දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බිබිල කොටගම ප්‍රදේශයේ අසපුවක ස්වාමීන් වහන්සේ නමක් බීමත්ව සිටියදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා හුවමාරු වී තිබුණා. බිබිල ප්‍රදේශයේ භාවනා අසපු කිහිපයක්ම තිබීම හේතුවෙන් සහ අදාල සිදුවීමට පාදක වූ අසපුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වාර්තා තුළ අන්තර්ගත නොවී තිබීම හේතුවෙන්, මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ද අප වෙත ඉල්ලීම් යොමු කර තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව තුළ දක්වා තිබුණේ බිබිල කොටගම භාවනා අසපුව යනුවෙන් පමණයි.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අනිකුත් වීඩියෝ පට තුළද හඳුන්වා තිබුණේ, ‘බිබිල කොටගම අසපුවක හිමිනමක්’ යනුවෙන් පමණි.

අදාළ සිදුවීමට පාදක වූ භාවනා අසපුව සම්බන්ධයෙන් නිවැරදිව සහ පැහැදිලිව වාර්තා කර නොතිබීම නිසා සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණේ මෙලෙසින්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අප කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම)
බිබිල සහ බිබිල කොටගම ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථාන කිහිපයක් තිබීම හේතුවෙන් සහ ඒ කුමන ස්ථානය ද යන්න නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා, අප විසින් බිබිල ප්‍රදේශයේ භාවනා අසපු වලින් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

බිබිල මහමෙව්නා අසපුව
භාවනා අසපුවක් වශයෙන් සමාජයේ බොහෝ දෙනා මහමෙවුනා අසපු සම්බන්ධයෙන් දන්නා බැවින්, අදාළ සිදුවීමට පාදක වූ ස්ථානය මහමෙවුනා අසපුවද යන්න පිළිබඳ සැකයක්, ජනතාව තුළ ඇතිවිය හැකි බැවින් අප විසින් මෙය සම්බන්ධයෙන් බිබිල මහමෙවුනා අසපුවෙන් විමසීමක් කළා. එහිදී බිබිල මහමෙවුනා අසපුවෙන් තහවුරු කළේ, අදාල සිදුවීමට පාදක වූ ස්ථානය බිබිල මහමෙවුනා අසපුව නොවන බවයි. එසේම එම සිදුවීමට සම්බන්ධ වූ ස්වාමීන් වහන්සේ මහමෙවුනා අසපුවට කිසිදු සම්බන්ධයක් නොමැති අයෙකු බවද බිබිල මහමෙවුනා අසපුව විසින් තහවුරු කළා.
බලංගොඩ වරුණ ස්වාමීන් වහන්සේ
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවකට අදහස් දක්වමින් බලංගොඩ වරුණ ස්වාමීන් වහන්සේ විසින්, මෙම සිදුවීමට සම්බන්ධ හිමිනම අසපුවේ හිමිනමක් නොවන බවට කමෙන්ටුවක් දක්වා තිබුණා.

ඒ අනුව අප විසින්, බළන්ගොඩ වරුණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගනිමින්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. බලංගොඩ වරුණ ස්වාමීන් වහන්සේ විසින්ද සඳහන් කළේ, බොහෝ දෙනා විසින් අදාළ භාවනා අසපුව මහමෙව්නා අසපුවක් ලෙස වරදවා වටහාගැනීමේ ඉඩක් ඇති බවත්, අදාල සිදුවීමට පාදක වූ අසපුව මහමෙවුනා අසපුවක් නොවන බවත් ය.
බිබිල කොටසර විහාරස්ථානය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී බිබිල කොටසර විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සඳහන් කළේ, අදාල සිදුවීමට පාදක වූ ස්වාමීන් වහන්සේ අයත් වන්නේ, බිබිල කොටගම බුද්ධ භාවනා අසපුවට බවයි. එම ස්වාමීන් වහන්සේ බීමතින් මාර්ගයේ හැසිරීමේදී ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වී පොලීසිය විසින් ඔහු කොටසර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස සිතා කොටසර විහාරස්ථානයට රැගෙන ආ බවත්, කොටසර විහාරස්ථානයේදී මත්පැන් පානය කර ඇත්ද යන්න තහවුරුකර ගැනීම සඳහා පරීක්ෂා කිරීමකට ලක් කළ බවත්, පසුව අනන්‍යතාවය පරීක්ෂා කිරීමේදී එම ස්වාමීන් වහන්සේ, බිබිල කොටගම බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් බව තහවුරු වූ බවත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් වැඩිදුරටත් සඳහන් කළා.
බිබිල පොලිස් ස්ථානය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී බිබිල පොලිස් ස්ථානය විසින් සඳහන් කළේ, අදාළ සිදුවීමට මුල් වූ භාවනා අසපුව බිබිල කොටගම බුද්ධ භාවනා අසපුව බවයි. බීමත්ව අශෝභන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් බිබිල කොටගම බුද්ධ භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් බවත්, අනතුරුව එම ස්වාමීන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නියම වූ බවත් බිබිල පොලිසිය විසින් සඳහන් කළා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් ද සඳහන් කළේ, බිබිල කොටගම බුද්ධ භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේ නමක්, බීමත්ව හැසිරීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය දිනක බිබිල කොටගම ප්‍රදේශයේ දී බීමතින් අශෝභන ලෙස හැසිරීමේදී අත්අඩංගුවට ගත් ස්වාමීන් වහන්සේ බිබිල කොටගම බුද්ධ භාවනා අසපුවට අයත් ස්වාමීන් වහන්සේ නමක් බවයි.
බිබිල සහ බිබිල කොටගම ප්‍රදේශයේ ද භාවනා අසපු සහ විහාරස්ථාන කිහිපයක් පිහිටා ඇති බැවින්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් සහ වීඩියෝ පට තුළ, අදාල අසපුවේ නම පැහැදිලිව සඳහන් නොකර, බිබිල කොටගම භාවනා අසපුව යනුවෙන් පමණක් හඳුන්වා තිබීම හේතුවෙන් බොහෝ පාඨකයින්, පැහැදිලි කිරීමක් අපේක්ෂා කර තිබුණි.


