දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජයේ මේ දිනවල දැඩි ලෙස කතා බහට ලක්වන මාතෘකා ඔස්සේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් එම කරුණු වලට සම්බන්ධව ඔහු විසින් කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිර්වද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
යුද්ධයේ අවසාන දිනවල නන්දිකඩාල් කලපුවේදී යටත් කර ගත හැකිව තිබූ නිරායුධ කොටි නායකයන් සමූලඝාතනය කිරීම ගැන ජනරාල් කමල් ගුණරත්නට විරුද්ධව පරීක්ෂණ කිරීමට, විශේෂ ජනාධිපති කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ අතර මේ පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමට කටයුතු කළේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව නන්දිකඩාල් කලපුවේදී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කර ඇති බවට කිසිදු නිල ප්‍රකාශයක් හෝ අමාත්‍යවරයා එසේ කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් හෝ දැක ගන්නට නොමැත.
රූපරාමුවේ සැබෑ පසුබිම
එමෙන් ම මෙම සටහනට භාවිත කර තිබූ ඡායාරූපය මගින් අඟවා තිබුණේ, අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී මෙවැනි අනාවරණයක් කළ බවටයි. නමුත්, ඔහු පාර්ලිමේන්තුවේදී විවිධ කාලවලදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සහ වෙනත් දූෂණ විමර්ශන පිළිබඳව ප්‍රකාශ ඉදිරිපත් කර ඇති නමුත්, මෙහි සඳහන් ආකාරයේ යුද සමයේ සිදුවීම් පිළිබඳ කිසිදු ප්‍රකාශයක් මෑතකදී හෝ ඊට පෙර අවස්ථාවකදී සිදු කර නොමැති බවට නිරීක්ෂණය වේ.
ඉහත සමාජ ඡායාරූපය ගෙන තිබුණේ, 2025 මාර්තු 19 වන දින අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන අවස්ථාවක් වේ. එදින හෝ අමාත්‍යවරයා විසින් ජෙනරාල් කමල් ගුණරත්නට විරුද්ධව පරීක්ෂණ කිරීමටක් සම්බන්ධයෙන් අදහස් නොදක්වයි.
නිල තහවුරු කිරීම්
ශ්‍රී ලංකා රජය, ජනාධිපති ලේකම් කාර්යාලය හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවැනි කිසිදු කොමිසමක් පත් කිරීමක් හෝ පරීක්ෂණයක් පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර ඇති බවට ද, දැක ගන්නට නොලැබේ.
ජනාධිපති මාධ්‍ය අංශය
යුද්ධයේ අවසාන දිනවල නිරායුධ කොටි නායකයන් සමූලඝාතනය කිරීමක් පිළිබඳ ජනරාල් කමල් ගුණරත්නට විරුද්ධව පරීක්ෂණ කිරීමට, විශේෂ ජනාධිපති කමිටුවක් පත් කිරීමේ තීරණක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගෙන තිබෙනවා ද, යන්න පිළිබඳ අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, මෙය ව්‍යාජ සටහනක් බවයි. ජනාධිපති විසින් එවැනි තිරණයක් ගෙන නොමැති බව ත්, ආරක්ෂක අමාත්‍යවරයා විසින් හෝ එවැනි ප්‍රකාශයක් කර නොමැති බවයි.
ආරක්ෂක අමාත්‍යවරයා
ආනන්ද විජේපාල මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා ද, ඉහත තොරතුරු තහවුරු කරමින් තව දුරටත් සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් ව්‍යාජ බව ත්, අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.
හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඉලක්ක කරගනිමින් මෙරට තුළ කිසිදු නිල අපරාධ පරීක්ෂණයක් හෝ විශේෂ ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක නොවේ.කෙසේ වෙතත්, ඔහුගේ මිලිටරි සහ දේශපාලන ධුර කාලය තුළ සිදු වූ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ඇතැම් නීතිමය ක්‍රියාදාමයන්, ජාත්‍යන්තර ඉල්ලීම් සහ දේශපාලන කතාබහට ඔහු ලක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Claim 2:
මේ අතර අමාත්‍ය විපේපාල මහතා පාර්ලිමේන්තුවේදී කළ තව ත්, ප්‍රකාශයක් ලෙස “සලේගේ දුරකතනය අන්ලොක් කිරීම සඳහා විමර්ශණ නිළධාරීන් එය ඔහුගේ මුහුණට ඇල්ලුවත්, ඒ සෑම අවස්ථාවකදීම ඔහු දෑස් පියා ගන්නවා.. විමර්ශණ සඳහා සලේ කිසිම සහයක් දෙන්නේ නැහැ ” යනුවෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ සටහනක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.


Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම ෆේස්බුක් සටහනෙන් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක අපරාධ පරීක්ෂණයකට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී සුරේෂ් සාලේ මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශයක් ලෙසයි.
2026 ජූනි මස 10 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සැලේට එරෙහිව සාක්ෂි ලැබී ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා අනාවරණය කළේ, සුරේෂ් සලේ සතු ස්මාර්ට් ජංගම දුරකතන සහ පරිගණක පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය වුවද, ඔහු ඒවායේ මුරපද (Passwords) ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
සැකකරු මුරපද ලබා නොදෙන බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය මුල් කරගනිමින්, සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් මෙම හාස්‍යජනක සටහන නිර්මාණය කර ඇත. දුරකථනයේ මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය (Face ID) මඟින් එය අන්ලොක් කිරීමට විමර්ශකයන් උත්සාහ කරන විට, සුරේෂ් සැලේ ඇස් වසාගෙන සිටින බවට සඳහන් කර ඇති බවට පෙන්වූවත් අමාත්‍යවාරයා විසින් එවැනි ප්‍රකාශයක් කර නොමැති බව අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණි.
මෙවැනි සටහනක් නිර්මාණය වීමට හේතු
එයාර්බස් (Airbus) සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු CEO කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව දීර්ඝ කාලීන විමර්ශන පැවතුණා. කපිල චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව, විමර්ශන නිලධාරීන් ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකතනය විවෘත කර දත්ත ලබා ගැනීමට උත්සාහ කළ අතර එහිදී මියගිය පුද්ගලයාගේ මුහුණ දුරකතනයට යොමු කර Face ID තාක්ෂණයෙන් එය අන්ලොක් කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබුණා.
2026 මැයි මාසයේදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මියගිය තැනැත්තාගේ දුරකතනය විවෘත කර ගැනීමට නොහැකි වූ බැවින්, ඒ සඳහා ඇපල් සමාගමේ තාක්ෂණික සහය ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි. මෙය සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යට ලක් වූ කරුණක් වන අතර මේ ඔස්සේ මෙම සටහන් නිර්මාණය වී ඇති බවට පැවසිය හැක.
සමාජ මාධ්‍ය සටහන් දක්වා තිබූ ෆේස්බුක් පිටුව
‘මීට කලින් දැකලා නෑ තමයි’ ෆේස්බුක් පිටුව විසින් ඉහත සඳහන් කළ සටහන් පළ කර නොමැති අතර එම පිටුව විසින් පළ කළ සටහන් ලෙසට දක්වමින් මෙලෙසින් ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇති බව එම ෆේස්බුක් පිටුවේ ඇඩ්මින් විසින් ද, තහවුරු කරන ලදී.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සිදු කරන ප්‍රකාශ ලෙසට දක්වා ඇති, සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති සටහන් බව ත්, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශ සිදු කර නොමැති බව ත් ය.


