කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානයක බෙල්ල සම්භාහනය කිරීම නිසා පාරිභෝගිකයෙකු අංශභාග තත්ත්වයට පත් වුනාද ? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හිස සම්භාහනය කිරීමේදී කොණ්ඩා කපන පුද්ගලයා බෙල්ල කරකැවීම නිසා පාරිභෝගිකයකු අංශභාග තත්ත්වයට පත් වූ බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතිනවා. එම වීඩියෝවේ දැක්වෙන්නේ පුද්ගලයෙකු තවත් පුද්ගලයකුගේ බෙල්ල සම්භාහනය කරන ආකාරයයි. කොණ්ඩා කපන පුද්ගලයා එම පුද්ගලයාගේ බෙල්ල කරකැවීමෙන් පසු, වාඩි වී සිටින පුද්ගලයා වෙව්ලීමට පටන් ගන්නා අතර පසුව අංශභාගයට පත් වූ ස්වභාවයක් පෙන්නුම් කරයි. එම වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts :

Facebook 

මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය සොයාබැලීම සඳහා අප විසින් පරීක්ෂාවක් සිදු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

අදාල වීඩියෝව, හිස සම්භාහනය කිරීමේදී බාබර්වරයා විසින් බෙල්ල කැරකැවීම නිසා අංශභාග තත්ත්වයට පත් වූ පුද්ගලයකු දැක්වෙන සැබෑ වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී අදාළ වීඩියෝව 2024 වසරේදී යූ ටියුබ් නාලිකාවක පළ කර ඇති ආකාරය දැකගැනීමට ලැබුණා. එම නාලිකාවේ පල කර ඇති සම්පූර්ණ වීඩියෝව පහතින්. 

එම වීඩියෝව පල කරමින් එය දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රබන්ධ දර්ශනයක් බව එහි දක්වා තිබෙනවා.

“මෙම වීඩියෝවේ දැක්වෙන සියලුම දර්ශන මහජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා නළු නිළියන් යොදා ගනිමින් තිර රචනය කර ඇති බවත්, ස්නායු හානි සහ ආඝාතය වැනි තත්ව ඇති වීමට බලපෑ හැකි කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථානවල සිදුකරන නුසුදුසු හා භයානක බෙල්ල ඇඹරවීමේ ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කිරීම මෙහි අරමුණ බව එහි දක්වා තිබෙනවා.

වීඩියෝව රඟපෑමක් වුවද, මෙවැනි ක්‍රියාකාරකම් මගින් අනතුරු සිදුවිය හැක.

මෙම වීඩියෝව කලින් සැලසුම් කර රඟපාන ලද එකක් වුවද, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වල සිටින සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින් බෙල්ල ප්‍රදේශය දැඩි ලෙස කරකැවීමේදී හානි සිදුවීමේ අවධානමක් පවතී.

කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානවල වැරදි ආකාරයට එකවරම බෙල්ල වේගයෙන් කරකැවීමේදී, හදවතේ සිට මොළයට රුධිරය ගෙන යන ප්‍රධාන ධමනි ඉරිතැලීමට ලක් විය හැක. මෙයින් රුධිරය කැටි ගැසීමක් සිදු වී, අංශභාග තත්ත්වයක් ඇති වීමට මඟ පාදයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්

ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ඇස්ටර් ආර්.වී රෝහලේදී, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයකින් මෙලෙස බෙල්ල ප්‍රදේශයේ සම්භාහනයක් සිදුකරගත් 30 හැවිරිදි තරුණයෙකුගේ බෙල්ල හැරවීම නිසා දරුණු අංශභාග තත්ත්වයක්  ඇති වී තිබේ. ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලැබීමට ඔහුට මාස දෙකක කාලයක් ගත වී ඇත.මේ පිළිබඳව ‘The New Indian Express’ පුවත්පතට අදහස් දක්වමින් ඇස්ටර් ආර්.වී රෝහලේ ජ්‍යෙෂ්ඨ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රීකාන්තා ස්වාමි ප්‍රකාශ කර ඇත්තේ, කොණ්ඩා මෝස්තරකරුවන් හෝ වෙනත් පුද්ගලයින් විසින් විද්‍යාත්මක නොවන ක්‍රමවේද ඔස්සේ බෙල්ල වේගයෙන් කැරකැවීම මඟින් රුධිර වාහිනී ඉරිතලා, ජීවිතයට පවා තර්ජනයක් විය හැකි අංශභාග තත්ත්වයන් ඇති විය හැකි බවයි.

මේ හා සමානවම කර්නාටක ප්‍රාන්තයේ බෙල්ලාරි ප්‍රදේශයේ සහ දිල්ලියේ පිහිටි රෝහල්වල, කොණ්ඩා කැපුම් මධ්‍යස්ථානවල සිදු කරන ලද සම්භානයන්ගෙන් පසු බෙල්ලේ ස්නායුවලට හානි සිදු වී, අංශභාග තත්ත්වයට ගොදුරු වී, වෙන්ටිලේටර් ආධාරයෙන් ප්‍රතිකාර ලැබූ සිදුවීම් මාධ්‍ය රැසක වාර්තා කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයකදී සම්භාහනයක් කිරීමේදී පාරිභෝගිකයෙකු අංශභාග තත්ත්වයට පත්ව මියගිය බව පවසමින් හුවමාරු වන වීඩියෝව අසත්‍ය බවයි. එම වීඩියෝව මහජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද සැලසුම්සහගත  වීඩියෝවක් බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත්, සුදුසුකම් නොලත් පුද්ගලයින් ලවා බෙල්ල ප්‍රදේශය සම්භාහනය කිරීම අංශභාගය සහ අකර්මණ්‍ය වීම් ඇති කිරීමට හේතු විය හැකි බැවින්, මහජනතාව මෙවැනි අනතුරුදායක සම්භාහන ක්‍රමවලින් වැළකී සිටීම වඩා සුදුසුය.

Result Stamp

Title: කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානයක බෙල්ල සම්භාහනය කිරීම නිසා පාරිභෝගිකයෙකු අංශභාග තත්ත්වයට පත් වුනාද ?

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *