දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
“ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා කල ලංකාවේ මහණ වූ සැබෑ කතාව” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා. ඔහු ලංකාවේදී ලබා ගත් ඡායාරූපයක් ලෙස ඡායාරූපයක් හ එම සටහනින් පළ කර තිබුණා. මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මෙම සටහනේ සඳහන් කර තිබුණු කරුණු මෙසේය.
“රුහුණේ පන්සලෙන් වයිට් හවුස් (White House) එකට ගිය “ඩොනල්ඩ් හාමු”
ඇමරිකාවේ හිටපු සහ වත්මන් ජනාධිපති, කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිසකෙස් විලාසිතාව දෙස බලන බොහෝ දෙනෙකුට සිතෙන්නේ එය අමුතුම විලාසිතාවක් කියාය. නමුත් එහි ඇත්තේ රුහුණු පුරවරයේ ඝන වනාන්තරයක පිහිටි පැරණි පන්සලක උරුමයකි. කුඩා කල අතිශය දඩබ්බර, මුරණ්ඩු දරුවෙකු වූ ඩොනල්ඩ්ව හික්මවීම සඳහා ඔහුගේ පියා වන ෆ්‍රෙඩ් ට්‍රම්ප් (Fred Trump) ඔහුව එවකට ලංකාවේ රුහුණු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආරණ්‍ය සේනාසනයක නායක හිමියන් වෙත භාර දුන්නේ 1950 දශකයේ මැද භාගයේදීය.”
තව ත් කරුණු ඇතුළත් කරමින් මෙම සම්පූර්ණ සටහන ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

එමෙන් ම Tiktok ඔස්සේ ද, මෙම ඡායාරූප සටහන පළ කර තිබුණා.

මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මේ අයුරින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ව්‍යාපාරික ජීවිතය තුළ හෝ ඔහුගේ දේශපාලනික ධුර කාලයන් තුළ ඔහු කිසිදු අවස්ථාවක ලංකාවට පැමිණි බවට කිසිදු නිල සාක්ෂියක් හෝ ඓතිහාසික වාර්තාවක් දැක ගන්නට නොලැබේ. නිල ඇමරිකානු ලේඛනවලට අනුව ධුරයේ සිටින කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයෙක් මේ දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී නොමැත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැබෑ ළමා කාලය
ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 දී නිව්යෝර්ක් හි Queens හි උපත ලැබූ අතර, ඔහුගේ පවුල ජීවත් වූයේ ඉතා ධනවත් පරිසරයකයි. ඔහුගේ මුල්කාලීන ජීවිතය පිළිබඳ නිල විස්තර ඇමරිකානු ජනාධිපති පුස්තකාල වෙබ් අඩවිය වන Trump Presidential Library හි සහ White House Archives හි සටහන්ව තිබේ.
ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වන 1950 දශකයේ ඔහුට වයස අවුරුදු 5 සිට 13 දක්වා කාල වකවාණුවේ, ඔහු ඉගෙනුම ලැබුවේ නිව්යෝර්ක් හි පිහිටි Kew-Forest School නමැති පෞද්ගලික පාසලකය. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එමෙන් ම තමාගේ කුඩා කල ඡායාරූපයක් ට්‍රම්ප් විසින් ම සිය නිල ෆේස්බුක් පිටුවේ 2013 වසරේ පළ කර තිබූ අතර එම ඡායාරූපය හා සමාජ මාධ්‍යවල දැක්වෙන රූපයේ සිටින පිරිමි ළමයාගේ පෙනුම සහ සැබෑ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළමා පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් බව ට දැක ගන්නට ලැබේ.
එම ඡායාරූප සංසන්දය පහතින්.

CNN නිල වෙබ් අඩවියේ Donald Trump’s Early Photos ලිපියෙන් ඔහුගේ කුඩා කළ ඡායාරූප වැඩි දුරටත් දක්වා තිබුණා.
“මුරණ්ඩුකම” නිසා ඔහුව යැවූ සැබෑ ස්ථානය
කෙසේ වෙතත් ට්‍රම්ප් පාසලේදී පෑ මුරණ්ඩුකම නිසා 1959 දී (වයස අවුරුදු 13 දී) ඔහුව නිව්යෝර්ක් හමුදා ඇකඩමියට (New York Military Academy) ඇතුළත් කර ඇති බව ත්, ඔහු වයස අවුරුදු 13 සිට 18 දක්වා හමුදා විනය යටතේ සිටි ආකාරය සහ එහි බේස්බෝල් කණ්ඩායමේ සිටි සැබෑ ඡායාරූප Wikimedia Commons – Donald Trump NYMA වෙබ් අඩවියෙන් සහ Times Herald-Record PHOTO GALLERY වෙතින් දැක ගන්නට ලැබේ.
ඒ අනුව ඉහත සටහන් වල සඳහන් වන පරිදි ට්‍රම්ප් කුඩා කල දැඩි මුරණ්ඩු සහ කලහකාරී දරුවෙකු වූ බව සැබෑවක් වන අතර එම නිසා ඔහුගේ පියා වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප් ඔහුව හික්මවීම සහ විනයගත කිරීම සඳහා ඇතුළත් කළේ ලංකාවේ ආරණ්‍යයකට නොව, ඇමරිකාවේ පිහිටි නිව්යෝර්ක් හමුදා ඇකඩමියටය බව මෙන් ම ඔහු වයස අවුරුදු 13 සිට 18 දක්වා (1959-1964) නේවාසිකව ඉගෙනුම ලැබුවේ මෙම හමුදා පාසලේදී බව තව දුරටත් තහවුරු වේ.
මෙම නිල ලේඛන සහ සැබෑ ඡායාරූප පරිශීලනය කිරීමෙන්, සමාජ මාධ්‍ය හරහා පැතිරුණු “ලංකාවේ ආරණ්‍යයක මහණ වූ ට්‍රම්ප්” යන කතාව සහ රූපය 100% ක්ම අසත්‍ය බව තහවුරු වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය AI ඡායාරූපයක්
අප ඉහත ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත්දැයි යන්න පරීක්ෂා කිරීම සඳහා ඒවා හඳුනා ගැනීමේ මෙවලමකට යොමු කළ අතර එහිදී තහවුරු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවට පැමිණි බව පෙන් වූ ඡායාරූපය AI-generated රූපයක් බවයි.


ඒ අනුව ඉහත ඡායාරූපය මෙන් ම සම්පූර්ණ සටහන ද, අසත්‍ය බවට පෙන්වා දිය හැක.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


