දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රථ වාහන දඩ ලයිස්තුව ලෙස රථ වාහන වැරදි සම්බන්ධයෙන් අය කෙරෙන ඉතා ඉහළ අගයන් සහිත දඩ මුදල් ඇතුලත් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. රථ වාහන දඩ ලයිස්තුව සංශෝධනය කර ඇත්ද යන සොයා බලමින් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


Facebook Facebook Facebook Facebook Facebook
ශ්‍රී ලංකා රථ වාහන දඩ මුදල් 2026 යනුවෙන් දක්වමින් තවත් සටහනක් ද සමාජ මාධ්‍ය හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

එම සමාජ මාධ්‍ය සටහන් තුළ රථ වාහන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් සඳහා ඉහළ අගයන් දක්වා තිබීම හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් රථ වාහන දඩ මුදල් ඉහළ දමා ඇති බවට වටහා ගනිමින් අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.

ඒ අනුව 2026 වසර වන විට ක්‍රියාත්මක රථ වාහන දඩ මුදල් සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකිරීමට අප කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම)
2026 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රථ වාහන වැරදි වල අදාළ දඩ මුදල් සහ ඊට අදාළ නීතිමය පනත් වල කිසියම් සංශෝධනයක් සිදු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. එවැනි සංශෝධනයක් සිදු වී ඇත්නම් මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ මෙන්ම, ශ්‍රී ලංකා පොලිසිය විසින් ද ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කර තිබිය යුතුයි.
එසේම අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ, රථ වාහන වැරදි සම්බන්ධයෙන් අය කෙරෙන දඩ මුදල් සංශෝධනයක් මෑතකදී සිදුවී ඇති බවට කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර නොමැති බවයි.
ශ්‍රී ලංකාව තුළ රථවාහන වැරදි, මාර්ග නීති සහ ඊට අදාළ දඩ මුදල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන සහ මූලික නීතිමය මූලාශ්‍රය වන්නේ 1951 අංක 14 දරන මෝටර් රථ වාහන පනත වේ. වරින් වර සිදු කරන ලද සියලුම සංශෝධන සහ ගැසට් නිවේදන නිකුත් කරනු ලබන්නේ මෙම මූලික පනත් රාමුවේ ප්‍රතිපාදනවලට යටත් වෙමිනි.
2017 අංක 18 දරන මෝටර් වාහන (සංශෝධන) පනත මඟින් ස්ථානීය දඩ ක්‍රමවේදය පුළුල් කිරීමට සහ දඩ මුදල් සංශෝධනය කිරීමට කටයුතු කරන ලදී. එසේම, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා ස්ථානීය රථවාහන වැරදි 33ක් සඳහා වන දඩ මුදල් ඉහළ නංවන ලදී.
එසේම, මත්පැන් පානය කර රිය පැදවීම සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති වීම ඇතුළු රුපියල් 25,000/- ක අවම ස්ථාවර දඩයක් නියම වන බරපතල වැරදි 07 අවසන් වරට සංශෝධනය කර නීතිගත කරන ලද්දේ 2019 අගෝස්තු මස 19 වැනි දින ක්‍රියාත්මක වූ 2019 අංක 10 දරන මෝටර් රථවාහන (සංශෝධන) පනත මඟිනි.
පොලිස් රථවාහන මූලස්ථානය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී, පොලිස් රථ වාහන මූලස්ථානය විසින් තහවුරු කළේ, මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රථ වාහන වැරදිවලට අදාළ දඩ මුදල් සම්බන්ධයෙන් මෑත කාලීනව කිසිදු සංශෝධනයක් සිදු නොවූ බවයි. දඩ මුදල් වලට අදාළව තවමත් ක්‍රියාත්මක වන්නේ 2018 ජනවාරි 15 පළ කරන ලද අංක 2054/9 දරන ගැසට් පත්‍රය සඳහන් වන දඩ මුදල් බවත් එසේම, ඊට අමතරව බරපතල වැරදි සඳහා අවසන් වතාවට 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන සංශෝධන පනත මගින් දඩ මුදල් සංශෝධනයක් කළ බවත්, ඉන් අනතුරුව රථ වාහන දඩ මුදල් සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් සිදු නොවූ බවත්, ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන මූලස්ථානය විසින් තහවුරු කළා.
ඒ අනුව 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය, 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන සංශෝධන පනත, 2017 අංක 18 දරන මෝටර් වාහන සංශෝධන පනත මූලිකව මෙම කරුණු විමර්ෂණය සිදු කර ඇත.
රථවාහන දඩ සම්බන්ධයෙන් වන 2018 ගැසට් නිවේදනය සහ 2019 අංක 10 දරන පනතට අනුව මේ වන විට ක්‍රියාත්මක වන නිවැරදි රථවාහන දඩ මුදල් සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර සන්සන්දනය පහතින්.
පළමු සමාජ මාධ්‍ය සටහන ඔස්සේ ඉදිරිපත් කර තිබූ සියලුම රථ වාහන දඩ මුදල් සඳහා ඒ අනුව ව්‍යාජ ලෙස අතිශයෝක්තියටට පත්කරමින් වැඩි දඩ මුදල් පනවා ඇති බව හඟවා ඇති බව ඒ අනුව පැහැදිලි වේ. එම සංසන්දනය පහතින්.
| Traffic Offence / රථවාහන වරද | Viral Claim / සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ව්යාජ දඩ (Rs.) | Official Fine / නිල දඩ (Rs.) | පනත / ගැසට් නිවේදනය | වගන්තිය | |
| 1 | Speeding / වේගය ඉක්මවීම | 30,000 | 20% දක්වා: රු. 3,000 – 5,000 20% – 30% දක්වා: රු. 5,000 – 10,000 30% – 50% දක්වා: රු. 10,000 – 15,000 50% ට වැඩි: රු. 15,000 – 25,000 | 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන සංශෝධන පනත | 141අ වගන්තිය (නව) |
| 2 | රතු සංඥාව නොසලකා ධාවනය (මාර්ග සංඥාවලට අනුගත නොවීම) | 25,000 | 1,000 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 164 වන වගන්තිය |
| 3 | වලංගු බලපත්‍රයක් නොමැතිව ධාවනය | 50,000 | 25,000–30,000 Repeat30,000-40,00040,000-50,000 | 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන සංශෝධන පනත | 123 වගන්තිය |
| 4 | Drunk Driving / මත්පැන් බී රිය පැදවීම | 60,000 | 25,000–30,000 | 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන සංශෝධන පනත | 216වගන්තිය |
| 5 | No Seat Belt or Helmer / ආසන පටිය හෝ හෙල්මට් නොදැමීම | 10,000 | 1,000 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 157 අ /158 වගන්ති |
| 6 | මාර්ග නීති උල්ලංඝනය | 20,000 | 2,000 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 148 වන වගන්තිය |
ශ්‍රී ලංකා පොලීසිය විසින් ද නිවැරදි දඩ මුදල් සහිත සටහනක් පළ කෙරුණි.
වැරදි දත්ත මත පදනම්ව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ව්‍යාජ දඩ මුදල් ප්‍රමාණයන් සහිත දැනුවත් කිරීමක් නිරීක්ෂණයට ලක් වී ඇති බව දක්වමින් සහ එම ව්‍යාජ දැනුවත් කිරීමත් සමඟ නිවැරදි රථවාහන දඩ මුදල් ප්‍රමාණයන් දැක්වෙන දැනුවත් කිරීමක් දක්වමින් ශ්‍රී ලංකා පොලිසීය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

දෙවන සමාජ මාධ්‍ය සටහන තුළ අන්තර්ගත වී තිබූ රථවාහන දඩ මුදල් සම්බන්ධ ප්‍රකාශ අතරින් ඇතැම් දඩමුදල් අගයන් නිවැරදි වන නමුත්, ව්‍යාජ සහ අර්ධ වශයෙන් ව්‍යාජ ප්‍රකාශ 10 ක් හඳුනාගත හැකි විය.
| Traffic Offence / රථවාහන වරද | Viral Claim / ව්යාජ දඩ (Rs.) | Official Fine / නිල දඩ (Rs.) | පනත / ගැසට් නිවේදනය | වගන්තිය |
| ජංගම දු.ක. (Mobile Phone) | රු. 2,000 | රු. 10,000 (spot) 10,000-25,000(court) | 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන සංශෝධන පනත | 152(අ) වන වගන්තිය |
| Emission/Fitness Certificate | රු. 2,500 | රු. 500 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 196 වන වගන්තිය |
| Horn/Light | රු. 500 | රු. 1,000 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 155 වන වගන්තිය |
| Fatal Accident බීමතින් ධාවනය කරමරණ | රු.100,000– 1,000,000 + 2–10 yrs | රු.100,000-150,000 | 2019 අංක 10 දරණ මෝටර් රථ වාහන සංශෝධන පනත | 217 වගන්තිය |
| Road Tax ආදායම් බදු | රු. 500 | රු. 1,000 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 38 වන වගන්තිය |
| Overloading | රු. 2,000 | රු. 500 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 178 වන වගන්තිය |
| Indicator/ Signal Light | රු. 500 | රු. 1,000 | 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනය | 164 වන වගන්තිය |
2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන ගැසට් නිවේදනයට අනුව මාර්ග නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ස්ථානීය දඩ මුදල් සම්බන්ධ සටහන පහතින්.
ස්ථානීය දඩ (Spot Fines)
| පනතේ වගන්තිය | විධිවිධානය | ස්ථාපිත දඩ මුදල |
| 1. 21, 22, 23, 73, 74(1) වන වගන්ති | හඳුනාගැනීමේ ලකුණු | 1000.00 |
| 2. 38 වන වගන්තිය | මෝටර් වාහන මිල ආදායම් බදු ඇගයීමේ මුලස්ථානය ප්‍රදර්ශනය කළ යුතු අතර, නියම කරනු ලැබූ විට ඉදිරිපත් කළ යුතු වීම | 1000.00 |
| 3. 45 වන වගන්තිය | ආදායම් බලපත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෝටර් වාහනයක් භාවිත කිරීම සපුරා තහනම් බව | 1000.00 |
| 4. 123(2) වන වගන්තිය | හදිසි සේවා වාහනයක් සහ පොදු සේවා වාහනයක් පැදවීමට නිසි අනුමැතියක් ලබාගැනීමට අසමත් වීම | 1000.00 |
| 5. 128(අ) වන වගන්තිය | බලපත්‍රයක් නොමැතිව විශේෂ කාර්ය වාහනයක් පැදවීම | 1000.00 |
| 6. 128(ඇ) වන වගන්තිය | රසායනික ද්‍රව්‍ය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය අඩංගු සැපයුම් වාහනයක් පැදවීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අපොහොසත් වීම | 1000.00 |
| 7. 130 වන වගන්තිය | නිශ්චිත පන්තියකට අයත් වාහනයක් පැදවීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අපොහොසත් වීම | 1000.00 |
| 8. 135 වන වගන්තිය | ධාවනය කරන විට රියදුරු බලපත්‍රය රැගෙන යාමට අසමත් වීම | 1000.00 |
| 9. 139 අ වන වගන්තිය | උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතු වල නිරතවීම | 2000.00 |
| 10. 140 සහ 141 වන වගන්ති | වේග සීමා විධිවිධානවලට අනුකූලව ධාවනය කිරීම | 3000.00 |
| 11. 148 වන වගන්තිය | මාර්ග නීතිවලට අනුගත නොවීම | 2000.00 |
| 12. 152 වන වගන්තිය | මෝටර් රථය පාලනය කරගැනීමට බාධාවක් නොවන සේ ධාවනය කිරීම | 1000.00 |
| 13. 153 වන වගන්තිය | වාහනය පැදවීමේ දී සහ අනෙකුත් අවස්ථාවන් දී හුදකලා හැඩය භාවිත කිරීම | 1000.00 |
| 14. 154 වන වගන්තිය | මෝටර් වාහනයක් ජංගම දුරකථන භාවිත කරමින් ධාවනය සපුරා තහනම් කිරීම | 1000.00 |
| 15. 155 වන වගන්තිය | අනතුරු ඇඟවීමේ උපකරණ අනිසි ලෙස භාවිත කිරීම | 1000.00 |
| 16. 155අ වන වගන්තිය | දුම් සාධක සහතික විධිවිධාන | 1000.00 |
| 17. 156 වන වගන්තිය | මෝටර් වාහනය පාරු හෝ පාලම් මතින් ගමන් කිරීම හෝ ගමන් කිරීම සඳහා ඉඩ දිය යුතු බව | 500.00 |
| 18. 157 වන වගන්තිය | මෝටර් වාහනවල ඉදිරිපස අසුන්වල සිටිය හැකි තැනැත්තන් සංඛ්‍යාව සීමා කිරීම | 1000.00 |
| 19. 157අ වන වගන්තිය | ආසන පටි භාවිත නොකිරීම | 1000.00 |
| 20. 158 වන වගන්තිය | ධාවනය කරන විට ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමේ සපුරා හැරීම | 1000.00 |
| 21. 159 වන වගන්තිය | ධාවනය වෙමින් පවතින මෝටර් වාහනයකින් උදව්වක් ලබාගැනීමට සහයෝගය දීම | 1000.00 |
| 22. 160 වන වගන්තිය | වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම සපුරා තහනම් කිරීම | 1000.00 |
| 23. 162 වන වගන්තිය | පොලිස් නිලධාරීන් ආදීන්ගේ විධාන සහ සංඥාවලට අකීකරු වීම හෝ පැහැර හැරීම | 2000.00 |
| 24. 164 වන වගන්තිය | මාර්ග සංඥාවලට අනුගත නොවීම | 1000.00 |
| 25. 165 වන වගන්තිය | අනතුරක් අවස්ථාවේ දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වීම | 1000.00 |
| 26. 166 වන වගන්තිය | මාර්ගයක මෝටර් වාහන නැවැත්වීම හෝ ගාල් කර තැබීම නොකිරීම | 1000.00 |
| 27. 167 වන වගන්තිය | මාර්ගයක මෝටර් වාහනයක් නවතා තැබීමේ දී හෝ එය දමා නොයෑමේ දී හෝ අක්‍රියවීමේ දී ගතයුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග | 2000.00 |
| 28. 178 වන වගන්තිය | මෝටර් වාහනවල සහ පෞද්ගලික කොච් රථවල පෞද්ගලික ගමන් බඩු හැර, ගෙන යා හැකි අනුමත තැනැත්තන් හෝ ඔවුන්ගේ ප්‍රමාණය ඉක්මවා ගෙනයාම සහ පෞද්ගලික ගමන්බඩු හැර මෝටර් වාහනවල හෝ පෞද්ගලික කෝච් රථවල ගෙන යා හැකි අනුමත බඩු ප්‍රමාණය ඉක්මවා ගෙන යාම | 500.00 |
| 29. 179 වන වගන්තිය | බස් රථවල පෞද්ගලික ගමන් බඩු හැර අනුමත ප්‍රමාණය ඉක්මවා තැනැත්තන් හෝ ඔවුන් ගෙනයාම සහ භාණ්ඩ ගෙනයාම | 500.00 |
| 30. 188 වන වගන්තිය | උපරිම බර හෝ ඇක්සල් බර ඉක්මවා ලොරි හෝ මෝටර් ට්‍රයිසිකල් වැනි රථවල භාණ්ඩ ගෙනයාම | 500.00 |
| 31. 189 වන වගන්තිය | ලොරි රථයක ගෙනයා හැකි තැනැත්තන් ප්‍රමාණය නොඉක්මවිය යුතු ය | 500.00 |
| 32. 190 වන වගන්තිය | නියමයන් උල්ලංඝනය කිරීම | 1000.00 |
| 33. 196 වන වගන්තිය | විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබා ගැනීමට අසමත් වීම | 500.00 |
2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනත මඟින් ප්‍රධාන මෝටර් වාහන ආඥා පනතට ඇතුළත් කළ සහ සංශෝධනය කළ සියලුම දඩ මුදල්
| අදාළ වගන්තිය | වරදේ ස්වභාවය | සංශෝධිත නව දඩ මුදල / දඬුවම |
| 123 වගන්තිය | වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය (දෙවන/තෙවන වර දඩ) | පළමු වර: රු. 25,000 – 30,000 දෙවන වර: රු. 30,000 – 40,000 (මාස 6කට බලපත්‍රය අත්හිටුවයි) තුන්වන වර: රු. 40,000 – 50,000 (මාස 12කට බලපත්‍රය අත්හිටුවයි) |
| 141අ වගන්තිය (නව) | අධික වේගයෙන් රිය ධාවනය කිරීම (Speeding) | 20% දක්වා: රු. 3,000 – 5,000 20% – 30% දක්වා: රු. 5,000 – 10,000 30% – 50% දක්වා: රු. 10,000 – 15,000 50% ට වැඩි: රු. 15,000 – 25,000 |
| 148අ වගන්තිය (නව) | දුම්රිය මාර්ග හරහා අනතුරුදායක හෝ නොසැලකිලිමත් ලෙස ධාවනය | පළමු වර: රු. 25,000 – 30,000 දෙවන වර: රු. 30,000 – 40,000 |
| 152අ වගන්තිය (නව) | රිය පදවන අතරතුර ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන මෙවලම් භාවිතය | ස්ථානීය දඩ: රු. 10,000 (හෝ අධිකරණය මඟින් රු. 10,000 සිට 25,000 දක්වා දඩ සහ මාස 3ක සිරදඬුවම්) |
| 196 වගන්තිය | වලංගු රක්ෂණ ආවරණයක් (Third-party Insurance) නොමැතිව වාහන ධාවනය | අවම දඩය: රු. 25,000 උපරිම දඩය: රු. 50,000 (හෝ මාස 1 දක්වා සිරදඬුවම්) |
| 216 වගන්තිය | බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය | දඩය: රු. 25,000 – 30,000 සිරදඬුවම: මාස 3ක් දක්වා සිරදඬුවම් සහ මාස 12කට බලපත්‍රය අත්හිටුවීම |
| 216අ වගන්තිය | වාණිජ/මගී ප්‍රවාහන වාහන බීමත්ව ධාවනය කිරීම | දඩය: රු. 25,000 – 30,000 සිරදඬුවම: මාස 6ක් දක්වා සිරදඬුවම් සහ රියදුරු බලපත්‍රය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම |
| 216බ වගන්තිය | බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම (මරණයක් හෝ තුවාල) | මරණයකදී: වසර 2 – 10 දක්වා අනිවාර්ය සිරදඬුවම් සහ බලපත්‍රය අවලංගු කිරීම තුවාල සිදුකිරීමේදී: රු. 25,000 – 50,000 දඩ සහ වසර 5ක් දක්වා සිරදඬුවම් |
| 217 වගන්තිය | අනතුරුදායක, අපරික්ෂාකාරී හෝ නොසැලකිලිමත් ධාවනය නිසා මරණයක් හෝ තුවාල සිදුකිරීම | මරණයකදී: රු. 100,000 – 150,000 දඩ සහ වසර 2 – 10 දක්වා අනිවාර්ය සිරදඬුවම් බරපතල තුවාල: රු. 50,000 – 100,000 දඩ සහ වසර 5ක් දක්වා සිරදඬුවම් සාමාන්‍ය තුවාල: රු. 10,000 – 25,000 දඩය |
| 218 වගන්තිය | වයස අවුරුදු 18ට අඩු (බාලවයස්කාර) අයෙකු ලවා වාහන ධාවනය කරවීම | අවම දඩය: රු. 30,000 ක ස්ථාවර දඩයක් (වාහන හිමිකරුට සහ පැදවූ අයට) |
| 224 වගන්තිය | පොදු දණ්ඩනය (වෙනත් විශේෂිත දඩයක් දක්වා නැති වැරදි සඳහා) | පළමු වර: රු. 2,500 – 3,500 දෙවන වර: රු. 3,500 – 5,000 තුන්වන වර: රු. 5,000 – 25,000 |
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
2018 ගැසට් නිවේදනය මඟින් පැනවූ ස්ථානීය දඩ සහ 2019 පනත මඟින් පැනවූ බරපතල දඩ මුදල් සීමාවන්, වත්මන් 2026 වසරේදී ද කිසිදු වෙනසක් හෝ වැඩිවීමක් නොමැතිව ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ. ඉන්පසුව දඩ මුදල් ප්‍රමාණයන් වැඩි කරමින් නව පනතක් හෝ නව ගැසට් නිවේදනයක් ශ්‍රී ලංකාව තුළ නිකුත් වී නොමැත.
GovPay මාර්ගගත (Online) රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය
2017 අංක 18 දරන මෝටර් රථ වාහන (සංශෝධන) පනත මඟින් ස්ථානීය දඩ (Spot Fines) ක්‍රමවේදය පුළුල් කිරීමට සහ රජයේ ආයතන ඩිජිටල්කරණය කිරීමට ලබා දී ඇති නීතිමය ප්‍රතිපාදන මත GovPay මාර්ගගත (Online) රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලදී. දැනට මුළු දිවයින පුරාම පූර්ණ වශයෙන් මෙය ක්‍රියාත්මක වේ.
මෙම ඩිජිටල් පද්ධතිය හරහා රියදුරන්ට බැංකු යෙදුම් හෝ මූල්‍ය තාක්ෂණ යෙදුම් භාවිතයෙන් තමන් වරද සිදු කළ ස්ථානයේදීම දඩ මුදල් ගෙවා, ක්ෂණිකව රියදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. GovPay පද්ධතිය හරහා සිදුව ඇත්තේ දඩ මුදල් වැඩිවීමක් නොව, දඩ මුදල් අයකර ගැනීමේ කාර්යක්ෂමතාව ඉහළ යාමයි. වැඩිදුර තොරතුරු මෙතනින්.
දැනට සාර්ථකව ක්‍රියාත්මක වන මෙම GovPay පද්ධතිය පදනම් කරගනිමින්, රජය විසින් 2026 සැප්තැම්බර් මාසයේ සිට රියදුරු ලකුණු (Demerit Points) ක්‍රමවේදය ද මෙයට සම්බන්ධ කර නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිතය.
රියදුරු ලකුණු (Demerit Point System) ක්‍රමවේදය
2017 අංක 18 දරන සංශෝධන පනත මඟින් ස්ථානීය දඩ ක්‍රමවේදය පුළුල් කිරීමට අමතරව, රියදුරු ලකුණු (Demerit Point System) ක්‍රමවේදයද හඳුන්වා දෙන ලදී. එය මාර්ග විනය සුරැකීම සහ රථවාහන අනතුරු අවම කිරීම සඳහා ලොව දියුණු රටවල භාවිත වන, වැරදි කරන රියදුරන් ස්වයංක්‍රීයව හඳුනාගෙන දඬුවම් පමුණුවන පද්ධතියකි. සෑම රියදුරෙකුටම ආරම්භයේදීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඩිජිටල් පද්ධතිය තුළ ලකුණු 24ක උපරිමයක් හිමි වේ. රියදුරෙකු රථවාහන වරදක් සිදු කරන සෑම අවස්ථාවකදීම, ඔහුගේ ගිණුමේ ඇති මුළු ලකුණු 24 න්, අදාළ වරදට නියමිත ලකුණු ප්‍රමාණය අඩු කරනු ලබයි. වැරදි සිදු නොකරන රියදුරන්ගේ ලකුණු 24 ඒ ආකාරයෙන්ම සුරැකේ. රියදුරෙකුගේ මුළු ලකුණු 24 ම අවසන් වුවහොත් (එනම් ලකුණු 24ම කැපී ගියහොත්), ඔහුගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා ස්වයංක්‍රීයව අත්හිටුවනු ලබයි. මෙම ලකුණු ක්‍රමය 2026 සැප්තැම්බර් මාසයේ සිට මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිතය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
රථ වාහන දඩ මුදල් ඉහළ ගොස් ඇති බවට ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත වන්නේ ඇයි ?
රථ වාහන වැරදි සඳහා දඩ මුදල් අය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විවිධ නව ක්‍රමවේදයන් සහ යෝජනාවන් හඳුන්වාදීම් මෑතකකදී සිදු වී ඇති බව ඒ අනුව පෙනී යනවා. (GovPay වැනි) එම ක්‍රමවේදයන් නව දඩ ක්‍රමයන් ලෙස වරදවා වටහාගැනීම නිසාවෙන් සහ රථ වාහන අනතුරු ඉහළ යාම වැනි කරුණු මත පදනම්ව මෙවැනි ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට උපකල්පනය කළ හැකිය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රථ වාහන වැරදි සම්බන්ධයෙන් පවතින දඩ මුදල් ලෙස දක්වමින් මෙතෙක් පැවති දඩ මුදල්වල අගයට වඩා සාපේක්ෂව ඉහළ අගයක් දක්වමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සටහන් අසත්‍යය බවයි. ශ්‍රී ලංකා පොලිසිය විසින්ද තහවුරු කර ඇත්තේ, රථ වාහන දඩ මුදල් ඉහළ දමා නොමැති බවත්, හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත් ය.
තවද, 2019 සිට 2026 ජූනි දක්වා රථවාහන දඩ ප්‍රමාණ සංශෝධනය කරන කිසිදු ගැසට් නිවේදනයක් හෝ පාර්ලිමේන්තු පනතක් නිකුත් වී නොමැති බව parliament.lk සහ documents.gov.lk නිල වෙබ් අඩවි පරීක්ෂා කිරීමේදී පැහැදිලි වේ. එසේම Govpay ඩිජිටල් ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීම නව දඩ ක්‍රමවේදයක් හඳුන්වා දීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ලෙස අර්ථකථනය කිරීමට ඉඩ ඇති බැවින් මහජනතාව එවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් විමර්ශනශීලී විය යුතුය.


