දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදීමේ උත්සවයක් ඔක්තෝබර් 12 වැනිදා ජනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙහිදී ලබා දී ඇති හිමිකම්පත් සම්බන්ධව විවිධ පාර්ශව චෝදනා එල්ල කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැමුන් ලබාදී තිබූ හිමිකම් පත්‍රය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ඒ අනුව අප මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදීම සම්බන්ධව කරණු විමර්ශනයක් සිදු කළේ ය.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘ඔප්පුවක් කියලා හිස් කොළ කෑල්ලක් දීලා වතුකරයේ මිනිසුන්ව රවට්ටපු එකා කියනවා පීඩිත පන්තියේ ජනතාවට හොඳ අනාගතයක් උදා කරනවා කියලා’ යනාදී තේමා ඔස්සේ පසුගිය 15 වැනිදා lanka C news හි පළ කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිදු කළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමින් සටහන් පෙළක් පළවී තිබුණි. lanka C news වාර්තාවේ දැක්වෙන්නේ, ආණ්ඩුව වතුකරයේ දෙමළ ජනතාවට ඉඩම් සහ නිවාස ලබා දෙන බවට පම්පෝරි ගසමින් විශාල රැවටීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසූ බවයි. ජනතාවට ඔප්පු නොව කිසිදු වටිනාමක් නොමැති හිස් කොළ කැබැල්ලක් මිස ඉඩම් හෝ නිවාස හෝ නොලැබුණු බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරන බව එහි සඳහන් ය.

මේ අතර තවත් වෙබ් පුවත් වාර්තා කිහිපයක් ද මන්ත්‍රී මනෝ ගනේෂන් උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ, ඉඩම් සහ නිවාස ලබා දෙන බව කියමින් වතුකර ජනතාව රැවටීමක් කර ඇති බවයි. Newshub | Asian Mirror
පිරිනැමූ හිමිකම්පත් සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් චෝදනා
දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලබාදුන් නිවාස හිමිකම්පත්‍රයේ වලංගුභාවය ප්‍රශ්න කර සිටියේ ය. මනෝ ගනේෂන් මහතා චෝදනා කළේ, නිවසක් හෝ ඉඩමක් හිමි නොවූ බවයි. අත්තිවාරමක් දමා නොමැති බවත්, ගෙවල් සාදා නොමැති බවත් යටිතල පහසුකම් හෝ ලබා දී නොමැති බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අමාත්‍යාංශ ලේකම් සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අත්සන් කරන ලද කොල කෑල්ලක් පමණක් ලබාදී ඇති බවයි. ඒ අනුව මෙය ලංකාවේ වලංගු ඔප්පුවක් නොවන බව ද මනෝ ගනේෂන් මහතා පවසයි.
මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ උත්සවයෙන් පසු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු ඇතැම් පාර්ශව මෙහිදී පිරිනැමූ බව කියන හිමිකම්පත් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට විය.
මේ අතර කම්කරු ජාතික පෙරමුණේ, නායක පලනි දිගම්බරන් චෝදනා කරන්නේ, සින්නක්කර ඔප්පුවක් ලබා දී නොමැති බවයි. නිවාස ඉදිකිරීම සඳහා තෝරාගත් බව සහ ගෙවල් දෙන බව කියමින් ලේඛනයක් පමණක් මලෛගම් ජනතාවට ලබා දී ඇති බවයි.
ජන අරගල සන්ධානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණේ, ඔක්තෝබර් 12 වැනිදා සිදුව ඇත්තේ, ඉඩම් හා නිවාස ලබාදීම සඳහා තෝරාගත් අයට තෝරා ගත් බව දැනුම්දීම සඳහා උත්සවය පැවැත්වීමක් බවයි. එම උත්සවයේදී ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමක් සිදු නොකළ බවත්, නිවසක් ලබාදීමක් සිදු නොකළ බවත්, නිශ්චිත තැනක ඉඩමක් ලැබෙන බවක් ප්‍රකාශ නොකළ බවත් සිදුවූයේ, එම ජනතා ඉඩමක් ලබාදීම සඳහා තෝරාගෙන ඇති බවට දැනුම්දීමක් බවයි. එහිදී ඒ සඳහා අවශ්‍ය කරන ලේඛනයක් ලබා දීමක් සිදු කරනන්ට ඇති බවත් එය ඔප්පුවක් නොවන බවත් ඉන් ප්‍රකාශ වන්නේ තෝරාගත් බවට සඳහනක් පමණක් බවත් නාගමුව මහතා ප්‍රකාශ කළේ ය.
ආණ්ඩුව වතු කම්කරුවන්ට ලබාදී ඇත්තේ වලංගු ඉඩම් ඔප්පු නොව පොරොන්දු මත පදනම් වූ ලියැවිල්ලක් බව ලංකා කම්කරු කොංග්‍රසය ද චෝදනා කළේ ය. එහි නියෝජ්‍ය සභාපති කණපති කනගරාජ් පවසන්නේ, ඔප්පු දෙන බවට පොරොන්දුවක් ලබා දී ඇති බවත් එම පොරොන්දුව වලංගු නොවන බවත් ය.
ඒ අනුව පසුගිය 12 වනදා බණ්ඩාරවෙල දී උත්සවයක් පවත්වා මලෛගම් ජනතාවට ඔප්පු ලබාදීමක් සිදු කර තිබේ ද නැද්ද එසේ නම්, ලබා දී ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධව අප මෙලෙස කරුණු විමර්ශනයක් සිදු කළේ ය.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
මලෛගම් ප්‍රජාවට නිවාස හිමිකම් පත්‍රය ලබා දීමේ ජාතික වැඩසටහන සැප්තැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි වැවිලි සහ ප්රජා යටිතල අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කර තිබුණා.
සුවපහසු නිවසක් , සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමග එක්ව මෙරට මලෛගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ 4වන අදියර යටතේ දිස්ත්‍රික්ක 09ක ප්‍රතිලාභින් 2056ක් තෝරා ගෙන ඇති අතර ඉන්දියානු අධාර යටතේ නිවස ඉදිකිරීම සඳහා මුදල් ආධාර ලබා දී ඇති බවත්, ඉදිකල නිවාස සඳහා යටිතල පහසුකම් ලබා දීමේ වැඩ පිළිවෙළක්ද ඉදිරියේදී ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මෙවර පර්චස් 10 ක් සඳහා හිමිකම් පත්‍රය(නිවසක හිමිකම ඇති බවට වන) ලබා දෙන අතර පසුගිය රජයේ හිමිකම ලැබූ ප්‍රතිලාභීන්ට ඉඩමට අවශ්‍ය ඔප්පු ද, සංකේතාත්මකව ලබා දීම සිදු කෙරෙන බව අමාත්‍යවරයා පවසා තිබුණා.
ඒ අනුව පැහැදිලි වන්නේ, පසුගිය රජයේ මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස හිමිකම්පත් හිමි වූ පුද්ගලයන්ට මෙම වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඔප්පු ලබා දුන් බවයි. එමෙන් ම එදින නිවාස හිමිකම්පත් ප්‍රදානය කිරීමක් සුදුසුකම් ලැබූවන්ට හිමි වන බවයි.
2025 වසරේ මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් පිරිනමයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ උත්සවයක් පසුගිය 12 වැනිදා බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මලෛගම් ප්‍රජාවගේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ඉන්දු – ලංකා සිව්වන අදියරේ නිවාස 10,000ක වැඩසටහනේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම මෙහිදී සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. මෙම ව්‍යාපෘතියේ එක් නිවසක් සඳහා ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක මුදලක් සහ ශ්‍රී ලංකා රජය නිවසේ යටිතල පහසුකම් සඳහා වන රුපියල් ලක්ෂ 04ක මුදලක් වැය කරනු තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් මහතා ද මෙම අවස්ථාවට එකව සිට තිබූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය පිළිබඳව පුවත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලම වාගේ වාර්තා කර තිබූ ආකාරය, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
ඒ අනුව ඉන්දු – ලංකා සිව්වන අදියරේ නිවාස 10,000ක වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා ඔක්තෝබර් 12 වැනිදා බණ්ඩාරවෙලදී ලබා දී ඇත්තේ, හිමිකම්පත පමණි.
සමාජයේ කතාබහට ලක් වූ මේ හිමිකම් පත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා හිමිකම් පත ලැබුණු පුද්ගලයෙකුගේ හිමිකම් පතක් අප ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගනිමින් අප වෙත යොමු කරගනු ලැබුවා.
ඒ අනුව දමිළ බසින් සඳහන් එම හිමිකම් පත්‍රය මෙසේ ය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙහි ප්‍රථමයෙන් අදහස් දක්වා ඇති අතර මෙම හිමිකම්පතට සුදුසුකම් ලැබූ පුද්ගලයන් ට ඉඩම වෙන් කළ පසු, නිවස ඉදිකිරීම සඳහා ඔවුන්ගේ ශ්‍රමය නොමසුරුව දායක කිරීම සහ නිවස පිහිටා ඇති ඉඩම නිසි ලෙස නඩත්තු කිරීම සහතික කිරීම වගකීමක් බව ත්, ව්‍යාපෘති අරමුණු සපුරාලීමට අපොහොසත් වීමෙන් හෝ ඔවුන්ගෙන් අපේක්ෂා කරන වගකීම් නොසලකා හැරීමෙන් ලබා දෙන නිවස අහිමි වනු ලබයි. ඉහත සඳහන් කොන්දේසි අනුගමනය කිරීමෙන් පසු නිවසේ හිමිකාරිත්වය සඳහා සුදුසුකම් ලැබෙනු ඇති බව සඳහන් කරනු ලබයි.
ඒ අනුව පෙනී යන්නේ, නිවසේ ඔප්පු ලබා දීමට ප්‍රථම අදියර හිමිකම් පත ලබා දීමත් ඔවුන් ඉහත සඳහන් කළ කොන්දේසි සැපරීමේන් පසු කාලීනව අදාල නිවෙස් සඳහා ඔප්පු ලබා දීම සිදු කෙරෙන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ දී මෙම ව්‍යාපෘතිය යටතේ ම නිවෙස් සඳහා හිමිකම් පත ලබා දුන් පුද්ගලයන්ට ඔප්පු ලබා දීම සිදු වුණේ වත්මන් රජය යටතේ පසුගිය 12 වන දා බැවින් අප මේ පිළිබඳව විමසා බැලීමට අප නව ගම්මාන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සම්බන්ධ කර ගනු ලැබුවා.
වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය
අධ්‍යක්ෂ ජනරාල්තුමිය සඳහන් කළේ, ඔක්තේාබර් 12 වැනි දා පැවති උත්සවයේදී ප්‍රතිලාභීන් 2056 දෙනෙකුට නිවාස හිමිකම් සහත්‍රික පත්‍රය ප්‍රදානය කළ බවයි. එය සංකේතවත් කරමින් දැනට සම්පූර්ණ කරන ලද නිවාසවල පදිංචිවී සිටින නායබැද්ද වත්තේ පදිංචිකරුවන් 10 දෙනෙකු සඳහා ඉඩම් හිමිකම් ඔප්පු (පිරිසිදු ඔප්පු) ප්‍රදානයක් ද සිදු කළ බවයි. සාදා නිම කරන ලද නිවාස 234ක් සඳහා වන ඔප්පු මලෛගම් ජනතාවට ලබාදීමට සූදානම් කර තිබූ බවයි. තවද ඉඩම් හිමිකම් ඔප්පු (පිරිසිදු ඔප්පු) ප්‍රදානයක් පළමු අවස්ථාව මෙය නොවන බවත් මීට පෙර ද සාදා නිම කරන ලද නිවාස සඳහා ඔප්පු ප්‍රදානයන් සිදු කර ඇති බවත් ඇය ප්‍රකාශ කළා.
එලෙස ම ඉකුත් 12 වැනිදා නිවාස හිමිකම් සහත්‍රික පත්‍ර හිමිවූ පිරිස් සඳහා ද නිවාස සාදා නිම කිරීමෙන් පසු ඉදිරියේදී ඉඩම් හිමිකම් ඔප්පු (පිරිසිදු ඔප්පු) ප්‍රදානය කරන බව ඇය සඳහන් කළා ය. එනම් ඔවුන්ට හිමිකම් පනතෛන් වෙන් වූ ඉඩම නිවාසය ඉදිකෙරෙන තෙක් සිය ශ්‍රමයෙන් දායක වීම, පිරිසිදුව තබා ගැනීම යන කොන්දේසී සැපිරීමෙන් පසු නිවාස ඉදිකර අවසානයේදී ඔප්පු ලබා දීම සිදු වන බවයි.
ලබාදුන් ඉඩම් හිමිකම් ඔප්පු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ඉඩම් ලියාංපදිංචි කරන ලද සම්පූර්ණ නිරවුල් අදාළ හිමිකරුට අයිතිය හිමිවන පිරිසිදු ඔප්පුවක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා ය. තව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය යුතුව ප්‍රකාශ කළේ, මලෛගම් ජනතාව සඳහා ප්‍රදානය කෙරුණු ඔප්පුවල කිසිදු ගැටලුකාරී බවක් නොමැති බවයි.
පසුගිය රජය යටතේ හිමිකම් පත ලැබූ මෙම වසරේදී ජනපති අනුර අතින් නිවසේ ඔප්පුව හිමි වූ කාන්තාවකට අයත් ඔප්පුවක් ද, අප වෙත යොමු කර ගෙන අප එම ඔප්පුව ද, පරීක්ෂා කළ අතර එහිදී තහවුරු වුණේ, සාමාන්‍ය පරිදි නිවසක ඔප්පුවක් ඔවුන් වෙත ද, ප්‍රදානය කර ඇති බවයි.
මෙම දේපළ වාසය පිණිස නිවසක් ඉදි කර ලබා දී ඇති අතර එම දේපළ වාසය කිරීමට හැර වෙනත් කරුණකට භාවිත කරන්නේ නම්, මෙම ඔප්පුව අවලංගු කිරීමේ බලය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසයට ඇති බව ත් එහි දක්වා ඇති අතර එම කරුණ හැරෙන්නට මෙය සමාන්‍යයෙන් දේපළ සඳහා ඇති ඔප්පුවක් බවට දැක ගන්නට ලැබේ.
Deedඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් උමන්දිකා නිලුන්දි රත්නායක මහත්මිය ඉදිරියේ මෙම නිවාස ඔප්පු සහතික කර ඇති බැවින් අප ඇයගෙන් ද, මේ පිළිබදව විමසීමක් කරනු ලැබුවා. ඇය සඳහන් කළේ, පසුගිය ආණ්ඩුවේ හිමිකම් පත හිමිව තිබූ පුද්ගලයන්ට අදාළ කොන්දේසි සැපිරීමෙන් පසු වැවිලි සහ ප්රජා යටිතල අමාත්‍යාජශයෙන් නිලධාරීන් තහවුරු කිරීමෙන් පසු ඔවුන්ට මෙම වසරේදී ඔප්පු ලබා දුන් බවයි. එමෙන් ම මෙම වසරේ නිවාස සඳහා හිමිකම් පත ලැබූ පුද්ගලයන්ගේ නිවාස ඉදිකිරීමෙන් පසු ඔවුන් එම හිමිකම්පතේ සඳහන් පරිදි කටයුතු කර ඇත්නම්, ඔවුන්ට පසු කාලීනව එම නිවාස සඳහා ඔප්පු ලබා දෙන බවයි. එමෙන් ම මීට පෙර සිටි රජයන් ද, නිවාස ලබා දීමේදී ඔප්පු ලබා දුන් බව ත්, මෙම ක්‍රියාවලියම සිදුවූ බව ත්, ඇය පෙන්වා දෙනවා.
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප්
බණ්ඩාරවෙලදී පැවති උත්සවයේදී මලෛගම් ජනතාවට ඔප්පු ලබා දී නොමැති බවට හිස් කොලයක් පමණක් ලබා දී ඇති බවටත් එල්ල වූ චෝදනා සඳහා ප්‍රතිචාර මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය අමාත්ය සුන්දරලිංගම් ප්‍රදීප් ප්‍රතිචාර දක්වා තිබුණා.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභීන් 2056 දෙනෙකුට (නිවසක් ලැබීමට සුදුසුකම් ලබා ඇති බවට වන) හිමිකම් ලිපි ලබා දුන් බවත් නිවාස තනාදුන් පසු ඔවුන්ට ද පිරිසිදු ඔප්පු ලබා දෙන බවයි. ඊට අමතරව නිවාස සාදා නිම කර ඇති පිරිසට තවත් 234 දෙනෙකුට පිරිසිදු ඔප්පු ප්‍රදානය කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. නියෝජ්‍ය අමාත්‍යවරයා උත්සවයේදී ප්‍රදාන කළ නිවසක් ලැබීමට සුදුසුකම් ලබා ඇති බවට වන හිමිකම් ලිපිය සහ ඊට අමතරව ලබා දී තිබූ පිරිසිදු ඔප්පු පෙන්වමින් මාධ්‍ය හමුවේදී එම පැහැදිලි මෙලෙස සිදු කළේ ය.
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මේ අතර වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ නිර්ණායක කිහිපයකට යටත්ව දිස්ත්‍රික්ක 9කින් පහත පරිදි ප්‍රතිලාභීන් 2056 දෙනෙකු සඳහා බණ්ඩාරවෙලදි හිමිකම් පත්‍ර ලබා දුන් බවයි.
Title:ජනපති ප්‍රධානත්වයෙන් මලෛගම් ජනතාවට බෙදා දුන්නේ වලංගු නැති ඔප්පුවක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: Insight


