මෝටර් රථයේ එයාර්බෑග් ගණන මත බදු අය කරන ක්‍රමයක්?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

වාහන ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව මේ වන විට වාහන 451,770ක් ආනයනය කර තිබෙන බව ත්, එමගින් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 441ක ආදායමක් රජය බලාපොරොත්තු වුවත් මේ වන විට රුපියල් බිලියන 904ක ආදායමක් හිමි ව ඇති බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වන දා අනාවරණය කළා.  

මෙවන් පසුබිමක ආනයනය කරන වාහනවල ඇති එයාරබෑග් ගණන මත බදු වැඩි කර ඇති බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වූ අතර මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අපේ රට කොයිතරම් මිනිස්සු ගැන හිතනවද කිව්වොත්, කාර් එකේ තියන එයාබෑග් ගාන ගණන් කරලා බදු ගහනවා. ඒ නිසා කාර් කාරයෝ  තියන ඒවත් ගලෝලා දෙන්නේයනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අප වෙත ඉල්ලීම් ලැබී තිබුණු අතර මේ පිළිබඳව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ශ්‍රී ලංකාවේ වාහන බදු ව්‍යුහය

1. නිල බදු 

ශ්‍රී ලංකාවේ වාහන ආනයන බදු ව්‍යුහය ප්‍රධාන බදු අංග 6ක් මත පදනම් වේ. මෙම බදු කිසිවක්ම වායු බෑග (Airbags) වැනි ආරක්ෂක ලක්ෂණ මත සෘජුවම පදනම් වී ඇති බවක් දක්නට නොලැබේ.

බදු අංගයබදු අනුපාතයපදනම
Customs Import Duty (CID)CIF අගයේ 20%සියලුම වාහන සඳහා සමාන ලෙස අදාළ වේ
Surcharge (අතිරේක බදු)CID මුදලේ 50%මෙය CID හි සත්‍ය බලපෑම 30% දක්වා වැඩි කරයි
Excise Duty (XID)CIF අගයේ 50% – 300%එන්ජිමයේ ධාරිතාව (cc) සහ වාහන වයස මත පදනම් වේ
Luxury Tax (LXT)60% – 120%CIF අගය රු. මිලියන 5–6 ඉක්මවන වාහන සඳහා පමණක්
Value Added Tax (VAT)18%සමස්ත බදු පදනමට අදාළ වේ
Other Levies (වෙනත් ගාස්තු)වෙනස් වේවරාය හා ගුවන් තොටුපළ සංවර්ධන ගාස්තු, SSCL ආදිය


මෙම බදු කාණ්ඩ කිසිවක්ම වාහනයේ එයාර්බෑග් සංඛ්‍යාව හෝ එයාර්බෑග් තිබීම හෝ නොතිබීම මත තීරණය වන බවක් දක්වා නොමැත.

Excise Duty (XID): වාහන මිල වැඩිවීමට ප්‍රධානම හේතුව

Excise Duty (XID) යනු ශ්‍රී ලංකාවේ වාහන ආනයනයේදී අයකරන විශාලතම බදු අගය වේ.

මෙම බද්ද වාහනයේ ආරක්ෂක ලක්ෂණ (එයාර්බෑග් වැනි) මත නොව, එන්ජිමයේ ධාරිතාව (cubic centimeters – cc) මත පමණක් ගණනය කරයි.

වාහන වර්ග අනුව බදු බර සැසඳීම

ශ්‍රී ලංකාව ලෝකයේම ඉහළම වාහන ආනයන බදු බරක් ඇති රටවලින් එකකි.

වාහන වර්ගයසම්පූර්ණ බදු බර (CIF අගයට සාපේක්ෂව)
පෙට්‍රල් වාහන (≤1,500cc)300% – 400%
පෙට්‍රල් වාහන (>1,800cc)400% – 500%
ඩීසල් වාහන320% – 450%
හයිබ්‍රිඩ් වාහන200% – 300%
විදුලි වාහන (EV)100% – 200%

wealthyislander

2013 වාහන අගය තක්සේරු කිරීමේ විවාදය 

ශ්‍රී ලංකාවේ වාහන ආනයන බදු හා ආරක්ෂක ලක්ෂණ (එයාර්බෑග් වැනි) සම්බන්ධයෙන් කතාබහට ලක් වූ එකම ලිඛිතව වාර්තා වූ අවස්ථාව සිදුවූයේ 2013 නොවැම්බර් මාසයේදීය.

ඒ 2013 දී The Sunday Times පුවත්පත විසින් ශ්‍රී ලංකා ආනයන රේගුව විසින් වාහන අගය තක්සේරු කිරීමේදී, අමතර එයාර්බෑග්,ආරක්ෂක ඇලාම් පද්ධති,වෙනත් අමතර (optional) විශේෂාංග වාහනයේ වටිනාකමට එකතු කර ආනයන බදු වැඩි කරමින් සිටින බවට චෝදනා කරමින් පුවතක් වාර්තා කිරීමයි.

මෙය එයාර්බෑග් සඳහා වෙනම බද්දක් හෝ එයාර්බෑග් ගණන මත බද්දක් අය කිරීමේ නිල ප්‍රතිපත්තියක් නොවීය.

මෙහි සිදුවී තිබුණේ, වාහනයේ අමතර විශේෂාංග වාහනයේ මුලික අගය තක්සේරු කිරීමේදී රේගු නිලධාරීන් විසින් අධික අගය කිරීමක් (over-valuation) සිදු වීම පිළිබඳ විවාදයක් ලෙසයි.

එනම්, එය බදු ව්‍යුහය වෙනස් කිරීමක් නොව අගය තක්සේරු කිරීමේ ක්‍රමය පිළිබඳ ගැටලුවක් පමණි.

මෙම විවාදය පසුව Customs Valuation Committee විසින් විමර්ශනය කර, නිර්දේශ ඉදිරිපත් කර තිබුණු අතර වාහන අගය තක්සේරු කිරීම, වාහන මොඩලය ,වාහනයේ කාලය, භාවිත තත්ත්වය මත පදනම් විය යුතු බව ත්, එහි එයාර්බෑග් වැනි එක් එක් අමතර විශේෂාංග වෙන වෙනම ගණනය නොකළ යුතු බව ත්ය.

BYD ATTO 3 – මෘදුකාංග විශේෂාංග (Software Features) මත පදනම් වූ බදු විවාදය

2023–2024 කාලය තුළ, ශ්‍රී ලංකාව තුළ BYD ATTO 3 විදුලි වාහනය සම්බන්ධයෙන් software-based features (software හරහා ක්‍රියාත්මක වන අංග) මත බදු ගණනය කළ යුතුද යන්න පිළිබඳ විවාදයක් ඇති විය.

විවාදයේ මූලික ගැටලු වූයේ, වාහනයක් තුළ hardware ලෙස දැනටමත් පවතින, නමුත් software හරහා enable/disable කළ හැකි විශේෂාංග (උදා: driver-assist systems) වාහන අගය හා බද්දට ඇතුළත් කළ යුතුද යන්නයි.

නමුත් මෙහිදී  මෘදුකාංග විශේෂාංග මත බදු ගණනය කිරීම පිළිබඳ විවාදයක් මිස, ආරක්ෂක උපකරණ (airbags, ABS වැනි) මත නව බදු ක්‍රමයක් නොවේ.එනම්,

BYD ATTO 3 case එක “airbag tax” වැනි උපාංග සඳහා සෘජුව සම්බන්ධ නොවේ.

2018 වාහන ආනයන තහනම් කිරීම පිළිබඳ නිවේදනය

2018 ජනවාරි 19 වැනි දින ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය විසින්,
එයාර්බෑග් නොමැති වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Euro IV හෝ ඊට සමාන විමෝචන ප්‍රමිතීන්ට අනුකූල නොවන සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවන මෝටර් රථ ආනයනය 2018 ජූලි 01 වන දින සිට සම්පූර්ණයෙන්ම තහනම් විය.

මෙය බදු ගණනය කිරීමේ අංගයක් නොවන අතර වාහනය ආනයනය කිරීමට අවසර ලැබීමට අවශ්‍ය සුදුසුකමක් (import eligibility requirement) පමණි.

මුදල් අමාත්‍යාංශය විසින්, වාහන ආනයනය සඳහා අනිවාර්ය කළ ආරක්ෂක ප්‍රමිතීන් පැහැදිලිව සඳහන් කරනු ලැබුවා. 

2018 ජූලි / 2019 ජනවාරි සිට අනිවාර්ය වූ ආරක්ෂක අවශ්‍යතා

  • රියදුරු සහ ඉදිරි අසුනේ ගමන්කරුවන් සඳහා
    සම්මත එයාර්බෑග් (Driver & Front Passenger Airbags)
  • සියලුම රෝද සඳහා ABS (Anti-Lock Braking System)
  • ඉදිරි හා පසු සියලුම අසුන් සඳහා තුන් ආසන පටි (Three-point seat belts) (මැද පසු අසුන හැර)
  • Euro IV හෝ විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වීම හෝ ඊට සමාන වීම.

ඒ අනුව මෙම අවශ්‍යතා සපුරා නොමැති වාහන ආනයනයට අවසර නොලැබේ.

මේ සම්බන්ධයෙන් පළ වූ ගැසට් නිවේදන මෙතනින් සහ මෙතනින්.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනයේදී සිදු කරන බදු අයකිරීම්

CID (වටිනාකම මත 20%)

Surcharge (CID හි 50%)

Excise Duty (cc අනුව වෙනස් වේ)

Luxury Tax (වටිනාකම ඉක්මවුවහොත්)

VAT (18%)

වරාය ගාස්තු සහ වෙනත් ගාස්තු

2025 ජනවාරි 31 වන දින, රජය විසින් 2022 සිට ක්‍රියාත්මක වූ වාහන ආනයනය සඳහා තාවකාලික අත්හිටුවීම ඉවත් කරන ලදී. 2025 ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම තුළ ද, එයාර්බෑග් සම්බන්ධ නීති ආනයන සුදුසුකමක් (eligibility requirement) ලෙසම පවතී. එයාර්බෑග් මත පදනම් වූ නව බදු ක්‍රමයක් හඳුන්වා දී නැත.

ශ්‍රී ලංකාවේ එයාර්බෑග් ඉවත් කිරීම පිළිබඳ සාක්ෂි නොමැත

  • කැබිනට් තීරණ, ගැසට් නිවේදන, මාධ්‍ය වාර්තා නොමැත

2026 ජනවාරි වනවිට දී හෝ එයාර්බෑග් මත බදු අය කරන බව ට කිසිදු නීතිමය තීරණයක් ගෙන නොමැත. ගැසට් නිවේදන, කැබිනට් තීරණ හෝ නොමැත.

මෙවැනි තීරණයක් ගෙන තිබුණේ ද, යන්න අප ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මාධ්‍ය අංශයෙන්ද , විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ මෙය අසත්‍ය පුවතක් බවයි.

එමෙන් ම කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් මෙවැනි පුවතක් වාර්තා කර නොමැත.

  • ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

මෙම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, වාහන වල එයාරු බෑග් සඳහා බදු ගැසීමේ ක්‍රම වේදයක් නොමැති බව ත්, මෙය අසත්‍ය තොරතුරක් බවයි.

  • වාහන ආනායනකරුවන්

අප මේ පිළිබඳව වාහන ආනායනකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් විමසා සිටි අතර ඔවුන් පවසා සිටියේ, එයාර්බෑග් සඳහා බදු අය කර ගන්නා බවට හෝ ඒ හේතුවෙන් ආනයනය කරනු ලබන වාහන වල එයාර්බෑග් ඉවත් කිරීමක් හෝ සිදු කිරීමක් නොවන බව ත්, මෙය අසත්‍ය තොරතුරක් බව ත්ය. 

  • රේගුව

ශ්‍රී ලංකා රේගුවේ  මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විසින් පවසා සිටියේ, ආනයනය කරන වාහන වල ඇති එයාර්බෑග් මත පදනම්ව බදු අය නොකරන බවයි. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර රෙුගුවේ මෝටර් රථ වාහන අංශය විසින් තහවුරු කළේ, එයාර්බෑග් කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න පිළිබඳ  බදු අය කිරීමේදී සැලකිල්ලක් හෝ නොදක්වන බවයි.

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව

මෝටර් රථ ප්‍රවාහන වැඩබලන කොමසාරිස් ජනරාල් මුතුකුමාර මහතා සඳහන් කළේ, එයාර්බෑග් ගණන සම්බන්දු බදු ක්‍රමයක් පිළිබඳ තීරණයක් ගැන දැනුවත් නොමැති බවයි. 

  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 

මිලදී ගන්නා වාහන වල එයාර්බෑග් ඉවත් කිරීම් කර ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී ඇත්දැයි යන්න පිළිබඳ අප එම අධිකාරියෙන් විමසීමක් කළ අතර, ඔවුන් පැවසුවේ, ඒ සම්බන්ධ පැමිණිලි කිසිවක් ලැබී නොමැති බවයි.

  • පොලිස් මාධ්‍ය කොට්ඨාශය

බදු ගැසීම හේතුවෙන් වාහන වල එයාර්බෑග් ඉවත් කිරීම පිළිබඳ පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇත් ද, යන්න පිළිබඳ අප විමසා සිටි අතර එවැනි පැමිණිලි ලැබී ඇති බවට වාර්තා නොවන බවයි.

ඒ අනුව සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි වාහන වල  එයාර්බෑග් සඳහා බදු ගසා ඇති බවට හෝ එ්වා ඉවත් කර ඇති බවට කිසිදු ලිඛිත හෝ ප්‍රායෝගික සාක්ෂියක් නොමැත.

එයාර්බෑග් සංඛ්‍යාව මත පදනම් වූ බදු ප්‍රතිපත්ති ඇති රටවල්

ලෝකයේ එයාර්බෑග් සංඛ්‍යාව මත පදනම් වූ බදු ප්‍රතිපත්තියක් ලිඛිතව වාර්තා වූ එකම රට වන්නේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලයේ “Safety Accessories Tax Reduction” ක්‍රමය එයාර්බෑග් සංඛ්‍යාව ඇතුළු ආරක්ෂක උපකරණ අනුව බදු අඩු කිරීමක් (tax reduction / incentive) ලබා දෙන ක්‍රමයක් පවතී.

මෙය එයාර්බෑග් තිබීම සඳහා බදු වැඩි කිරීමක් නොව, එයාර්බෑග් වැඩිවීම , ආරක්ෂාව වැඩිවීම සඳහා බදු අඩු කිරීමක් වේ.

ලෝකයේ වාහන බදු ගණනය කරන ප්‍රධාන පදනම්

බොහෝ රටවල වාහන ආනයන බදු / වාහන බදු ක්‍රමයන් ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ,

වාහනයේ වටිනාකම (vehicle value)

එන්ජිම ධාරිතාව (engine displacement / cc)

කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, වාහන වටිනාකම (CO₂ emissions, vehicle value)

වාහනයේ බර (weight)

වාහන වර්ගය (vehicle type)

මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

සමාජ මාධ්‍යවල පැතිර යන වාහනයේ එයාර්බෑග් සංඛ්‍යාව අනුව බදු වැඩි කර ඇති බව ත්, ඒ හේතුවෙන් වාහන අයිතිකරුවන් වාහන වල එයාර්බෑග් ඉවත් කර විකුණන බවට ත්, පළ වූ සටහන් අසත්‍ය වේ. මෙ‍ෙ තහවුරු කරන ශ්‍රී ලංකාවේ නිල නීතිමය නිවේදනයක් හෝ රජයේ ගැසට් නිවේදනයක් හෝ ප්‍රතිපත්ති ලේඛනයක් නිකුත් වී නොමැත. එමෙන් ම එවැනි තීරණයක් ගෙන නොමැති බවට අදාළ පාර්ශවයන් ද, තහවුරු කරනු ලබයි.ලෝකයේද එයාර්බෑග් සංඛ්‍යාව මත බදු ගණනය කරන බවට ලිඛිතව වාර්තා වී ඇති එකම රට ලෙස සඳහන් වන්නේ ඊශ්‍රායලය පමණක් වන අතර, එහිදීද එයාර්බෑග් වැඩි වීම සඳහා බදු වැඩි කිරීමක් නොව, ආරක්ෂාව වැඩි වාහන සඳහා බදු අඩු කිරීමක් (tax incentive) ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

Avatar

Title:මෝටර් රථයේ එයාර්බෑග් ගණන මත බදු අය කරන ක්‍රමයක්? 

Fact Check By: Pavithra Sandamali  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *