දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස හඟවමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් සහ මෙරටදී පැවැත්වීමට නියමිත සාම පාගමන සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශ ලෙස හඟවමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර තිබූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඇමැති ධූරයෙන් ඉවත් වුනත් කුමාර ජයකොඩි හිටපු අමාත්‍යවරයා විසින් නිරතුරුවම බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු නිරීක්ෂණය කරමින් සහයෝගය ලබාදෙන බවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

අදාල සමාජ මාධ්‍ය සටහන News 1st ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර, මෙහි සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2025/2026 කාල පරිච්ඡේදය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට දැඩි කතාබහක් පසුගිය දා ඇති වී තිබුණා. බාල ගල් අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එම ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
ගල්අඟුරු ආනයනයේදී සහ ඒ ආශ්‍රිත විදුලි නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදු වී ඇත් ද යන්න විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද අතර, ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අප්‍රේල් 17 වන දා ජනාධිපතිවරයා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ඇමැති ධූරයෙන් ඉවත් වුණත් කුමාර ජයකොඩි මහතා විසින් නිරතුරුවම බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු නිරීක්ෂණය කරමින් සහයෝගය ලබාදෙන බවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සංසරණය වී තිබුණේ මෙවන් පසුබිමකදී ය.
News 1st නිල සමාජ මාධ්‍යයන් ඔස්සේ මෙවැනි සටහනක් පළකර තිබුණේ නැහැ
අදාළ සටහන News 1st ආකෘතියෙන් නිර්මාණය කර තිබූ බැවින් අප විසින් මූලිකවම මෙම සටහන News 1st නිල සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද සටහනක් ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් News 1st නිල සමාජ මාධ්‍යයන් ඔස්සේ මෙවැනි සටහනක් පළකර තිබුණේ නැහැ.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් හෝ වාර්තාකර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ඒ සම්බන්ධයෙ සිදු කළ පරීක්ෂාවේ දී දැකගන්නට ලැබුණේ මෙවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් වාර්තාකර නොමැති බවයි.
News 1st ආකෘතියෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනක්
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Newst 1st ඩිජිටල් අංශය විසින් සඳහන් කර සිටියේ අදාළ සටහන Newst 1st විසින් නිර්මාණය කරන ලද හෝ වාර්තා කරන ලද සටහනක් නොවන බවයි.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල
මෙම සටහන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අදාළ සටහන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහනක් බවයි.

මාධ්‍ය ලේකම් – මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ මාධ්‍ය ලේකම් ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු විසින් සඳහන් කර සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් අදාළ සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද එකක් වන බවත් ය.
මාධ්‍ය ලේකම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්
අමාත්‍ය ධූරයෙන් ඉවත් වුවද හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු නිරීක්ෂණය කරමින් සහයෝගය ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් අප විසින් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ මාධ්‍ය ලේකම් ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි මැදිහත්වීමක් සිදු නොවන බවයි.
Claim 2
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
විදේශීය භික්ෂූන් වහන්සේලාගේ සාම පාගමනයට බාධා විය හැකි වීදි සුනඛයන් කඩිනමින් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශවල උපරිම සහාය ලබා ගැනීමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.



මෙහි සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ලෝක සාමය පතා සිදු කරන ජාත්‍යන්තර මහා සාම පාගමන, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා දින 110ක් පුරා පාගමනේ යෙදුණු භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. මෙම ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩම කළ අතර, අප්‍රේල් මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස මෙම සාම පාගමනෙහි නිරත වීමට නියමිතයි. අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී දක්වා හැතැප්ම 2300ක් පුරා භික්ෂූන් වහන්සේලා සමඟ ගමන් කළ ඉන්දීය සම්භවයක් සහිත වීදි සුනඛයකු වන ‘ආලෝකා’ සුනඛයා ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාම පාගමනට සහභාගී වීම සඳහා අමෙරිකාවේ සිට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ අප්‍රේල් 16 දිවයිනට සම්ප්‍රාප්ත වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
සාම පා ගමනට එක්වන ආලෝකා සුනඛයා වෙනුවෙන් නුවර ප්‍රදේශයේ වීදි සුනඛයින් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අතරතුරයි. කෙසේ නමුත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවන බව Animal Welfare Coalition Sri Lanka (AWC) සංවිධානය විසින් තහවුරු කර තිබුණේ මෙලෙසින්. සාම පාගමනට බාධා විය හැකි වීදි සුනඛයන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශවල සහය ලබාගැනීමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් සටහනක් හුවමාරු වී තිබුණේ මෙවැනි පසුබිමක දීය.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් වාර්තාකර නොමැත
ආරම්භ වීමට නියමිත සාම පාගමන සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවී ඇති පසුබිමක මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් වාර්තාකර නොමැති බව අපට දැක ගන්නට ලැබුණා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෑතක දී සිදුකරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන්ද අප විසින් අවධානය යොමු කළ අතර, පැවැත්වීමට නියමිත සාම පාගමන සම්බන්ධයෙන් මෙවැනි ආකාරයක ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කර ඇති බව එහිදී ද අපට දැකගන්නට ලැබුණේ නැහැ.
අදාළ සමාජ මාධ්‍ය සටහන සඳහා යොදා ගෙන ඇති ඡායාරූපය 2026.01.20 දින නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කැස්බෑව ප්‍රාදේශීය මෙහෙයුම් සභාව සමඟ එක්වෙමින් පැවැති සාකච්ඡාවකදී ලබා ගෙන ඇති ඡායාරූපයක් වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එය පළ කර තිබුණේ මෙලෙසින්.Facebook
මාධ්‍ය ලේකම් – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ මාධ්‍ය ලේකම්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු විසින් සඳහන් කර සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය ඔස්සේ පෙන්වා දෙන්නේ, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යංශයේ කටයුතු නිරීක්ෂණය කරමින් දිගින් දිගටම සහයෝගය ලබා දෙන බවට හෝ මෙරටදී ආරම්භ වීමට නියමිත සාම පා ගමනට බාධා විය හැකි වීදි සුනඛයන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශවල උපරිම සහය ලබා ගැනීමට කටයුතු කරන බවට ප්‍රකාශ කර නොමැති බවයි. අදාළ සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ඒවා බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් ද තහවුරු කළා.


