දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෙරට ගුවන් සේවය ආශ්රිත සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ඉඩකඩ වෙන්වෙන ප්‍රධාන ක්ෂේත්රයක් වන අතර මේ දිනවල යළිත් මත්තල ගුවන්තොටුපොළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මණෙය වී තිබේ. ඒ අනුව සත්‍ය තොරතුරු අතරේ අසත්‍ය තොරතුරු ද සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පෞද්ගලික අංශයට ලබාදීමට සූදානම් වන බව කියමින් ෆේස්බුක් සටහනක් පළ කර තිබුනේ මෙලෙසින්. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඊට එහා ගිය කිසිදු විස්තරයක් මෙම සටහනේ ඇතුළත්ව නොමැත.

මේ ඔස්සේ මත්තල ගුවන්තොටුපළ පෞද්ගලීකරණය කිරීමේ තීරණයක් රජය විසින් ගෙන තිබේ ද යන්න පිළිබඳව අප කරුණු විමසා බැලීමක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය සමයේ රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබූ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ පිළිබඳ කතා බහ යළිත් ඉස්මතු වී තිබුණේ, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා උපුටා දක්වමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩපිළිවෙල යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමගයි. එහෙත් එම වාර්තාවල මත්තල ගුවන් තොටුපොළ පෞද්ගලීකරණය කිරීමක් සිදු වන බවක් සඳහන්ව නොමැති අතර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු ලෙසකින් හෝ මත්තල ගුවන් තොටුපොළ පෞද්ගලීකරණය කිරීමට කටයුතු නොකරන බවයි.
රාජ්‍ය ව්‍යාපාර, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා තිබේ. තවත් පුවත් මෙතැනින් සහ මෙතැනින්
කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ දැක්වෙන පරිදි මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ පෞද්ගලීකරණය කරන බවට මෑතකාලීනව පිළිගත් මාධ්‍ය වාර්තා කිසිවක් පළ වී නොමැති බව අප සිදු කළ කරුණු පරීක්ෂාවේදී තහවුරු විය.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් කරුණූ තහවුරු කර ගැනීම සඳහා පාර්ශව කිහිපයකින් කරුණු විමසා සිටියා.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ මාධ්‍ය ලේකම්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් මේ ගැන විමසීමක් සිදු කළ අතර මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ, එවැනි කිසිදු තීරණයක් නොමැති බවයි.
වරාය හා සිවිල් ගුවන්සේවා නි. අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතාගේ මාධ්‍ය ලේකම්
පළවන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමේදී වරාය හා සිවිල් ගුවන්සේවා නි. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ, මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා EOIs (Expression of Interest) කැඳවීමට නියමිත බවත් තවමත් එය කැඳවා නොමැති බවයි. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) විධිවිධාන යටතේ සංවර්ධනය කිරීම සඳහා වන යෝජනාවක් වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් සූදානම් කරමින් ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කෙසේ වෙතත් එය ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමේ යෝජනාවක් නොවන බව ඔහු කියා සිටියා.
ජනාධිපති මාධ්‍ය අංශය
මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළා. රාජ්‍ය ආයතන විකිණීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බව සඳහන් කළ ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ, ප්‍රතිපත්තියක් ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් විකිණීමේ අදහසක් වත්මන් රජයට නොමැති බවයි.
එම අංශය වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය ආණ්ඩු විකණීමට යෝජනා කර තිබූ ඇතැම් ආයතන වත්මන් රජය යටතේ මේ වනවිටත් ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බවයි. කෙසේ වෙතත් සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගත යුතු තැන්වලදී ඒ සඳහා වන දායකත්වය ලබා ගන්නා බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මත්තල ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ සංවර්ධනය කිරීමේ සූදානමක්
පාඩු ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP – Public Private Partnership) විධිවිධාන යටතේ සංවර්ධනය කිරීමේ සූදානමක් ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා උපුටා දක්වමින් The morning වාර්තා කර තිබුණා.
ගුවන්තොටුපළමෙහෙයුම් සාමාන්‍යකරණය කිරීමට සහ නිතිපතා ගුවන් යානා ගමන් නැවත ආරම්භ කිරීමට සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය බවත්, වර්තමානයේ එවැනි ආයෝජනයක් කිරීමට රජයට හැකියාවක් නොමැති බවත්, ගුවන්තොටුපළ මාසිකව රුපියල් මිලියන 250-300 ක පමණ පාඩුවක් ලබන බවත් නි. අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම, භාණ්ඩ මෙහෙයුම්, හෝටල් සහ ආගන්තුක සත්කාර සේවා සහ පියාසර පාසලක් ඇතුළු අංශ කිහිපයක් සඳහා EOIs කැඳවීමට තීරණය කර ඇති බවත්, මත්තල ගුවන්තොටුපළේ පහසුකම් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික ආයතන 3ක් මේ වනවිටත් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
තව ද නියෝජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වන එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එය කිසිදු ආකාරයේ ගුවන්තොටුපළ පෞද්ගලීකරණය කිරීමක් නොවන බවයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ සංවර්ධනය කිරිමේ සූදානම පිළිබඳව පළ වී තිබූ තවත් වාර්තා කිහිපයක් මෙතැනින් සහ මෙතැනින්
2013 වසරේ සිට මත්තල ගුවන්තොටුපොළේ පාඩුව රු. බිලියන 66කට වැඩියි
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පසුගිය නොවැම්බර් 24 වැනිදා අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසුවේ, 2013 ආරම්භයේ සිට මේ දක්වා පාඩු ලබන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සමස්ත පාඩුව රු. බිලියන 66කට අධික බවයි. මෙකී පාඩුව දරාගනිමින් තවදුරටත් ඉදිරියට යාම හැකියාවක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ, 2023 සිට ගුවන්තොටුපොළ කළමනකාරීත්වය සඳහා අභිලාශ කැඳවීම් ගණනාවක් ඉදිරිපත් වුව ද ඒ කිසිවක් මේ දක්වා සාර්ථක අදියරකට ගෙන ඒමට නොහැකිවී ඇති බවයි.
ඒ අනුව මත්තල, ගුවන්තොටුපොළක් ලෙස ක්‍රියාත්මක කරන අතරදී ගුවන් සේවා පාසලක්, ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ආදි වැනි විවිධ අභිලාෂයන් සහිතව අභිලාශ යෝජනා කැඳවීමට කටයුතු කළ යුතුව ඇතැයි, විශ්වාස කරන බව ද අමාත්‍යවරයා එදින පැවසී ය.
මත්තල ගුවන්තොටුපොළෙහි පහසුකම් භාවිත කරමින් ව්‍යාපාර කටයුතු ඇරඹීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට 2023 වසරේ දී ද අනුමැතිය හිමිව තිබුණා. MRIA කාර්යක්ෂම හා ඵලදායී ගුවන් තොටුපළක් බවට පත් කිරීම සඳහා එහි ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයින්ට ඔවුන්ගේ යෝජනා එවිය හැකි බව එවක සම-කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය හමුවේදී පවසා තිබුණා. කෙසේ වෙතත් එම අවධියේ දී අනුමැතිය ලැබුණු එම යෝජනා ද නෛතික බාධක හේතුවෙන් ක්‍රියාත්මක වී නොතිබුණි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමේ කිසිදු තීන්දුවක් රජය විසින් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය (PPP) යටතේ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ සැලස්මක් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතී.
Title:මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් තිබේ ද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading


