පාස්කු ප්‍රහාරයට පෙර, ඒ ගැන සඳහන් ලිපියක් කාදිනල් රංජිත් හිමිපාණන්ටත් යොමු කර තිබුණද?

False Religious Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

හිටපු නියෝජ්‍ය පොලිස්පති (DIG) ප්‍රියලාල් දසනායක මහතා විසින් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කාදිනල්තුමාට කලින්ම දැනුම් දුන් බව ත්, එම තොරතුරු කාදිනල්තුමා විසින් සඟවා තැබූ නිසා, ප්‍රහාරයේ සැබෑ මහමොළකරු කාදිනල්තුමා බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

2019 සිට 2026 දක්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කිහිපයක්ම සිදුව ඇත.  Malalgoda Committee, PSC, Janak de Silva PCoI, Imam Committee, Jayaki de Alwis Committee සහ CID විමර්ශන යනාදී මේ කිසිවකින් ඉහත සඳහන් පරිදි, පාස්කු ප්‍රහාරය පිළිබඳ කාදිනල්තුමා දැනුවත් වී සිටි බවට සඳහන් වී නොතිබුණු අතර මේ ගැන අප වැඩිදුරටත් කරුණු විමසා බැලුවේ මෙලෙසින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කාදිනල් හිමිපාණන්ටත් අවස්ථාවක් තිබුණු බවට කළ ප්‍රකාශයක් සමගින් ඉහත සඳහන් ලෙසින් මෙම සටහන් නිර්මාණය වී තිබුණා.

ඒ අනුව මෙහි සත්‍ය පරීක්ෂා කිරීම සඳහා අප පාස්කු ප්‍රහාරයේ නිල වාර්තා පිළිබඳ අවදානය යොමු කරනු ලැබුවා.

ප්‍රියලාල් දසනායක නිකුත් කළ ලිපියේ සැබෑ තත්ත්වය

2019 අප්‍රේල් 11 වනදා එවකට විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති  ප්‍රියලාල් දසනායක මහතා විසින් ආරක්ෂක අංශ වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙම නිවේදනය නිකුත් කර තිබුණේ, රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් ලබා දී තිබූ අතිශය රහසිගත බුද්ධි තොරතුරක් පදනම් කරගෙන වන අතර, එහි මොහොමඩ් සහරාන් ඇතුළු කණ්ඩායමක් ප්‍රසිද්ධ පල්ලි සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවටයි. 

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා (PSC) වාර්තාව සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (PCoI) වාර්තාවල දක්වා ඇති පරිදි, DIG ප්‍රියලාල් දසනායක මහතා මෙම ලිපිය යොමු කර තිබුණේ පොලිස් අභ්‍යන්තර ආරක්ෂක අංශ වෙත පමණි. ඒ අනුව අමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය (MSD), අධිකරණ ආරක්ෂක කොට්ඨාසය සහ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක කොට්ඨාසය වෙත පමණක් ප්‍රභූන්ගේ ආරක්ෂාව තර කරන ලෙස දන්වමින් මෙම ලිපිය යොමු කර තිබුණි. 

හිටපු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රහාරයෙන් පසු ප්‍රසිද්ධියේ කියා සිටියේ තම පියා රෝහල්ගතව සිටියදී ආරක්ෂක අංශවල සිටින හිතවතෙකු (CID නිලධාරියෙකු) මාර්ගයෙන් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට පූර්ව තොරතුරක් ලබා දී තිබූ බවයි. හරින් ප්‍රනාන්දු මහතා ප්‍රහාරයට පෙර මෙම චක්‍රලේඛය නිල වශයෙන් කියවා නොතිබූ අතර, ප්‍රහාරයෙන් පසුව ඔහු විසින් මෙම චක්‍රලේඛයේ ඡායාරූපයක් ට්විටර් (X) ගිණුමට මුදාහරිමින් ආරක්ෂක අංශවල පූර්ව දැනුවත්භාවය පිළිබඳව ප්‍රශ්න කරනු ලැබීය.

එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශ වෙතද ප්‍රභූ ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස මෙම අභ්‍යන්තර පොලිස් පණිවිඩය ලැබී තිබුණි. ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාද තහවුරු කළේ, තම ආරක්ෂක නිලධාරීන්ට එවැනි අනතුරු ඇඟවීමේ ලිපියක් ලැබී තිබූ නමුත් රටේ පාලන බලය හෙබවූ “යහපාලන රජයේ” අභ්‍යන්තර දේශපාලන අර්බුද හේතුවෙන් එම බුද්ධි තොරතුරු පිළිබඳව විපක්ෂය හෝ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට රජය කටයුතු කර නොතිබූ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වගකිවයුත්තන් නිල වශයෙන් නම් කිරීම

2023 ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුව මඟින්, ප්‍රහාරය පිළිබඳව ඉතා පැහැදිලි පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, ආරක්ෂක මණ්ඩලය නිසි පරිදි කැඳවීමට සහ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිස වරදකරුවන් කරමින් වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළා. 

එම කිසිදු නිල අධිකරණ ක්‍රියාවලියකදී, පාර්ලිමේන්තු තේරීම් කමිටු වාර්තාවකදී හෝ ජනාධිපති කොමිෂන් සභා විමර්ශනයකදී කතෝලික සභාවට හෝ කාදිනල්තුමා වෙත පූර්ව තොරතුරු ලැබී තිබූ බවට හෝ ඔවුන් තොරතුරු සැඟවූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැත.

කාදිනල්තුමන්ට මෙම ලිපිය යොමු කර තිබුණ ?

දේශපාලනඥයන්ගේ සහ ප්‍රභූන්ගේ ආරක්ෂක අංශ වෙත මෙම තොරතුරු සංසරණය වුවද, ප්‍රහාරය එල්ල වන තෙක්ම කතෝලික සභාව, කිසිදු දේවස්ථානයක් හෝ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත මෙම බුද්ධි තොරතුරු හෝ අනතුරු ඇඟවීමේ ලිපිය යොමු කර නොතිබූ බව නිල විමර්ශනවලදී තහවුරු විය.

කොළඹ අගරදගුරු මැදුරේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඇතුළු කතෝලික සභාව නිල වශයෙන් පෙන්වා දෙන්නේ, කාදිනල්තුමාට පූර්ව බුද්ධි තොරතුරු ලැබුණේ යැයි පවසන සමාජ මාධ්‍ය සටහන් දේශපාලනඥයන් විසින් කරන ලද ප්‍රකාශ විකෘති කරමින් මහජනතාව නොමඟ යැවීමට සහ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් සැඟවීමට කරන ලද කුමන්ත්‍රණකාරී ප්‍රචාරයන් බවයි. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන ප්‍රහාරය පිළිබඳ බියකරු පුවත සැලවන තෙක් කාදිනල්තුමා ඒ පිළිබඳව කිසිවක් දැන සිටියේ නැති බවයි.

ප්‍රහාරය එල්ල වන තෙක්ම කාදිනල්තුමා වෙනුවෙන් කිසිදු විශේෂ පොලිස් ආරක්ෂක උපකරණ හෝ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් (VIP Security) අනුයුක්ත කර නොතිබුණු බව ත්, ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් උන්වහන්සේ වෙත ලබා දුන්නේ ප්‍රහාරය එල්ල වී අවසන් වූ පසුව වන අතර එබැවින් ආරක්ෂක නිලධාරීන් මාර්ගයෙන් පූර්ව අනතුරු ඇඟවීම් ලැබුණේ යැයි කීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ත්, සිරිල් ගාමිණි පියතුමන් වැඩි දුරට ත් සඳහන් කරනවා.

එසේම පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්, සිය නම සම්බන්ධ කරගනිමින්, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් 2021 වසරේ වෙබිනාර් එකකදී සිදුකළ ප්‍රකාශයකින්, ඔහුගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු කළ බව සඳහන් කරමින්, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි. ඒ පිළිබඳව සිරිල් ගාමිණී පියතුමන් ද මෑතක දී දැක්වූ අදහස් මෙතනින්.

ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා

කොළඹ අගරදගුරු පදවියේ ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ, මෙය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවයි. කාදිනල් හිමිපාණන් කිසිම මාර්ගයකින් පාස්කු ඉරුදින ප්‍රහාරය දැන සිටියේ නැති බව අප විසින් කිහිපවිටක්ම පවසා ඇත. යම් කිසිවකු එසේ චෝදනා කරන්නේනම් අධිකරණයට ගොස් එය ඔප්පු කරන ලෙසද අපි ඔවුනට අභියෝග කොට සිටිමු.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසම් සභාව ඉදිරිපිට කාදිනල් හිමිපාණන් දීර්ඝ කට උත්තරයක් ලඛාදුන් අතර විනිසුරු මඩුල්ල උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්නයද අසන ලදි. කිසිම විටෙක කාදිනල් හිමිපාණන් ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවක් ප්‍රකාශ වූයේද නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමු. ඵසේම එහිදී සාක්ෂි දුන් කිසිවකුත් උන්වහන්සේට මේ පිළිබඳව දැනුම් දුන් බවක්ද ප්‍රකාශ කළේ නැති අතර ඕනෑම අයෙකුට එම වාර්තාව කියවා බැලිය හැක

මෙවැනි අසත්‍ය ප්‍රකාශ ඵලකරන්නේ හුදෙක් මෙම පරීක්‍ෂණ නොමග යැවීමට මෙන්ම වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬනගන කාදිනල් හිමිපාණන්ට මඩ ගැසීමට බවද අපි දනිමුඑම නිසා අවශ්‍ය වුවහොත් මෙවැනි අසත්‍ය චෝදනා නගන අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද අපි පසුබට නොවෙමු. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසයි.

2019 පාස්කු ඉරුදින උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමිපාණන් සහභාගී නොවුණේ ඇයි?

2019 පාස්කු ඉරුදින උදෑසන දේව මෙහෙයට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී නොවුණේ එතුමන් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත්ව සිටි නිසා බවට සමාජ මාධ්‍යවල පළ වූ සටහන් නොමඟ යවන සුළු බව Fact Crescendo  අප විසින් මීට පෙර ද, සිදු කරන ලද විමර්ශනයකින් තහවුරු කරනු ලැබුවා.

කතෝලික සම්ප්‍රදායට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන ප්‍රධාන පාස්කු දේව මෙහෙය පැවැත්වෙන්නේ පාස්කු ඉරුදිනට පෙර දින “ආලේලූයියා සෙනසුරාදා” මධ්‍යම රාත්‍රියේ වන අතර, අගරදගුරුතුමන් 2019 වසරේදී මෙන්ම සෑම වසරකදීම සහභාගී වන්නේ එතුමන්ගේ නිල ආසන දෙව්මැදුර වන කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේ පැවැත්වෙන එම ප්‍රධාන මධ්‍යම රාත්‍රී දේව මෙහෙයටයි

මෙම රාත්‍රී පූජාවට සහභාගී වන බැවින් පාස්කු ඉරුදින උදෑසන නැවතත් සාමාන්‍ය දේව මෙහෙයකට සහභාගී වීම සම්මතයක් නොවන අතර, 2019 ප්‍රහාරයට පෙර කිසිදු අවස්ථාවක කාදිනල්තුමන් පාස්කු ඉරුදින උදෑසන දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගී වී නොමැති බවත්, ඒ වෙනුවට එතුමන් බොහෝ විට එම කාලය පිළිකා රෝහලේ හෝ බන්ධනාගාර රැඳවියන් සමඟ ගත කර ඇති බවත් කතෝලික සභාවේ පියතුමන්ලා පෙන්වා දෙති.

ජනතාව අතර මෙම වැරදි වැටහීම නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, 2019 වසරෙන් පසුව එතුමන් ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් සිහිපත් කරමින් කොච්චිකඩේ සහ කටුවාපිටිය වැනි දේවස්ථානවල පවත්වනු ලබන පාස්කු ඉරුදින උදෑසන දේව මෙහෙයන් සඳහා සහභාගී වීමට ආරම්භ වීමත් සමගයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දිනයේ, උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමිපාණන් සහභාගී නොවුණේ ඇයි?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විමසා සිටි අතර අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ද, DIG ප්‍රියලාල් දසනායක මහතාගේ ලිපිය යොමු කර ඇති බවට පළ වන පුවත අසත්‍ය බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, DIG ප්‍රියලාල් දසනායක මහතාගේ ලිපිය ආරක්ෂක අංශවල අභ්‍යන්තර භාවිතයට සහ ඇතැම් දේශපාලනඥයන්ගේ ආරක්ෂක අංශ වෙත පමණක් සීමා වී තිබූ බවයි. කාදිනල්තුමාට හෝ කතෝලික සභාවට මෙම තොරතුරු ලැබී තිබූ බවටත්, ඔවුන් ජීවිත බේරාගැනීමේ අවස්ථාව මඟහැරූ බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චෝදනා මේ වන විට සිදු කරන ලද විමර්ශනවලට අනුව අසත්‍ය බවට පෙන්වා දිය හැක.

2026 ජූනි වන විටත්, PCoI, ශ්‍රේෂ්ඨාධිකරණ FR තීන්දුව, PSC වාර්තාව, සහ පවතින CID විමර්ශන (Sallay, Pillayan) කිසිවකින් කාදිනල්තුමා හෝ කතෝලික සභාව පූර්ව තොරතුරු සඟවා ඇති බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.

Result Stamp

Title: පාස්කු ප්‍රහාරයට පෙර, ඒ ගැන සඳහන් ලිපියක් කාදිනල් රංජිත් හිමිපාණන්ටත් යොමු කර තිබුණද?

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *