දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
හාවුන්ගේ රුධිරය අඩංගු හිස තෙල් (Rabbit Blood Hair Oil) මඟින් හිසකෙස් ඝනව, දිගු සහ කළු පැහැයෙන් වර්ධනය වන බවත්, හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන්ම නතර කර තට්ටය පෑදීම සුව කරන බවත් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වනවා. අපගේ විමර්ශනයේදී හෙළි වූයේ මෙම ප්‍රකාශය සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අතර, මෙම නිෂ්පාදනය භාවිතය මඟින් බරපතල සෞඛ්‍ය අවදානම් ඇති විය හැකි බවයි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සති 6කින් දිගු හිසකෙස් වැඩෙයි,හිසකෙස් ගැලවීම 100% නවතී, ඝන හිසකෙස් වැඩෙයි, ඉස්හොරි (Dandruff) ඉවත් වෙයි, හිසකෙස් නැවත කළු වෙයි, තට්ටය පෑදී ඇති ස්ථානවල හිසකෙස් නැවත වර්ධනය වේ වැනි විසඳුම් දක්වමින් මෙම සටහන් සමාජ මාධ්‍ය තුළ දැන්වීම් ලෙස පළ කර විකිණීම සිදු කරන බව දැක ගන්නට ලැබුණා.
ලංකාවේ ජංගම දුරකථන අංකයක් සහිතව, සෑම ප්‍රදේශයකට බෙදාහැරීමේ පහසුකම් ඇති බවත්, 50ml කුප්පියක් රු. 1,590; 100ml කුප්පියක් රු. 2,490 ලෙස ලබාගත හැකි බව සඳහන් කරමින්, Instagram සහ Facebook හරහා මෙම දැන්වීම් ප්‍රචාරය වේ. එසේම ශාකීය 65+” ලෙස ද, “ශාකීය 48+” යනාදී ලෙස ද විවිධාකාරයේ ශාක අනුසරයන් ද මේ සඳහා මිශ්‍ර කර ඇති බවක් ද මේවායේ සඳහන් වෙනවා.



Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
හාවුන්ගේ ලේ යනු කුමක්ද සහ එහි අඩංගු වන්නේ මොනවාද?
ඕනෑම ක්ෂීරපායී සතෙකුගේ ලේ මෙන්ම හාවුන්ගේ ලේ වලද හිමොග්ලොබින්, රතු සහ සුදු රුධිර සෛල, ප්ලාස්මා සහ විවිධ ප්‍රෝටීන අඩංගු වේ . මෙම සංරචක හාවුන්ගේ අභ්‍යන්තර ජීව විද්‍යාත්මක අවශ්‍යතා සඳහා පවතී. THIP Media ආයතනය විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයකට අනුව, හාවුන්ගේ ලේ වල ඇති ප්‍රෝටීන සහ සෛල මිනිස් ශරීරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සමඟ අන්තර්ක්‍රියා කිරීමට නිර්මාණය කර නොමැත. එම නිසා, මේවා මිනිස් හිසකෙස් වලට ආලේප කිරීමෙන් කිසිදු වාසියක් ලැබෙන බවට විද්‍යාත්මක පදනමක් නැත.
සත්ත්ව ලේ හිසෙහි ආලේප කිරීම ආරක්ෂිතද?
සත්ත්ව ලේ ප්‍රධාන පෙළේ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා භාවිත නොකරන අතර ඒ සඳහා පැහැදිලි හේතු තිබේ. එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග සූනොටික් (Zoonotic) රෝග ලෙස වර්ග කර තිබේ. සිදුරු හෝ සුළු සීරීම් තිබිය හැකි හිස්කබලට සත්ව ලේ සෘජුව ආලේප කිරීමෙන් සූනොටික් රෝග ආසාදනය වීමේ සෘජු අවදානමක් ඇති වේ . මීට අමතරව, සමේ ආසාත්මිකතා සහ සමේ ආසාදන ඇති කිරීමටද සත්ව ලේ හේතු විය හැක. යුරෝපීය සංගමයේ (EU) රූපලාවන්‍ය නියාමන රාමුව මඟින් සෞඛ්‍ය, ආරක්ෂාව සහ සදාචාරාත්මක හේතු මත රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා සත්ව ආශ්‍රිත අමුද්‍රව්‍ය භාවිතය දැඩි ලෙස සීමා කර ඇත .
එසේම, ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව සඳහා NMRA හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවට මෙවැනි නිෂ්පාදන සඳහා අනුමැතිය ලැබී නොමැත.
හාවන්ගේ රුධිරය අඩංගු තෙල්වලින් හිසකෙස් ඇත්තටම වැඩෙනවාද?
නැත. හාවාගේ රුධිරය හෝ එයින් ලබාගත් කිසිදු සංයෝගයක් මිනිසුන්ගේ හිසකෙස් වර්ධනයට ප්‍රයෝජනවත් බලපෑමක් ඇති කරන බව සනාථ කරන සමාලෝචිත (peer-reviewed) විද්‍යාත්මක සාක්ෂි, සායනික පරීක්ෂණ හෝ ප්‍රකාශිත පර්යේෂණ ලෝකයේ කිසිදු ස්ථානයක නොමැත.
හිසකෙස් වර්ධනය සිදුවන්නේ කෙස් මූලයේ (hair follicle) වර්ධන චක්‍රය අනුව වන අතර, එය අදියර තුනකින් සමන්විත වේ.
- ඇනජන් (Anagen) සක්‍රීය වර්ධන අවධිය,
- කැටජන් (Catagen)සංක්‍රාන්ති අවධිය,
- ටෙලොජන් (Telogen) විවේක අවධිය,
සාර්ථක බවට විද්‍යාත්මකව තහවුරු කර ඇති ප්‍රතිකාර ක්‍රියා කරන්නේ මෙම අභ්‍යන්තර ජීව විද්‍යාත්මක චක්‍රයට බලපෑම් කිරීමෙනි.
මිනොක්සිඩිල් (Minoxidil) කෙස් මූලය වටා ඇති රුධිර නාලිකා පුළුල් කරමින් වර්ධන අවධිය දිගු කරයි. ෆිනස්ටරයිඩ් (Finasteride) නම් ඖෂධය, ජානමය හිසකෙස් වැටීම ඇති පිරිමින්ගේ කෙස් මූල කුඩා කරන DHT හෝර්මෝනය අවහිර කරයි.
එහෙත්, සත්ව රුධිරය අඩංගු තෙල් වර්ගයක් හිස්කබල මත ආලේප කිරීමෙන් මෙම ක්‍රියාකාරී යාන්ත්‍රණ කිසිවකට බලපෑමක් කළ නොහැක. කෙස් මූලය යනු හිස්කබලේ මතුපිටට යටින් පිහිටි ජීවමාන ව්‍යුහයක් වන අතර, බාහිරව ආලේප කරන නිෂ්පාදනවල ඇති ප්‍රෝටීන එයට සෘජුව ළඟා වීමට හෝ එහි ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට නොහැක.
හිසකෙස් ගැලවීමට හේතු මොනවාද?
හිසකෙස් ගැලවීම සඳහා හොඳින් තහවුරු කර ඇති හේතු රැසක් තිබෙන අතර, ඒවා කිසිවක් බාහිරව ආලේප කරන තෙල් වර්ගයකින් ආපසු හැරවිය නොහැක.
මෙම හේතු අතර:
- ජානමය ප්‍රවණතාව (Genetic predisposition) : පිරිමින් සහ කාන්තාවන් දෙපිරිසටම වඩාත් පොදු හේතුව.
- හෝර්මෝන අසමතුලිතතා
- පෝෂණ ඌනතා : විශේෂයෙන් යකඩ (Iron), විටමින් D සහ සින්ක් (Zinc) හි ඌනතා.
- දිගුකාලීන මානසික ආතතිය (Chronic stress)
- තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග
- හිස්කබලේ ආසාදන
- ඇතැම් ඖෂධ : රසායනික ප්‍රතිකාර (Chemotherapy) සඳහා භාවිත කරන ඖෂධ ඇතුළුව.
- වයසට යාමත් සමඟ ඇතිවන හිසකෙස් සිහින්වීම
උදාහරණයක් ලෙස, DHT හෝර්මෝනයට ජානමය සංවේදීතාව නිසා ඇතිවන පුරුෂ පාර්ශවයේ හිස්කෙස් ගැලවීමේ රටාව (Male-pattern baldness) හෝර්මෝනමය ක්‍රියාවලියක් මත පදනම් වන අතර, එයට අවශ්‍ය වන්නේ වෛද්‍ය ප්‍රතිකාරයකි. බාහිරව ආලේප කරන තෙල් වර්ගයකින් එම මූලික හේතුව වෙනස් කළ නොහැක.
එබැවින්, ඖෂධීය හෝ ශාකමය බවට ප්‍රචාරය කරන ඕනෑම තෙල් වර්ගයකට හිස්කබලේ පිටත සිට ජානමය හෝ හෝර්මෝනමය හේතු අභිබවා ක්‍රියා කළ නොහැක.
විශේෂඥ අදහස්
ආයුර්වේද වෛද්‍ය ආචාර්ය කරුණාතිලක
Fact Crescendo අප ආයුර්වේද වෛද්‍ය කරුණාතිලක මහතා සම්බන්ධ කරගත් අතර, ඔහු විසින් මෙම ප්‍රකාශය පිළිබඳව විස්තීර්ණ විග්‍රහයක් ලබා දෙනු ලැබුවා. ඔහු පැහැදිලි කළේ හාවන්ගේ රුධිරයෙන් නිපදවන තෙල් හිසකෙස් වර්ධනයට උපකාරී වන බවට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි. එමෙන්ම, මිනිස් රුධිරය සහ හාවාගේ රුධිරය සම්පූර්ණයෙන්ම වෙනස් සංයුතියක් හා ගුණාංග වලින් යුක්ත බැවින් ඒවා එකිනෙකට භාවිත කිරීම වෛද්‍ය විද්‍යාත්මකව අනුචිත නොවන බව ඔහු සඳහන් කළා.
ඔහු මෙම නිෂ්පාදනය භාවිත කිරීමෙන් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම්ද පෙන්වා දුන්නේ මෙලෙසින්.
- දිගුකාලීනව සමෙහි ඇතිවිය හැකි දරුණු අසාත්මිකතා සහ ආසාදන
- හිස්කබලේ තුවාල සහ පිළිස්සුම්/වණ ඇතිවීම
- හිස්කබලේ සීරීම්
- සත්වයන්ගෙන් මිනිසුන්ට පැතිරිය හැකි zoonotic රෝග ආසාදනය වීම
නියාමන සම්බන්ධයෙන් වෛදවරයා පැහැදිලි කළේ, විකිණීමට නිකුත් කරන ඕනෑම නිෂ්පාදනයක් සඳහා පර්යේෂණ වාර්තා සමඟ රජයේ අනුමැතිය තිබිය යුතු බවයි. එමෙන්ම, නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර අවසර ලබාගැනීම අනිවාර්ය වන බවයි.
ඉන්දියාව වැනි රටවලින් ආනයනය කරන නිෂ්පාදන සඳහාද ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන, නමුත් සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව තුළ විකුණන මෙම නිෂ්පාදන සඳහා එවැනි කිසිදු අනුමැතියක් නොමැති බවද ඔහු අවධාරණය කළා.
තමිල්නාඩු හි සම රෝග සහ හිසකෙස් විශේෂඥ වෛද්‍ය මුතු ප්‍රභාකරන් (Dr. Muthu Prabhakaran)
තමිල්නාඩුවේ සිටින සම රෝග හා හිසකෙස් බද්ධ කරන ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු වන ආචාර්ය මුතු ප්‍රභාකරන්, YouTube හි දෙමළ බසින් සිදු කළ කෙටි වීඩියෝවකදී සෘජු විග්‍රහයක් ඉදිරිපත් කරමින් පැහැදිලි කළේ හාවාගේ රුධිරයෙන් නිපදවන තෙල් භාවිතයෙන් හිසකෙස් වර්ධනය වීම කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි.
ඔහුගේ මෙම අදහස සායනික පළපුරුද්ද මත පදනම් වන අතර, එය විද්‍යාත්මක එකඟතාවයටද සම්පූර්ණයෙන් ගැළපේ. එනම්, බාහිරව ආලේප කරන සත්ව රුධිර අඩංගු කිසිදු නිෂ්පාදනයකට කෙස් මූල (hair follicle) උද්දීපනය කර වර්ධනයක් ඇති කිරීමට සනාථ කළ හැකි ක්‍රියාකාරී මාර්ගයක් නොමැති බවයි.
හිසකෙස් ප්‍රතිසංස්කරණ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය – ඉන්දියාව(The Association of Hair Restoration Surgeons – India)
හිසකෙස් ප්‍රතිසංස්කරණ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරුන් වන ආචාර්ය සුඛ්බීර් සිං (ලේකම්) යන වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ,
දින 5ක් ඇතුළත හිසකෙස් වැටීම නවතා දැමීම කළ නොහැකි බව ත්, එය සිදු වුවහොත් එය ආශ්චර්යයක් වැනි දෙයක් වන අතර එය එතරම් සරල නම් කිසිවෙකු හිසකෙස් සිටුවීම සඳහා යොමු නොවන බවයි.
ආචාර්ය පලශ්ජ්‍යෝති මජුම්දර් ද, එම අදහසට එකඟව පැවසුවේ,
ජානමය හේතු නිසා ඇතිවන හිසකෙස් ගැටලුවක් බාහිරව තෙල් ආලේප කිරීමෙන් සුව කළ හැක්කේ කෙසේද යන්නයි. එමෙන් ම මෙම ආයුර්වේද නිෂ්පාදන සඳහා කිසිදු සායනික පරීක්ෂණ (clinical trials) නොමැති බව ත් ය. මේ පිළිබඳව තව ත්, කරුණු විමර්ශන කණ්ඩායමකට මොවුන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
THIP Media විසින් සිදු කළ විග්‍රහයේදීද, මෙම ප්‍රකාශ සඳහා විද්‍යාත්මක පදනමක් නොමැති බව තහවුරු කර තිබේ.
ඔවුන් පෙන්වා දුන්නේ,
- හාවුන්ගේ රුධිර ප්‍රෝටීන මිනිස් හිසකෙස් සත්කාර සඳහා ජීව විද්‍යාත්මකව නොගැළපෙන්න බව ත්,
- හිසකෙස් වර්ධනයක් ඇති කරන බවට සාක්ෂි නොමැති බව ත්,
- හැකි අහිතකර ප්‍රතික්‍රියා ඇතිවීමේ අවදානම, වැඩි බව ත්ය.
ඒ අනුව, හාවුන්ගේ රුධිරය අඩංගු තෙල්වලින් හිසකෙස් වර්ධනය වීම හෝ හිසකෙස් වැටීම නතර කිරීම සඳහා විද්‍යාත්මක හෝ සායනික පදනමක් නොමැති බව තවදුරටත් තහවුරු වේ.
තමිල්නාඩු ඖෂධ පාලන දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග
“හාවාගේ රුධිරය අඩංගු හිසකෙස් තෙල්” වසර කිහිපයක සිට තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව තුළ විවිධ වෙළඳ නාම යටතේ පැතිරී තිබේ.
Humane World for Animals India ආයතනය විසින් තමිල්නාඩුවේ Drugs Control අධ්‍යක්ෂවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු, Tamil Nadu Drugs Control Department විසින් Erode කලාපයේ Garuda Herbals ආයතනයේ පරීක්ෂණයක් සිදු කර ඇත.
එහිදී, ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 2.82 ක නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඇති මෙම ක්‍රියාව Drugs and Cosmetics Act, 1940 යටතේ සිදු කර තිබේ. නිෂ්පාදන සඳහා වලංගු ඖෂධ හෝ cosmetic නිෂ්පාදන බලපත්‍ර නොමැති බව සොයාගෙන ඇති අතර සමාගම විසින්, සමාජ මාධ්‍යවල ඔස්සේ ද, ප්‍රචාරය කර ඇති පරිසි බලපත්‍ර ඇතැයි පෙන්වා තිබුණද, එවැනි කිසිදු නිල බලපත්‍රයක් නොතිබූ බව තහවුරු වී ඇති අතර මෙම නිෂ්පාදන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
හිසකෙස් ගැලවීමට සැබවින්ම ක්‍රියාත්මක වන ප්‍රතිකාර
හිසකෙස් ගැලවීම සඳහා විද්‍යාත්මකව තහවුරු කර ඇති සහ වෛද්‍ය නියාමන අනුමැතිය ලැබූ ප්‍රතිකාර කිහිපයක් තිබේ.
ඒවා නම්,
- Minoxidil – මිනිසුන්ගේ සහ කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාමේ රටාව සඳහා හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට ලෝකය පුරා වෛද්‍ය නියාමන ආයතන විසින් අනුමත කර ඇති topical බාහිරව ආලේප කරන ද්‍රාවණය.
- Finasteride – DHT හෝර්මෝනය අවහිර කිරීම මඟින් පිරිමි හිසකෙස් ගැලවී යාමේ රටාව බොහෝ අවස්ථාවල මන්දගාමී කිරීමටත්, ඇතැම් විට ආපසු හැරවීමටත් සායනිකව සනාථ කර ඇති ඖෂධය
- පෝෂණ ඌනතා නිවැරදි කිරීම – යකඩ (Iron), විටමින් D සහ සින්ක් (Zinc) හි ඌනතා හිසකෙස් ගැලවීමට පොදු, ආපසු හැරවිය හැකි හේතු වේ. රුධිර පරීක්ෂණ මඟින් ඒවා හඳුනාගෙන වෛද්‍ය උපදෙස් යටතේ නිවැරදි කළ හැක.
- හිසකෙස් බද්ධ කිරීම(Hair Transplant) – කෙස් මූල සම්පූර්ණයෙන් නැතිවී ඇති හෝ scarring තත්ත්ව වලදී, හිසකෙස් නැවත ලබාගැනීමට ඇති එකම සාර්ථක වෛද්‍ය ක්‍රමය මෙය වේ.
හිසකෙස් ගැලවීම බරපතල ලෙස අත්විඳින අය සඳහා ප්‍රථම සහ වැදගත්ම පියවර වන්නේ, සමාජ මාධ්‍යවල විකුණන තහවුරු නොකළ නිෂ්පාදන මිලදී ගැනීම නොව සුදුසුකම් ලත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන “හාවුන්ගේ රුධිරය අඩංගු හිසකෙස් තෙල්” (Rabbit Blood Hair Oil) මඟින් හිසකෙස් වර්ධනය වන බවටත්, තට්ටය පෑදීම සුව වන බවටත් කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ විද්‍යාත්මක පදනමකින් තොර ඒවා වේ.
මෙම නිෂ්පාදනය භාවිතය පිළිබඳ අවසාන සාරාංශය මෙසේය:
- සෞඛ්‍ය අවදානම: නිසි විෂබීජහරණයකින් තොරව සත්ව රුධිරය හිස්කබල මත ආලේප කිරීමෙන් බරපතල සමේ ආසාදන, දරුණු අසාත්මිකතා සහ සතුන්ගෙන් මිනිසුන්ට බෝවන සූනොටික් (Zoonotic) රෝග වැළඳීමේ සෘජු අවදානමක් පවතී.
- නීතිමය තත්ත්වය: මෙම තෙල් වර්ග සඳහා ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කිසිදු නිල අනුමැතියක් හෝ ලියාපදිංචියක් නොමැත.
- සත්ව හිංසනය: රූපලාවන්‍ය කටයුතු සඳහා සත්ව රුධිරය සහ අමුද්‍රව්‍ය භාවිතය ලෝකයේ බොහෝ රටවල තහනම් කර ඇති අතර, මෙය බරපතල සත්ව හිංසනයක් ලෙස සැලකේ.
- නිවැරදි පියවර: හිසකෙස් ගැලවී යාම ශරීරයේ අභ්‍යන්තර හෝමෝන සහ පෝෂණ ඌනතා මත සිදුවන්නක් බැවින්, මෙවැනි ව්‍යාජ නිෂ්පාදනවලට රැවටීමෙන් වැළකී සැමවිටම සුදුසුකම් ලත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ (Dermatologist) උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ


