දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජයේ මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්ව ඇති යෝෂිත රාජපක්ෂ මහතාගේ අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබා දීම සම්බන්ධයෙන් හිටපු කථානායක අශෝක රන්වල මහතා කළ ප්‍රකාශයක් ලෙස News1st නාලිකාවේ පළවූ වූ පුවතක් ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිර්වද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
2026 ජූනි මස 18 වැනි දින News1st නාලිකාවේ පළවූ පුවතක් ලෙස හැඟෙන අයුරුන් නිර්මාණය කර ඇති රූපසටහනක, හිටපු කථානායක අශෝක රන්වල මහතා පවසා ඇතැයි දැක්වෙන පහත ප්‍රකාශය ඇතුළත් කර තිබේ.
“යෝෂිත රාජපක්ෂට දැන් තියෙන්නේ තමන් නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍යයේ පුහුණුවකට ගියේ නිසි සුදුසුකම් ඇතිව කියලා සහතික පත්‍ර පෙන්වා ඔප්පු කරන්න”


මේ පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමට කටයුතු කළේ මෙලෙසිනි.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
අප සිදු කළ පරීක්ෂාවේදී, News1st ආයතනයේ නිල වෙබ් අඩවියේ හෝ එහි නිල සමාජ මාධ්‍ය පිටුවල, හිටපු කථානායක අශෝක රන්වල මහතා විසින්, යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සහතික පත්‍ර ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් කළ බව සඳහන් කරන කිසිදු වාර්තාවක් හෝ ලිපියක් දැක ගන්නට නොලැබුණි. එමෙන්ම, රන්වල මහතාගේ නිල ප්‍රකාශ හෝ ඔහුගේ සමාජ මාධ්‍ය පිටු හරහා ද එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බව සනාථ කරන කිසිදු සටහනක් අප වෙත දැක ගන්නට නොලැබුණි.
News1st නාලිකාවේ පැහැදිලි කිරීම
මේ සම්බන්ධයෙන් අප News1st ආයතනයේ ඩිජිටල් අංශය භාරව සිටින කළමනාකරු සමඟ සම්බන්ධ වූ අතර, ඔහු තහවුරු කළේ, ඉහත සඳහන් රූපසටහන News1st විසින් කිසි විටෙකත් ප්‍රකාශයට පත් කර නොමැති බව ත්, එය නාලිකාවේ නිල ලාංඡනය සහ රූපරාමු රටාව අනවසරයෙන් භාවිත කරමින් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන් ම ව්‍යාජ සටහනක් බව ත් ය.
ජාතික ජන බලවේගයේ පැහැදිලි කිරීම
එමෙන් ම, මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (NPP)ද, අප අදහස් විමසා සිටියා. ඒ අනුව, රන්වල මහතා එවැනි ප්‍රකාශයක් කිසි විටෙකත් සිදු කර නොමැති බව ත්, යෝෂිත රාජපක්ෂ මහතාගේ සහතික පත්‍ර සම්බන්ධයෙන් ඔහු කිසිදු ප්‍රකාශයක් ලබා දී නොමැති බව ත්, මෙම සටහන සම්පූර්ණයෙන් ම ව්‍යාජ එකක් බව ත් NPP මාධ්‍ය අංශය ද තහවුරු කරන ලදි.
යෝෂිත රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබා දීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා, 2026 ජූනි මස 17 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත කැඳවීමකට අනුව පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 5 බැගින් වූ පෞද්ගලික ඇප කරුණු තුනක් මත ඔහුට ඇප ලබා දෙන ලද අතර, විදේශ ගමන් තහනමක් ද පනවන ලදී.
මෙම විමර්ශනය සම්බන්ධ වන්නේ, 2006 වසරේ යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට කැඩෙට් නිලධාරියකු ලෙස බඳවා ගැනීමේදී ඉල්ලුම් කරන ලද අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබූ බවට ත්, ඒ සඳහා අවශ්‍ය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පසුව සංශෝධනය වූ බවට ත්, එල්ල වී ඇති චෝදනාවන් සමඟිනි. මෙම බඳවා ගැනීමෙන් අනතුරුව ඔහු 2007 ජනවාරියේ එක්සත් රාජධානියේ රාජකීය නාවික ඇකඩමියේ වසර එක හමාරකට වැඩි කාලයක් රජයේ වැය මුදලින් පුහුණුවක් සඳහා ගිය බව ද වාර්තා වේ. මෙම කරුණු මීට පෙර 2016 වසරේ පාර්ලිමේන්තු කාරක සභා විමර්ශනයකදී ද අනාවරණය වී තිබිණි.
හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ සුදුසුකම් පිළිබඳ ආන්දෝලනාත්මක පුවත
මෙම ව්‍යාජ සටහනට හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ ඡායාරූපය හා නම යොදා ගැනීමට හේතුව ලෙස, ඔහු සම්බන්ධයෙන් මීට පෙර පැවති සමාන ආන්දෝලනයක් හඳුනාගත හැක. 2024 නොවැම්බර් මාසයේ 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පත් වූ රන්වල මහතාට, ඔහුගේ උපාධි සහ ආචාර්ය උපාධි සුදුසුකම් සැබෑ දැයි යන්න සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් සහ විරුද්ධ පක්ෂවලින් දැඩි ලෙස බලපෑම් එල්ල විය. එම ලියකියවිලි කඩිනමින් ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන්, ඔහු 2024 දෙසැම්බර් මස 13 වැනි දින කථානායක ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව, සහතික පත්‍ර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ම ආන්දෝලනයට ලක් වූ රන්වල මහතා මුවින්ම, යෝෂිත රාජපක්ෂගේ සුදුසුකම් සහතික ඉල්ලා සිටින බව දැක්වීම සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර උපහාසාත්මකව හාස්‍යයට පාත්‍ර වූවක් බව පැහැදිලි වුවද, මෙය රන්වල මහතා විසින් සැබවින් ම සිදු කළ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීම සත්‍ය නොවන කරුණකි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු කථානායක අශෝක රන්වල මහතා, යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සහතික පත්‍ර ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් කළ බව දැක්වෙන, News1st නාලිකාවේ සන්නාමය සහ රූපරාමු රටාව භාවිත කරමින් නිර්මාණය කර ඇති සටහන ව්‍යාජ එකක් බව ත්, රන්වල මහතා හෝ News1st නාලිකාව විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව ත් ය.


