දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සමගි ජන බලවේගය පක්ෂයෙන් උතුරුමැද පළාත් සභාව සඳහා තරග කිරීමට යම් සූදානමක් පවතින බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පොලොන්නරුව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් සමඟ ශවේන්ද්‍ර සිල්වා පෙනී සිටි ඡායාරුපයක් සමඟ, මෙම සටහන් ඇතැම්විට හුවමාරු වී තිබුනේ, ඔවුන් දෙදෙනාගේ ඇති නෑකමක් ද සඳහන් කරමින්.


Facebook | Archived Link Facebook | Archived Link
මෙහි නිර්වද්‍යතාව සොයා බලන ලෙස පාඨක ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගි ජන බලවේගය සමගින් එකතුවන බවට හෝ ඔහු ඉදිරියේදී, උතුරු මැද පළාතින්, තරඟ කරන බවට හෝ කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා කර ඇත්ද, යන්න පරීක්ෂා කිරීමේදී එවැනි පුවතක් පළ වී නොමැති බව නිරීක්ෂණය වුණා.
ඒ හේතුවෙන් මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීමට, මේ වන විටත් ආරාධිත දේශන කිහිපයක් පැවැත්වීම සඳහා විදේශගතව සිටින, හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා.
හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මෙම සටහන් සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි. එවැනි කිසිදු තීරණයක් තමන් ගෙන නොමැති බව ත්, මේ ගැන විමසමින් බොහෝ දෙනෙකු තමන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන බව ත්, මෙය කිසිදු පදනමක් නොමැති කටකතාවක් බවයි හිටපු යුද හමුදාපතිවරයා තහවුරු කළේ.
සමගි ජන බලවේගය
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, මෙය අසත්‍ය තොරතුරක් බව ත්, හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වන බවට කිසිදු දැනුම්දීමක් හෝ සිදු කර නොමැති බව ත්, ඔවුන් පවසා සිටියා.
ඒ අනුව මේ වන විට දෙපාර්ශවය විසින් සිදු කරන ලද නිල තහවුරු කිරීම් මත මෙම පුවත අසත්‍ය බවට පෙන්වා දිය හැක.
සමගි ජන බලවේගයේ නෙල්සන් සහ ශවේන්ද්‍ර සිල්වාගේ හැඳුනුම්කම
හේවා ගජමන් පත්තිනිගේ කිංස් කුමාර් නෙල්සන් හෙවත් කේ. කේ. එස්. නෙල්සන් යනු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ සමගි ජන බලවේගයේ (SJB) හිටපු මන්ත්‍රීවරයෙකි.
ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද විය. 1956 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වූ නෙල්සන් මහතා පොළොන්නරුව නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු 1977 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ. ඒ. ලීලාරත්න විජේසිංහ මහතා පරාජය කරමින් පොළොන්නරුව ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. අනතුරුව 1994 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ද ඔහු නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1978 වසරේදී ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. ඔහුගේ පුත් කිංස් නෙල්සන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහුගේ දියණිය වන සුජීවා නෙල්සන් විවාහ වී සිටින්නේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් උතුරුමැද පළාත් සභාව සඳහා තරග කිරීමට යම් සූදානමක් පවතින බව ට සඳහන් කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන් ම සමගි ජන බලවේගය සඳහන් කරන්නේ, එම තොරතුර කිසිදු පදනමක් නොමැති අසත්‍ය සටහනක් බවයි.


