
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
තේසවලාමේ නීතිය සහ ෂරියා නීතිය එකතු මෙරට නීති පද්ධතියට එකතු කරන බව, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් පසුගිය දින කිහිපය පුරාවටම, සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
‘Unews’ නම් පුවත්පතක පළකර තිබු පුවතක් බව හඟවමින්, අදාළ ඡායාරුප සටහන පළකර තිබු අයුරු පහතින්.

අදාල සටහන සමාජ මාධ්‍ය තුළ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්


නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ආගමික සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් මහතා විසින් එවැන්නක් ප්‍රකාශ කරන ලද බවට කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර තිබුණේ නැහැ.
එසේම ඉහත සමාජ මාධ්‍ය සටහන පුවත්පතක පළ වූ ලිපියක් බවට හැඟවෙන ආකාරයට නිර්මාණය කර තිබුණද, U News නමින් කිසිදු ජාතික පුවත්පතක් මෙරට තුළ ක්‍රියාත්මක නොවේ. එසේම එම ලිපියේ අක්ෂර වින්‍යාසයේ ද විවිධ දෝෂ හඳුනාගත හැකියි. එසේම අදාළ ලිපියේ එක් තැනක නියෝජ්‍ය ඇමති මුනිර් මහතා බෞද්ධ කටයුතු නියෝජ්‍ය ඇමති ලෙසත්, තවත් තැනක ආගමික සහ සංස්කෘතික ඇමති ලෙසත්, ආකාර දෙකකින් දක්වා ඇත.

මෙරට ජාතික පුවත්පතක හෝ නිල විශ්වාසනීය මාධ්‍යයක එවැනි දෝෂ තිබීමේ සම්භාවිතාව ඉතා අවම බැවින් මෙය ඩිජිටල් ලෙස කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කිරීමේ හෝ සංස්කරණය කිරීමේ ඉහළ සම්භාවිතාවයක් ඇති බව අනුමාන කළ හැක.
කෘතිම බුද්ධිය ඔස්සේ සිදුකරන නිර්මාණ පරික්ෂා කරන මෙවලම් කිහිපයකින්ම පෙන්වා දෙන්නේ ද අදාළ ඡායාරූප සටහන, AI නිර්මාණයක් බවයි.


මොහොමඩ් මුනීර් මහතා බෞද්ධ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නොව ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයාය
අදාල සටහනෙහි මොහොමඩ් මුනිර් නියෝජ්‍ය අමාත්‍යවරයා බෞද්ධ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලෙස සහ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ස්ථාන දෙකක දෙයාකාරයකින් හඳුන්වා ඇත. නමුත් සැබෑ ලෙසම මොහොමඩ් මුනීර් මහතා කටයුතු කරනුයේ බෞද්ධ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස නොව ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙනි.

Also read: මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද?
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බොහොමඩ් මුනීර්
අප විසින් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් විමසීමක් කළ අතර, එහිදී තහවුරු වූයේ මෙම සටහන අසත්‍ය සටහනක් බව ත් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ය.
මාධ්‍ය ලේකම් – අධිකරණ අමාත්‍ය
මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කලා. එහිදී ඔහු විසින් සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි පවසන ආකාරයේ කිසිඳු හෝ ආකාරයේ කරුණක් සම්බන්ධයෙන් කතාබහක් ඇතිවී නොමැති බවයි.
තේසවලාමේ සහ මුස්ලිම් පෞද්ගලික නීතිය: මූලික කරුණු
දැනටමත් ක්රියාත්මකව පවතින, මෙම නීති මොනවාද?
මෙම නීති දෙකම ශ්‍රී ලංකාවේ දැනටමත් ජාතික නීති සංග්‍රහයේ ලේඛනගත වී ඇත. ඒවා අලුතින් යෝජිත හෝ විදේශීය නීති නොවේ. තේසවලාමේ (දෙමළ: “ඉඩමේ සිරිත්”) 1806 බ්‍රිතාන්‍ය නීතිය (Regulation No. 18) යටතේ යාපනය දෙමළ ජනතාවට ක්‍රියාත්මක වන අතර, විවාහ දේපළ අයිතිය, උරුමය, සහ ඉඩම් මිලට ගැනීමේදී ඥාතීන්ට ලැබෙන ප්‍රමුඛතා අයිතිය (pre-emption) යන ක්ෂේත්‍ර ආවරණය කරයි. 1988 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් මෙය, උතුරු පළාතේ ජන්ම බිම ඇති, දිවයිනේ ඕනෑම තැනක ජීවත් වන සියලු දෙමළ ජනතාවටත් අදාළ බව තහවුරු විය.
1951 මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව (ජනගහනයෙන් ≈9.7%) ආවරණය කරන අතර, විවාහය, දික්කසාදය, බහු විවාහය, සහ දේපළ උරුමය යනාදිය කාතී උසාවි 65 ක් ඔස්සේ පාලනය කෙරේ. MMDA යනු සෘජු ශරියා නීතිය නොවේ, එය ශරියා මූලධර්ම, ලන්දේසි යුගයේ ඉස්ලාමීය නීති, සහ ඉංග්‍රීසි ක්‍රියාවලි නීති අන්තර්ගත ජාත්‍යාන්තර යටත් විජිත සංකරයකි.
මෙම නීති ‘ජාතික නීති‘ද?
මෙම නීති දෙකම ජාතික නීති සංග්රහයේ කොටසකි, නමුත් නිර්වචිත ප්රජාවන්ට පමණක් බලපාන පෞද්ගලික නීති ලෙස ක්‍රියාත්මක වේ. Global Press Journal සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකාව රෝමානු-ලන්දේසි පොදු නීතිය (සියලු පුරවැසියන්ට), කන්දේ නීතිය (කන්දේ සිංහල ජනයාට), තේසවලාමේ (උතුරු දෙමළ ජනයාට), සහ MMDA (මුස්ලිම් ජනයාට) යනාදී නෛතික බහුවාදී ක්‍රමයක් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව “මෙම නීති රටේ නීතියට එකතු කරන” බව ඇමතිවරයා ප්‍රකාශ කළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශය, පදනම් විරහිතය. එනම් මෙම නීති දැනටමත් ශ්‍රී ලංකාවේ නීතිය තුළ පවතී. නමුත් මුස්ලිම් පෞද්ගලික නීතිය කිසිදා මුස්ලිම් නොවන කෙනෙකුට අදාළ වී නොමැත; එසේම තේසවලාමේ නිතිය ද, දමිළ නොවන වෙනත් ජනතාවට ද බල පැවැත්වෙන්නේ නැහැ.
එනම් මෙම නීති, සිංහල හෝ බෞද්ධ ජනතාවට බලපාන ආකාරයෙන් ව්‍යාප්ත කිරීමේ කිසිදු යෝජනාවක් අතීතයේ හෝ වර්තමානයේ ඉදිරිපත් වී ද නොමැත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තේසවලාමේ නීතිය සහ ෂරියා නීතිය මෙරට නීතියට එක් කරන බවට, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් විසින් ප්‍රකාශ කරන ලද බව දක්වමින් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සංස්කරණ කළ, අසත්‍ය සටහන් පෙළක් බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම අධිකරණ අමාත්‍යංශය මෙම කරුණු තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා.තේසවලාමේ සහ මුස්ලිම් පෞද්ගලික නීතිය, දැනටත් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අදාළ ප්‍රජාවන්ට පමණක් බලපාන නීති ලෙස පමණි.


