දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2026 ජූලි 31 වනදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිලවරණය නොපැවැත්වුවහොත්, ශ්‍රී ලංකාව නැවත අසාදු ලේඛනගත කරන බවට (Blacklist) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජෙශා මහතා ජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ICC සභාපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවක දී මේ කරුණු සකච්ඡා වූ බව, 2026 ජූනි 22 දින ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ වූ වාර්තාවක පළකර තිබුණා. මෙහිදී සඳහන් කර තිබුණේ ජූලි 31 දිනට පෙර ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසත්, එසේ නොවුනහොත් ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කරන ලැයිස්තුවට ඇතුළත් කරන බවටත් දැඩි කොන්දේසියක් පනවන බවයි.
මෙහි නිර්වද්‍යතාව සොයා බලන ලෙස අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද මුල් කරගනිමින් මේ පිළිබඳ අප සොයා බැලීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා අතර හමුවක් පසුගිය ජුනි 19 වන දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. එම හමුවේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ ජේ ෂා විසින්, ශ්‍රී ලංකා සම්බන්ධයෙන් ගැනීමට සිදුවිය හැකි කිසිදු දැඩි තීරණයක් පිළිබඳව ජනපතිට ප්‍රකාශ කළ බවට වාර්තා පළවී තිබුනේ නැහැ.
නිල හමුවෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින්, ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ශා මහතා සඳහන් කර තිබුණේ, ජනාධිපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බවයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා සාර්ථකව සත්කාරකත්වය සැපයීම සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන අඛණ්ඩ දායකත්වය ද ඇගයීමට ලක් කර තිබුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෝ ඉහත ආකාරයේ තොරතුරක් ඔහුගේ එම සටහනින් සඳහන් කර නොතිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) නිල ප්‍රකාශය
ICC සභාපති සහ BCCI(ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ) ලේකම් ලංකාවට පැමිණීම ගැන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි සඳහන් වූයේ, දැනට පත්කර ඇති “පරිවර්තන කමිටුව” විසින් ක්‍රිකට් ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති පියවර සහ ඉදිරි කාලසටහන (Timelines) පිළිබඳව ICC නියෝජිතයින් දැනුවත් කළ බවයි.
එහිදී ජේ ශා මහතා එම පියවරයන් අගය කළ බවත්, පාලනයේ විනිවිදභාවය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ICC යේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවත් ප්‍රකාශ කර තිබුණු අතර එහිදී හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජූලි 31 දිනට පෙර පැවත්විය යුතු බවක් හෝ එසේ නොවුනහොත්, Black list කරන බවට ඔවුන් දැනුම් දුන් බවට දක්වා නොතිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගෝ මහතාගෙන් අප ඩේලි මිරර් වාර්තාව පිළිබඳ විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එම පුවත්පත් ලිපිය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. එවැනි ප්‍රකාශයක් ICC සභාපති විසින් සිදු නොකළ බව ඔහු අවධාරණය කර සිටියා.
එමෙන් ම ජූලි 31 ට පෙර නිලවරණයක් පවත්වනවාද , යන්න පිළිබඳව ද, අප විමසීමක් කළ අතර ඔහු පැහැදිලි කළේ එම ක්‍රියාපටිපාටිය සඳහා කලක් ගත වන අතර තව ම ඒ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවත් මෙතෙක් ඒ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හෝ තීරණයක් ගෙන නොමැති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය
මෙම පුවත “අසත්‍ය සහ නොමඟ යවන සුළු” ප්‍රකාශයක් බවත්, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ජනාධිපතිවරයා සහ ජේ ශා අතර පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පාසල් ක්‍රිකට් සංවර්ධනය, තරුණ දක්ෂතා නැංවීම සහ ක්‍රීඩා පහසුකම් දියුණු කිරීම පිළිබඳව පමණක් වූවක් බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබුණා.

ඩේලි මිරර් පුවත්පත, ජනපති මාධ්‍ය අංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සිය මුල් වාර්තාව ප්‍රතික්ෂේප කළ බවට නව ලිපියක් ද පළකරයි!
ඩේලි මිරර් පුවත්පත විසින් නැවතත් ලිපියක් පළ කරමින්, ඔවුන්ගේ වාර්තාව ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්ෂේප කරන බවට දක්වා තිබුණා.
නිලවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අසාදු ලේඛනගත කිරීමේ අවදානමක් ඇති බවට කරන ප්‍රකාශ, හිටපු ශ්‍රී ලංකා නායක සහ ක්‍රිකට් කමිටු සභාපති සිදත් වෙත්තමුණි ද තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව එහි සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට අවසන් වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් කෙටුම්පත් කෙටුම්පත මේ මස අවසන් වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් වෙත්තමුණි මහතා පවසා ඇති බව ද, දක්වා තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත බොහෝ දුරට අවසන් වී ඇති අතර, පරිවර්තන කමිටුව එය ICC සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර අවශ්‍ය නීතිමය ශෝධන කටයුතු මේ වන විට අවසන් කරමින් සිටී. එම පුවත් ලිපිය මෙතනින් . Archived
ඩේලි මිරර් විසින් Blacklist කිරීමේ අවදානමක් ගැන මුල් වාර්තාවට බොහෝදුරට හේතු වනන්ට ඇති කාරණයක් විය හැක්කේ, Sportstar වාර්තාවක් බව දක්වමින් ඇසුරෙන් CricketAddictor වාර්තා කර තිබු කරුණක් විය හැකිය. එහි සඳහන් වී ති තිබුනේ, ICC විසින් පසුගිය සතියේ SLC ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින්, වැඩිදුර ප්‍රමාදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයක් අවශ්‍ය බව අවධාරණය කර ඇති බවක්. කෙසේ නමුත් මෙවැනි ලිපියක අන්තර්ගතය විවෘතව හෙළිදරව් කර නොමැත.
ක්‍රිකට් නිලවරණය යනු කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ප්‍රධාන ක්‍රිකට් සමාජ, පළාත් ක්‍රිකට් සංගම් සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල නියෝජිතයින් විසින් මෙම ඡන්දය ප්‍රකාශ කරනු ලබයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධානතම රීතියක් වන්නේ සෑම රටකම ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ නිලධාරීන් විසින් පාලනය විය යුතු බවයි. එහිදී රජයේ හෝ දේශපාලන අධිකාරියේ සෘජු මැදිහත්වීම් නොතිබිය යුතු බවයි.
වත්මන් අර්බුදය සහ නිලවරණය
පැරණි පාලක මණ්ඩලය ඉල්ලා අස්වීම: මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා රැසක් මැද, 2026 අප්‍රේල් මාසයේදී එවකට සිටි ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුවට සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සිදු විය.
ඉන්පසු ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යාම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ රජය මැදිහත් වී “පරිවර්තන කමිටුවක්” (Transformation Committee) පත් කරන ලදී.
අන්තර්කාලීන කමිටු මඟින් ක්‍රිකට් පාලනය කිරීම ICCය දිගින් දිගටම අනුමත නොකරයි. එම නිසා ශ්‍රී ලංකාවට ස්ථාවර සහ පිළිගත් ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් කරගැනීම සඳහා කඩිනමින් “නිලවරණයක්” පැවැත්වීම අත්‍යවශ්‍ය වී තිබේ.
නව ව්‍යවස්ථා සංශෝධනය
සිදත් වෙත්තිමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් කමිටුව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරමින් සිටී.
පැරණි ව්‍යවස්ථාවට අනුව ක්‍රිකට් නිලවරණවලදී විශාල වශයෙන් දූෂණ සහ ඡන්ද මිලදී ගැනීම් සිදුවන බවට චෝදනා එල්ල විය. නව ව්‍යවස්ථාවේ අරමුණ වන්නේ ඡන්ද අයිතිය ඇති ක්‍රිකට් සමාජ සංඛ්‍යාව සීමා කර, වඩාත් විනිවිදභාවයකින් යුත් සාධාරණ නිලවරණයක් පැවැත්වීමට පරිසරය සකස් කිරීමයි.
මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත මෙම මස අවසානයේදී පාර්ලිමේන්තුවට සහ ICC ආයතනය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
නිලවරණය පවත්වන්නේ කවදාද?
රජය සහ පරිවර්තන කමිටුව සැලසුම් කර ඇත්තේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සියල්ල නීත්‍යානුකූලව අවසන් කිරීමෙන් පසුව, ICCයේ ද අධීක්ෂණය යටතේ නිලවරණය පවත්වා ස්වාධීන පාලක මණ්ඩලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් බලය පැවරීමටයි.
ඉදිරි පියවර
පළමු පියවර: මෙම ජූනි මස අවසානය වන විට නව ව්‍යවස්ථා කෙටුම්පත අනුමැතිය සඳහා ICC ආයතනය වෙත සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ.
දෙවන පියවර: පාර්ලිමේන්තුවේදී එය නව ක්‍රිකට් පනතක් ලෙස සම්මත කර නීතිගත කරනු ලබයි.
තෙවන පියවර: නව ව්‍යවස්ථාවට අනුකූලව, ඉතාමත් විනිවිදභාවයකින් යුත්, දූෂණයෙන් තොර නව ක්‍රිකට් නිලවරණයක් පවත්වා නිල බලය ඡන්දයෙන් පත්වන ස්වාධීන මණ්ඩලයකට පවරනු ඇත.
2023 නොවැම්බර් මාසයේ සිදු වූ ICC තහනම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දුන් ලොකුම අර්බුදය වාර්තා වූයේ 2023 නොවැම්බර් 10 වැනිදාය. එහිදී ICC විධායක මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ICC සාමාජිකත්වය අත්හිටුවීමට (Suspend) තීරණය කරනු ලැබීය.
ICC ව්‍යවස්ථාවට අනුව, සෑම රටකම ක්‍රිකට් පාලක මණ්ඩල රජයේ හෝ දේශපාලන බලපෑම්වලින් තොරව, ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුය. නමුත් 2023 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පසුබෑමත් සමඟ, එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සමස්ත ක්‍රිකට් විධායක කමිටුවම විසුරුවා හැර, අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “අන්තර්කාලීන කමිටුවක්” (Interim Committee) පත් කරන ලදී.
මෙම සෘජු දේශපාලන මැදිහත්වීම හේතුවෙන් ICCය විසින් ශ්‍රී ලංකාව වහාම තහනම් කිරීමට පියවර ගනු ලැබීය.
ICC සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවට හිමි ඡන්ද බලය සහ අරමුදල් (Funds) තාවකාලිකව අත්හිටුවන ලදී.
2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ “අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය” (Under-19 World Cup) සත්කාරකත්වය ලංකාවට අහිමි වූ අතර, ICCය විසින් එය දකුණු අප්‍රිකාව වෙත මාරු කරන ලදී.
තහනම ඉවත් කළේ කවදාද?
පසුව ශ්‍රී ලංකා රජය විසින් අන්තර්කාලීන කමිටුව ඉවත් කර, නිලවරණයෙන් පත් වූ නිලධාරීන්ට නැවත පරිපාලන බලය පැවරීමට කටයුතු කිරීමෙන් පසු, මාස දෙකකට පමණ පසු එනම් 2024 ජනවාරි 28 වනදා ICCය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්ව තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.
Also Read: ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවලා ද ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ICC සභාපති ජේ ශා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී “ජූලි 31ට පෙර නිලවරණය නොපැවැත්වුවහොත් Blacklist කරනු ඇත” යැයි සෘජුව අනතුරු අඟවා ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට්, ජනපති මාධ්‍ය ඒකකය මෙම නිශ්චිත චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර ජේ ෂා මහතා ගේ නිල කිසිඳු ප්‍රකාශයක මේ පිලිබඳ සඳහන් වන්නේ නැහැ.


