පැමිණිලි හේතුවෙන් ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ලැබුවත්, පර්යේෂණ දිගටම සිදු කළ බවයි. ඉන්දියානු මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය පමණක් නොව මෙහිදී ද, සිදු කරන ලද පර්යේෂණ වල එම ඖෂධය නිසි ප්‍රමිතීන් වලට යුක්ත බවට අනාවරණ වූ බවයි.

කෙසේ වෙතත් පැමිණිලි අතර මෙම ඖෂධය හේතුවෙන් රෝගියෙකු මිය ගිය බවට පැවති සැකය ද, මේ ඖෂධය භාවිත කිරීම නිසා වූ බවට සිදු කළ පර්යේෂණ වලදී තහවුරු වී නොමැති බව ත්, ඔහු පෙන්වා දෙනවා.

මාධ්‍යවේදී සජීව විජේවීර

මාධ්‍යවේදී සජීව විජේවීර මේ සම්බන්ධයෙන් සිය වෙබ් අඩවියේ වාර්තා කර තිබුණේ, ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිතයට ගැනීමෙන් පසු රෝගීන්ට විවිධ ආසාත්මිකතා සහ සංකූලතා ඇතිවීම හේතුවෙන් 2024-09-10 වැනි දින වෛද්‍ය සැපයුම් අංශයේ චක්‍රලේඛයක් මගින් එය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබූ බවයි.

ඉන්පසු විවිධ රෝහල්වලින් එම ඖෂ‍ධයේ සාම්පල වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ අවදානම් තක්සේරු අනු කමිටුව විසින් ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ මෙම ඖෂධ කුප්පිවල බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති තිබෙන බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය ඖෂධ නීති සංග්‍රහයේ නිර්ණායක අනුව එය භාවිතයට නුසුදුසු ලෙස තීරණය කර ඇති බව ත් එහි සඳහන් වනවා.

ඖෂධය ස්ථිර වශයෙන් ම භාවිතයෙන් ඉවත්කරන්න යැයි වෛද්‍ය සැපයුම් අංශය විසින් 2024-10-23 වැනි දින චක්‍රලේඛයක් මගින් දැනුම් දුන් අතර නමුත් ඖෂධ අපහරණ මණ්ඩලයෙන් පැමිණ ඒවා නිසි පරිදි ලේඛනගත කර රැගෙන යනතුරු ඒ ඒ රෝහල්වල ගෙනවිත් තිබූ තොග සුරක්ෂිතව තිබී ඇති බවයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නමැති ඖෂධ‍ කුප්පිවල බැක්ටීරියා විෂ පැහැදිලිව හඳුනාගත් බවට තහවුරු වී තිබියදී පසුව වෛද්‍ය සැපයුම් අංශයේ ‘ස්වස්ථා’ දත්ත පද්ධතිය මගින් ඉවත්කර තිබූ ඖෂධ තොගය නැවත භාවිතයට ගන්නා ලෙස දැනුම් දීමෙන් පසු මොවුන් ප්‍රශ්න කරනු ලබන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් කුප්පිවල ඇසට පෙනෙන කැබිලිති තිබිය දී ඒවා නැවත භාවිතා කරන්න යැයි කීම පුදුමයට කරුණක් බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී සජීව තැබූ වෙබ් ලිපිය මෙතනින්. Archived Link

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය වටා අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක සටහන් ගැන පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply