උපයනවිට බද්දෙන් මාස 3ට හොයපු කෝටි 694න් කෝටි 36ක් දත්ත පද්ධතියේ නොමැති ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

පසුගිය සමයේ, රජයේ දෙපාර්තමේන්තු සහ අනුබද්ධිත ආයතන කිහිපයකම වංචනික මුල්‍ය ගනුදෙනු වාර්තා වීමත් සමඟ, බොහෝ රාජ්‍ය ආයතනය තුළ මුල්‍ය පාලනය සහ විගණන කටයුතු පිළිබඳව අවධානය යොමු වේ තිබේ.

එවන් පසුබිමක, ‘උපයනවිට බද්දෙන් මාස 3ට හොයපු කෝටි 694න් කෝටි 36ක් දත්ත පද්ධතියේ නැති’ බව සඳහන් කර තිබූ පුවත් ලිපියක සේයාරූවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙය මෑතකදී වූ සිදුවීමක් බවට ඉන් අඟවා තිබුණා. මෙම පුවතේ සත්‍ය විමසා බැලීමට අප කටයතු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Fb| Fb| Fb

ඇතැම් පිරිස් මෙම ලිපිය සඳහා ප්‍රතිචාර දක්වා තිබුණේ, මෑතකදී වූ සිදුවීමක් ලෙසට උපකල්පනය කරමින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

උපයන විට බද්දෙන් මාස 3කට හොයපු කෝටි 694න් කෝටි 36ක් දත්ත පද්ධතියේ නොමැති බවට සිදුවීමක් මෑතකදී වාර්තා වී ඇත් ද යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව මෑතකදී එවැනි පුවතක් වාර්තා වී නොමැති බවට නිරීක්ෂණය විය.

කෙසේනමුත් 2023 වසරේ අප්‍රේල් 04 වන දා මව්බිම පුවත් පත  විසින් ඉහත සඳහන් ආකාරයේ පුවතක් වාර්තා වී ඇති බව ට දැක ගන්නට ලැබුණා.

2023 මුල් මාස තුනේ උපයන විට බදු ලෙස එකතු වූ රුපියල් කෝටි 694න්, රුපියල් කෝටි 36ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ සටහන් වී නොමැති බව එම පුවත්පත පමණක් වාර්තා කළ පුවතක් වේ. ඔවුන් එහිදී සඳහන් කරනු ලබන්නේ, එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ පිළිබඳ තොරතුරු ‘මව්බිම’ට පැවසූ බවටයි.

එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය වූයේ රංජිත් සියඹලාපිටිය වන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණ රජයක් එම කාලයේ දී ආණ්ඩුව හොබවනු ලැබීය.

කෙසේ වෙතත් මෙහි වැඩිදුර විමර්ශන සිදු වන බවට වාර්තා වේ.

එමෙන් ම 2023 වසරේ ඒ පිළිබඳ පුවත් ඉදිරිපත් කරන වැඩ සටහන් හරහා දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. එසේම මව්බිම වාර්තාවම News19 නම් වෙබ් අඩවියක ද පළකර තිබුනේ මෙලෙසින්.

මෙලෙස අතුරුදහන් වූ බව කියන කෝටි 36 සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක්, විමර්ශන ප්‍රතිඵලයක් හෝ නිල පැහැදිලි කිරීමක් 2023, 2024 හෝ 2025 වසරවලදී කිසිදු ප්‍රධාන ධාරාවේ වාර්තා වී නැත. මේ ගැන අප දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් සිදුකළ අතර ඔවුන්ගේ පිළිතුර සමඟ මෙම ලිපිය යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 පළමු කාර්තුව සඳහා නිකුත් කළ නිල නිවේදනයට අනුව, 2023 ජනවාරි සිට මාර්තු දක්වා APIT ලෙස රුපියල් මිලියන 25,577ක් (කෝටි 2557.7ක් පමණ) එකතු කර ඇති අතර, ආදායම මාසිකව ඉහළ ගොස් තිබූ බව වාර්තා වී තිබුණි. ඒ 2023 ජනවාරියේ කෝටි 310.6ක්, පෙබරවාරියේ කෝටි 1054ක් සහ මාර්තු මස කෝටි 1193.1 ලෙසයි. ඒ අනුව නිල වශයෙන් වාර්තා වූ මෙම සංඛ්‍යා ද සමාජ මාධ්‍ය සටහනේ හෝ මව්බිම වාර්තාවේ දැක්වෙන 2023 පළමු කාර්තුවේ “කෝටි 694ක් එකතු වී කෝටි 36ක් අතුරුදහන්” යන අගයන් සමඟ නොගැළපේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 36ක් දේශීය දත්ත පද්ධතියේ සටහන් වී නොමැති බවට සිදුවීමක් වාර්තා වී ඇත් ද, යන්න පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරියගෙන් අප විමසීමක් කරනු ලැබුවා. ඇය පැවසුවේ, එවැනි සිදුවීමක් මෑතකදී සිදුව නොමැති බව කොමසාරිස් ජනරාල්වරිය විසින් තහවුරු කළ බවයි. 

උපයන විට බද්ද (PAYE) යනු සේවකයෙකු ලබන මාසික වැටුපෙන් සේවා යෝජකයා විසින් මාසිකව අඩු කර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු වර්ගයකි. මෙම බද්ද 2020 ජනවාරි 01 සිට අහෝසි කොට ස්වේච්ඡා APIT ක්‍රමයක් ලෙස හඳුන්වා දෙන ලද අතර, 2023 ජනවාරි 01 සිට එම අහෝසි කිරීම ඉවත්කර, නැවත අනිවාර්ය කරන ලදී. මෙම බද්ද අදටත් පොදුවේ PAYE ලෙස ව්‍යවහාරයේ යෙදෙනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, උපයන විට බද්දෙන් මාස 3කට හොයපු කෝටි 694න් කෝටි 36ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ නොමැති බවට දක්වමින්, වර්තමාන සිදුවීමක් බවට හඟවා හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්, නොමග යවන සුළු බවයි. එය 2023 වසරේ වූ සිදුවීමකි. වර්තමානයේ එවැනි දත්ත පද්ධතියේ ආදායම් හිඟ වීම් කිසිවක් වාර්තා වී නොමැති බව එම දෙපාර්තමේන්තුව ද, තහවුරු කරනු ලබනවා.

Result Stamp

Title: උපයනවිට බද්දෙන් මාස 3ට හොයපු කෝටි 694න් කෝටි 36ක් දත්ත පද්ධතියේ නොමැති ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *