කෝටි 8000 ක පොහොර වංචාවක් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවල තොරතුරු නොමග යවන සුළු ලෙස වාර්තා කිරීමෙන් සමාජය තුළ විශාල කැළඹීමක් ඇති වනවා. ජාතික ගොවිජන එකමුතුව විසින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එහි සභාපතිවරයා විසින් ප්‍රකාශ කළ අදහසක් නොමග යවන සුළු අන්දමින් වාර්තා කරමින් නිර්මාණය කළ එවැනි සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

Claim 1

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“කෝටි 8,000 ක පොහොර වංගුවක්, ඩොලර් 290 ට ගන්න පොහොර ඩොලර් 800ට ලංකාවට දීලා – ගොවිජන එකමුතුව” යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

මෙම සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook 

ඩොලර් 290 ක් වැනි මුදලකට මිලදී ගත් පොහොර ඩොලර් 800 ක මුදලකට ලංකාවට ලබා දී ඇති බවත් ඒ ඔස්සේ කෝටි 8000 ක පොහොර වංචාවක් සිදු වී ඇති බවත්, ඒ බව ගොවිජන එකමුතුව විසින් හෙලිදරව් කර ඇති බවත්, මෙම සමාජ මාධ්‍ය සටහන ඔස්සේ ප්‍රකාශිත අදහසයි. සැබෑ ලෙසම මෙවැනි වංචාවක් සම්බන්ධයෙන් ගොවිජන එකමුතුව විසින් හෙළිදරව් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට අප කටයුතු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනෙහි අන්තර්ගත අදහස් ගොවිජන එකමුතුව විසින් ප්‍රකාශිත අදහස් බවට හඟවා තිබීම නිසා අප විසින් ජාතික ගොවිජන එකමුතුව විසින් මෙවැනි හෙළිදරව් කිරීමක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා.

2026.05.04 වන දින ජාතික ගොවිජන එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර, එහිදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා විසින් පොහොර ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. 

ශ්‍රී ලංකාව ඕමානය ඇතුළු මැද පෙරදිග කලාපයෙන් යූරියා ඇතුළු පොහොර මිලදී ගැනීම් සිදුකරන බවත්, මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් එහි පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති බවත්, ඒ අනුව විශේෂයෙන් යූරියාවල මිල මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 700-800 අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එසේ තිබියදීත් ශ්‍රී ලංකාව විසින් එම මුදලට පොහොර මිලදී ගැනීම් තවමත් සිදු කරන බවත් ඔහු සඳහන් කළා. නමුත් මීට වඩා සාර්ථක විකල්පයක් ශ්‍රී ලංකාවට ඇති බවත්, මැදපෙරදිගින් මිලදී ගන්නා පොහොරවල ගුණාත්මක භාවයෙන්ම කසකස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 290 ක් වැනි මුදලකට ලබා ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු සඳහන් කර තිබෙනවා. මෙරට කෘෂිකාර්මාන්තය සඳහා වාර්ෂිකව පොහොර මෙට්‍රික් ටොන් 500000 පමණ ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ඒ අනුව කසකස්ථානයෙන් අඩු මිලට පොහොර මිලදී ගැනීමේ හැකියාව තිබියදීත්, වැඩිමිලට මැද පෙරදිග හරහා පොහොර මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසාවෙන් වාර්ෂිකව මෙරටට රුපියල් කෝටි 8000 පමණ මුදලක් අහිමිවන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. කසකස්ථානයෙන් පොහොර මෙට්‍රික් 1ක් ඩොලර් 290 ක මුදලකට ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර ඇති බවත්, ඔහු සඳහන් කර තිබෙනවා. 

එසේම අඩු මුදලකට කසකස්ථානයෙන් පොහොර මිලදී ගැනීමේ හැකියාව තිබියදී, වැඩි මිලට මැදපෙරදිගින් පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත්,පුද්ගලික අංශයේ මෙම පොහොර ගෙන්වන සමාගම් කසකස්ථානයෙන් අඩු මිලට පොහොර ලබාගෙන, ඒවා අසුරා අපේ රටට වැඩිමිලට ලබාදෙනවා ද යන්න සම්බන්ධයෙන් මෙම සැකය මතුවන බවත් අනුරාධ තෙන්නකෝන් මහතා විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී මතු කර තිබෙනවා. 

අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී අනුරාධ තෙන්නකෝන් මහතා විසින්, සෘජුවම ඩොලර් 290කට ලබා ගත් පොහොර ඩොලර් 800කට මෙරටට ලබා දී ඇති බවටත් ඒ අනුව කෝටි 8000ක පොහොර වංචාවක් සිදුවී ඇති බවටත් අනාවරණය කරන්නේ නැහැ. ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන්නේ කසකස්ථානයෙන් ඩොලර් 290 ට පොහොර ලබා ගැනීමේ හැකියාව තිබියදී, මැද පෙරදිගින් ඩොලර් 800ට පොහොර ගෙන්වීම හරහා වාර්ෂිකව කෝටි 8000 ක පාඩුවක් මෙරටට සිදුවන බවයි. එසේම අඩු මිලට පොහොර මිලදී ගැනීමේ හැකියාව තිබියදී වැඩිමිලට පොහොර ගැනීම සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඔහු සඳහන් කරන්නේ මෙම පොහොර මිලදී ගැනීම් සිදුකරන සමාගම් අඩු මිලට කසකස්ථානයෙන් පොහොර ලබාගෙන ඒවා අසුරා මෙරටට වැඩිමිලට ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවන බවයි.

ජාතික ගොවිජන එකමුතුව මගින් පවත්වන ලද අදාළ මාධ්‍ය සාකච්ඡාව පහතින්

ඩොලර් 290 ට ලබාගන්නා පොහොර ඩොලර් 800 ට මෙරටට ලබා දීමක් සහ ඒ ඔස්සේ කෝටි 8000ක වංචාවක් සම්බන්ධයෙන් ගොවිජන එකමුතුව විසින් අනාවරණය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ගොවිජන එකමුතුව මගින් පවත්වන ලද අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තාකර ඇත්තේ කෙසේද යන්න පරීක්ෂා කළා. මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ, ඩොලර් 290 ක් වැනි මුදලකට පොහොර මිලදී ගැනීමේ හැකියාව තිබියදී, ඩොලර් 800 ක් වැනි මුදලකට පොහොර මිලදී ගැනීම නිසා මෙරටට පාඩුවක් සිදු වන බවයි. එම වාර්තාවන් මෙතනින් සහ මෙතනින්.

ජනාධිපති මාධ්‍ය අංශය

අදාළ මාධ්‍ය සාකච්ඡාව තුළ කසකස්ථාන සමාගමක් විසින් ඩොලර් 290 ක මුදලට පොහොර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර තිබෙන බව ප්‍රකාශ කරන බැවින් අප විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කලා. එහිදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන් කළේ, මෑතකාලීනව උද්ගත වූ මැදපෙරදිග යුද්ධය ආරම්භයේදී මෙරටට අවශ්‍ය ඉන්ධන, ගෑස්,පොහොර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙරට රජය ක්ෂණිකව මැදිහත් වී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ක්ෂේත්‍රයන්ට අදාල පාර්ශව සමග සාකච්ජා වට කිහිපයක් පැවැත් වූ බවත්, ඒ අනුව පොහොර ආනයනකරුවන් සමග ද සාකච්ඡා කළ බවත් ය. එසේ නොමැතිව විශේෂයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය මැදිහත් වී  කසකස්ථාන සමාගමක් සමග සෘජුව පොහොර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් සිදු කර නොමැති බවත් සඳහන් කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය 

එසේම කසකස්ථානයෙන් අඩු මිලට පොහොර මිලදී ගැනීමේ හැකියාව තිබියදී සහ කසකස්ථාන සමාගමක් විසින් ඒ සම්බන්ධයෙන් මෙරට රජය සමග සාකච්ඡා කර තිබියදී, රජය විසින් වැඩි මිලට පොහොර මිලදී ගැනීම පිළිබඳ එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අප විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් කලා. එහිදී ඔහු විසින් සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධ ලිඛිත පැහැදිලි කිරීමක් සිදු කරන බවයි. ඒ අනුව ඔහු විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ජාතික පොහොර ලේකම් කාර්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල නිවේදනයක් අප වෙත යොමු කර තිබුණා. අදාළ නිවේදනය පහතින්.

අදාළ නිවේදනය තුළ, ජාතික ගොවි ජන එකමුතුවේ ගොවි නියෝජිතයකු විසින් කසකස්ථානයෙන් අඩු මිලට පොහොර ලබා ගත හැකිව තිබියදී, ඇ.ඩො 800ක් වැනි වැඩි මිල ගණන්වලට පොහොර ආනයනය සඳහා සමාගම් වලට අවසර ලබා දී ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. කසකස්ථානයෙන් යුරියා පොහොර ආනයනය සඳහා පොහොර ලේකම් කාර්යාලයට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් ලැබී තිබූ බවත්, ඒ සඳහා ආනයන අනුමැතීන් අප්‍රමාදව ලබා දී ඇති බවත්, එසේ වුවද මේ දක්වා එම ආයතන කසකස්ථානයෙන් යූරියා පොහොර ආනයනය කර නොමැති බවත්, 2026.04.29 දින Ceylon Trading and Plantation (Pvt) Ltd නම් ආයතනයක් යුරියා මෙ.ටො. 25,000 ඇනවුමක් ලබාගෙන ඇති අතර, මේ වනතෙක් එම ආයතනය ද යුරියා පොහොර ආනයනය කර නොමැති බවත් එම නිවේදනය තුළ දක්වා තිබෙනවා.  එසේම සතිපතා ජාත්‍යන්තරව පොහොර මිල ගණන් ප්‍රකාශයට පත් කරන Argus සඟරාවේ සඳහන් වර්තමානයේ ලෝක වෙළඳපොළේ යූරියා ඇතුළු නයිට්‍රජන් පොහොර මිල ගණන් ද අදාළ නිවේදනය සමග ඇමුණුමක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. එහි තොරතුරු අනුව ද ඉහත ගොවි නියෝජිතයා සඳහන් කරන මිලට වඩා යුරියා මිල කිහිප ගුණයක් වන බවද නිරීක්‍ෂණය කළ හැකියි.

Claim 2

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කෝටි 8000 ක පොහොර වංචාවක් සම්බන්ධයෙන් සහ ජ.වි.පෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළකර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

මෙම සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook 

පොහොර ආනයන මිල ගණන් සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙන පසුබිමක ඊට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධ කරගනිමින් හුවමාරු වන මෙම සමාජ මධ්‍ය සටහන සම්බන්ධයෙන් සොයා බැලීමට ද අප කටයුතු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  : 

ජාතික ගොවිජන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී එහි සභාපතිවරයා විසින් පොහොර ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, කසකස්ථානයෙන් ඩොලර් 290 ක් වැනි මුදලකට පොහොර මෙට්‍රික් ටොන් 1 ක ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාව මැද පෙරදිග රටවලින් ඩොලර් 800 ක පමණ මුදලකට පොහොර මිලදී ගැනීම් සිදු කරන බවත්, ඒ අනුව වාර්ෂිකව කෝටි 8000 ක පමණ මුදලක් මෙරටට අහිමිවන බවත් ය. එසේම අඩුමුදලට පොහොර මිලදී ගැනීමේ හැකියාව තිබියදී වැඩි මුදලට මෙසේ පොහොර මිලදී ගැනීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බවද ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර තිබුණා. මෙම අදහස් පදනම් කරගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් නිර්මාණය වී ඇති බව හඳුනාගත හැකියි. නමුත් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ කිසිදු ස්ථානයක ටිල්වින් සිල්වා මහතාගේ නම සඳහන් කර තිබුණේ නැහැ.

මෙම සිදුවීමට අදාළව සහ කසකස්ථානයෙන් අඩු මිලට පොහොර ගෙන්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්  කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒ සම්බන්ධව සම්පූර්ණ පැහැදිලි කිරීමක් ඉහත දක්වා තිබෙනවා. 

මෙම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පුළුල් වාර්තාකරණයක් සිදුකර තිබූ නමුත්, එම කිසිදු වාර්තාකරණයක් තුළ, කසකස්ථානයෙන් ඩොලර් 290 ට රැගෙන ඕමානයේදී නැවත සකස් කර කොළඹට ඩොලර් 800 ක මුදලකට පොහොර රැගෙන එන බව හෝ ඉන් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ලාභ ලබන බව දක්වා තිබුණේ නැහැ. 

ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය

ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිල නිවේදනයේ දැක්වෙන කරුණු නැවතත් තහවුරු කළ අතර, මෙම සිදුවීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධ කර හුවමාරු වෙන සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කළා. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහනක් බවද ඔවුන් විසින් සඳහන් කළා.

ඒ අනුව, ගොවිජන එකමුතුව මගින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව ඔස්සේ ප්‍රකාශ කරන ලද කසකස්ථානයෙන් අඩු මුදලකට පොහොර ලබා ගැනීමේ හැකියාව තිබියදී, වැඩි මිලට පොහොර මැද පෙරදිගින් ආනයනය කරන බවත්, ඒ අනුව වාර්ෂිකව මෙරටට කෝටි 8000 ක මුදලක් අහිමිවන බවටත්, වන ප්‍රකාශය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ නිල නිවේදනය ඔස්සේ පැහැදිලි වන්නේ කසකස්ථානයෙන් පොහොර ගෙන්වීම සඳහා පොහොර ලේකම් කාර්යාලයට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් ලැබී තිබූ බවත් ඒ සඳහා ආනයන අනුමැතින් අප්‍රමාදව ලබා දී ඇති බවත් එසේ වුවද මේ දක්වා එම ආයතන කසකස්ථානයෙන් යූරියා පොහොර ආනයනය කර නොමැති බවත් ය. කෙසේ නමුත්, කසකස්ථානයෙන් පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබා දී තිබුණේ කොපමණ මුදලකටද යන්න එම නිවේදනය තුළ දක්වා නැහැ. එසේම ලෝක වෙළෙඳපොලේ පොහොර මිල ගණන් පරීක්ෂා කර බැලීමේදී, ගොවිජන එකමුතුවේ සභාපතිවරයා පොහොර මිලදී ගත හැකි යැයි දක්වන මුදලට වඩා ලෝක වෙළෙඳපොලේ පොහොරවල මිල කිහිප ගුණයකින් ඉහළ බවද නිරීක්ෂණය කළ හැකියි.

පොහොර ගෙන්වන සමාගම් කසකස්ථානයෙන් පොහොර මිලදී ගෙන ඒවා වැඩි මුදලට මෙරටට ගෙනත් දෙනවා ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවට ගොවි ජන එකමුතුවේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය පදනම් කරනිමින්, එවැනි වංචාවක් සැබෑ ලෙසම සිදු වී ඇති බවට උපකල්පනය කරමින් ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කර ඇති බව කිව හැකියි. ඒ සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අලලා හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ නමුත්, පුද්ගලික අංශයේ පොහොර ආනයනය කරන සමාගම් විසින් අඩු මුදලට කසකස්ථානයෙන් පොහොර ලබාගෙන වැඩි මුදලට මෙරටට අලෙවි කරනවාද නැත්ද යන කරුණ සම්බන්ධයෙන් අපහට ස්වාධීනව කරුණු සත්‍යාපනය කළ නොහැකියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Result Stamp

Title: කෝටි 8000 ක පොහොර වංචාවක් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Hansani

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *