පාපන්දු ලෝක කුසලානය ආශ්‍රිතව ඇමරිකාව සහ ඉරාන කණ්ඩායම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්! 

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2026 ෆිෆා ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් මේ දිනවල ඉතා උණුසුම් මුහුණුවරකින් පැවැත්වේ. දේශපාලනමය වශයෙන් දැඩි මතභේදාත්මක රටවල්  වන ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉරාන ජාතික කණ්ඩායම ක්‍රීඩා කිරීම මෙවර තරගාවලියේ ලෝකයේ අවධානය දිනාගත් ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත. ඊට සමගාමීව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී ඉරානය මුහුණ දුන් තරඟ අවස්ථාවන්හිදී ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සහ අසත්‍ය තොරතුරු හුවමාරු වී තිබුණා. එවැනි සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණ පරීක්ෂාවක් පහතින්.

Claim 1

සමාජ මාධ් සටහන් (Social Media Posts :

ලොස් ඇන්ජලීස් නුවරදී පැවති ඉරාන නවසීලන්ත (2-2) ලෝක කුසලාන තරඟය අතරතුර ගෝලයක් සැමරීමේදී තුවක්කුවක් පෙන්වන සංඥාවක් සිදුකිරීම නිසා ඉරාන ක්‍රීඩක මොහේබි ඇමරිකානු බලධාරීන් විසින් පිටුවහල් කර ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook  | Archived link

මේ සම්බන්ධයෙන් තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්

Facebook  Facebook  

අදාල සිදුවීම හේතු කරගනිමින් එම ඉරාන ක්‍රීඩකයා පිටුවහල් කර ඇත්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක මොහොමඩ් මොහේබි විසින් 2026 ජුනි 15 වැනිදා 2026 FIFA ලෝක කුසලාන තරගාවලියේ ‘G’ කාණ්ඩයේ ඉරානය සහ නවසීලන්තය අතර පැවැති සමාරම්භක තරගයේදී, තරගයේ 64 වැනි මිනිත්තුවේ ඉරානය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමෙන් පසු, ප්‍රේක්ෂකාගාරය දෙසට තම ඇඟිලිවලින් තුවක්කුවක හැඩයක් පෙන්වමින් ගෝලය ලබා ගැනීම පිළිබඳ සැමරුමක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

ඔහුව ඇමරිකාවෙන් පිටුවහල් කර නොමැත

මෙම සැමරුමේදී සිදු කළ සංඥාව හේතුවෙන් ඉරාන ක්‍රීඩක මොහොමඩ් මොහේබී ඇමෙරිකානු බලධාරීන් විසින් පිටුවහල් කර ඇත්නම්, ලෝක අවධානයක් දිනාගෙන ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් සහ ප්‍රධාන ධාරාවේ නිල මූලාශ්‍ර විසින් අනිවාර්යයෙන් තහවුරු කර තිබිය යුතුය. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ, මෙම ඉරාන ක්‍රීඩකයා ඇමරිකානු බලධාරීන් විසින් පිටුවහල් කර ඇති බවට කිසිදු නිල මූලාශ්‍රයක් විසින් තහවුරු කර නොමැති බවයි.

එසේම නවසීලන්තය සමඟ පැවති තරඟයේදී තම ගෝලය සැමරීමේදී තුවක්කුවක් දක්වමින් අභිනයක් කළ බවට එල්ල වන චෝදනා ඉරාන පාපන්දු ක්‍රීඩක මොහොමඩ් මොහෙබි ප්‍රතික්ෂේප කර තිබේ. තරගයෙන් පසු නායක මෙහ්ඩි ටරේමි සමඟ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොහෙබි ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුගේ සැමරුම තුළ සිදු කළ අත් චලනයන් පිටුපස  සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවයි. ඒ මොහොතේ ගෝලය සැමරීම සඳහා රසිකයන් වෙනුවෙන් හිතට පැමිණි දේ සිදුකළ බවත්, එය සැමරුමක් පමණක් බවත් ඔහු සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතැනින් සහ මෙතනින්.

එසේම මොහොමඩ් මොහේබි දිගටම කණ්ඩායම සමග රැඳී සිටිමින් ඊට පසු පැවැති බෙල්ජියම් තරගයට ද (ජුනි 21) ක්‍රීඩා කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතැනින් සහ මෙතනින්.

එසේම මේ සම්බන්ධයෙන් වෙනත් අන්තර්ජාතික කරුණු පරීක්ෂා කිරීමේ කණ්ඩායම් විසින් සිදු කළ විමසීම්වලදී  ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබුණේ, ඉරාන පාපන්දු කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු ඇමරිකාවෙන් පිටුවහල් කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතැනින් සහ මෙතනින්.

ඉරාන කණ්ඩායමට තරග දිනයට පෙරදින ඇමරිකාවට ඇතුළු වී, තරගය අවසන් වූ දිනම ගුවන්යානයකින් මෙක්සිකෝවේ ඔවුන්ගේ පුහුණු කඳවුර වන ටිහුවානා වෙත යාමට සිදුව තිබීම, ඉහත සටහන් නිර්මාණය වීමට හේතු වුවාද යන්න ද අනුමාන කළ හැකිය. ඇමරිකාව විසින් මෙසේ ගෙන ඇති ප්‍රතිපත්තිය ක්‍රීඩකයෙකු පිටුවහල් කිරීමක් නොව, සමස්ත කණ්ඩායමටම පොදුවේ බල පැවැත්වෙන වීසා කොන්දේසියකි 

Claim 2

සමාජ මාධ් සටහන් (Social Media Posts :

ඇමරිකානු මිසයිලයකින් ඉරාන පාසල් සිසුවියන් 168 ක් ඝාතනය කිරීමේ සිදුවීමක් සිහිපත් කරමින් ඉරාන පාපන්දු ක්‍රීඩකයෙක් විසින් ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී පාසල් බෑගයක් ඔසවා සිහිපත් කිරීමක් කළ බවට සටහනක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook  | Archived link

මේ සම්බන්ධයෙන් තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්

Facebook  Facebook  Facebook    

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අප කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

2026 පෙබරවාරි 28 වනදා දකුණු ඉරානයේ මිනාබ් (Minab) නුවර පිහිටි ‘Shajareh Tayyebeh’ ප්‍රාථමික පාසලට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පාසල් සිසුන් ඇතුළු 165කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබුණා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ, එවැනි සැමරීමක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් හෝ නිල මූලාශ්‍රයකින් තහවුරු කර නොමැති බවයි. 

අදාළ ඡායාරූපයේ නිරූපණය කර ඇති පුද්ගලයා ඉරාන ජාතික කණ්ඩායමේ 26 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලාන ලැයිස්තුවේ කිසිදු සාමාජිකයෙකුට සමාන නොවන අතර ඔහුගේ නිල ඇඳුම නවසීලන්තයට එරෙහිව ඉරාන කණ්ඩායම පැළඳ සිටි සැබෑ ඇඳුම් කට්ටලවලටද සමාන නොවේ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

2026 මාර්තු මස තුර්කියේදී නයිජීරියාව සමඟ පැවැත්වුණු මිත්‍රත්ව පාපන්දු තරගයකදී ඉරාන කණ්ඩායමේ ක්‍රීඩකයන් බෑග් ක්‍රීඩා පිටිය වෙත ගෙනැවිත් සිහි කිරීමක් සිදු කර ඇත.

කෙසේ නමුත් මෙම ඛේදවාචකයෙන් මියගිය දරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් 2026 මාර්තු මස තුර්කියේදී නයිජීරියාව සමඟ පැවැත්වුණු මිත්‍රත්ව පාපන්දු තරගයකදී ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාම දම් සහ රෝස පැහැති බෑග් ක්‍රීඩා පිටිය වෙත ගෙනැවිත් සිහි කිරීමක් සිදු කර ඇත. කෙසේ නමුත් ක්‍රීඩකයකු විසින්  රෝස පැහැති බෑගයක් ඉහළට ඔසවා පෙන්වන ඉහත ඡායාරූපය එම අවස්ථාවට අදාළවද කිසිදු මාධ්‍යයක් විසින් වාර්තා කර තිබුණේ නැහැ. එම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්

එම කරුණු සැලකිල්ලට ගනිමින් අප විසින් අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කර ඇති ඡායාරූපයක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා කෘතිම බුද්ධි හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

කෙසේ නමුත් ඉරාන ජාතික කණ්ඩායම ලෝක කුසලානය සඳහා මෙක්සිකෝවේ ටිහුවානා ගුවන් තොටුපළට ගොඩබසින අවස්ථාවේදී ඔවුන්ගේ කබා වල “#168” සටහන් කළ රන් පැහැති පින් එකක් පැළඳ සිටි බව නිල ඡායාරූප ද සහිතව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇත. 2026 පෙබරවාරි 28 වැනිදා ඉරානයේ මිනාබ් (Minab) හි ප්‍රාථමික පාසලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් මියගිය පිරිස සිහිපත් කරමින් ඔවුන් එය පැළඳ සිටි බව එහි සඳහන් වේ. ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

එසේම ඉරාන ප්‍රේක්ෂකයින් විසින් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ සිට “MINAB 168” බැනර් ප්‍රදර්ශනය කරමින් ලෝකයේ අවධානය ඒ වෙත යොමු කර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ. වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉරාන ක්‍රීඩක මොහොමඩ් මොහේබි සිදුකළ තුවක්කු සංඥා සැමරුමක් හේතුවෙන් ඇමරිකාවෙන් පිටුවහල් කර ඇති බවට හුවමාරු වන්නේ අසත්‍ය සටහන් පෙළක් බවයි. තවද ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී ඉරාන ක්‍රීඩකයෙක් පාසල් බෑගයක් ඔසවමින් මිනාබ් ඛේදවාචකය සිහිපත් කළ බවට හුවමාරු වන ඡායාරූපය ද නොමඟ යවන සුළුයි.

Result Stamp

Title: පාපන්දු ලෝක කුසලානය ආශ්‍රිතව ඇමරිකාව සහ ඉරාන කණ්ඩායම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්!

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *