මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් බීමතින් රිය පැදවීම නිසා රු.2500ක දඩයක් පනවලාද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් බීමතින් රිය පදවා රිය අනතුරක් කිරීමේ වරදට ඔහුට අධිකරණයෙන් පනවා ඇති දඩය රු.2500ක් බව දක්වමින් සමාජ මා‍ධ්‍ය ඔස්සේ සටහන් බහුලව හුවමාරු වුණා. සැබවින්ම ඔහුට බීමතින් රිය පැදවීම සඳහා පනවා ඇති දඩය රු. 2500ක් ද, යන්න පිළිබඳ Factcrescendo අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

FB|FB|FB|FB

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සම්බන්ධ මෙම රිය අනතුර කුමක්ද යන්න පරීක්ෂා කිරීමේදී ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබුණේ,  2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී(Marine Drive)   අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවක් බවයි.

නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන්  වරද පිළි ගැනීමෙන් පසු රුපියල් දෙදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙස ත්, දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහා නියම කරන ලද දඩ මුදල ගෙවීමට නැවත මෙම නඩුව අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය පසුගිය ජූලි 09 වන දා පැවති නඩුවේදී නියෝග කර ඇති බවට එම මාධ්‍ය වාර්තා කරුණු වාර්තා කර තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

මාධ්‍ය වාර්තා අනුව දැක්වෙන්නේ, රවී සෙනෙවිරත්න මහතා බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ නඩුවේ, රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව පිළිගෙන ඇති අතර රිය අනතුරක් වළක්වා නොගැනීම යන වරදට යටත් වන දඩය වන රු. 2500ක් ගෙවීමට නියෝග කර ඇති බවයි. නමුත් මෙහිදී බීමත්ව රිය පැදවීම සඳහා රු.2500ක දඩයක් ගෙවීමට නියෝග කර නොමැති අතර මෙම නඩුවේ, ‘අපරීක්ෂාකාරීව රිය පැදවීම’ සහ ‘බීමත්ව රිය පැදවීම’ යන චෝදනා සඳහා එදින දඩයක් පනවා නොමැති අතර ඒ සඳහා නඩුව යළි කැඳවීමට නියමිත බවයි.

අධිකරණ මාධ්‍ය වාර්තාකරුවන්

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප අධිකරණ මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් ද විමසීමක් කරනු ලැබුවා.

ඔවුන් සඳහන් කළේ ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සම්බන්ධ නඩුවේදී ඔහුට පැනවූ රු.2500ක දඩය බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් නොව රිය අනතුරක් වළක්වා නොගැනීමයන පළමු චෝදනාව පිළිගත් නිසා පනවා ඇති දඩය බවයි. 

පළමු චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට මෙන්ම, නඩුවේ දෙවන සහ තෙවන චෝදනා වන ‘අපරීක්ෂාකාරීව රිය පැදවීම’ සහ ‘බීමත්ව රිය පැදවීම’ යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ පසුගිය 09 වන දින නියම කරන ලද රුපියල් 2,500ක දඩ මුදල ගෙවීම සඳහා එම නඩුව ලබන අගෝස්තු මස 20 වැනිදා යළි කැඳවීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළ බව ත්, සඳහන් කරනු ලැබුවා.

මෝටර් රථ වාහන පනතේ “අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම” යන වරද

මෝටර් රථ වාහන පනතේ යම් වරදක් (උදාහරණයක් ලෙස 149 වන වගන්තියේ එන රියදුරෙකුගේ පොදු වගකීම්) උල්ලංඝනය කර ඇති නමුත්, ඒ සඳහා පනතේ වෙනමම විශේෂිත දඩ මුදලක් නිශ්චිතව දක්වා නොමැති විට, ඒ සඳහා දඬුවම් කරනු ලබන්නේ 224 වන වගන්තියේ එන සාමාන්‍ය දණ්ඩන ප්‍රතිපාදන (General Penalty) යටතේය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු සංශෝධන මඟින් මෙම සාමාන්‍ය දණ්ඩනයේ අවම සීමාව රුපියල් 2,500ක් දක්වා ඉහළ නංවා ඇත. අධිකරණ තීන්දුව මෙම වරද “පොලිස් ස්ථානීය දඩයක්” (Spot Fine) නොවන අතර, මේ සඳහා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිය යුතුය. එහිදී චූදිතයා වරද පිළිගත් විට හෝ වරදකරු වූ විට මහේස්ත්‍රාත්වරයා විසින් පනතේ සාමාන්‍ය දණ්ඩනය ප්‍රකාරව මෙම අවම දඩය නියම කරනු ලබයි.

නීතිඥ හරේන්ද්‍ර බානගල

මෝටර් රථ වාහන පනතේ “අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම”යන වරදට අවම දඩය රු.2500ක් පැනවිය හැකි බව ත්, අපරීක්ෂාකාරී රිය පැදවීම සඳහා ප්‍රථම වරද සඳහා රු. 10,000 – රු. 25,000 දක්වා දඩයක් නියම කළ හැකි බව ත්, නීතිඥවරයා පෙන්වා දුන්නේ.

නමුත් බීමතින් රිය පැදවූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා අවම දඩය, රු. 25,000 – රු. 30,000 දක්වා ත්, මාස 3ක් දක්වා සිරදඬුවම් ද, සුළු තුවාල සිදුකිරීම රු. 30,000 – රු. 50,000 දක්වාත්, බරපතළ තුවාල සිදුකිරීම රු. 50,000 – රු. 100,000 දක්වා දඩ සහ වසර 5ක් දක්වා සිරදඬුවම් ද, මරණයක් සිදුකිරීම රු. 100,000 – රු. 150,000 දක්වා දඩ සහ වසර 2 සිට 10 දක්වා සිරදඬුවම් ද, ලැබිය හැකි බවයි අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ.

Also Read : රථ වාහන දඩ මුදල්, මෑතක දී ඉහළ දැමුවාද

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් බීමතින් රිය පදවා රිය අනතුරක් කිරීමේ වරදට ඔහුට අධිකරණයෙන් පනවා ඇති දඩය රු.2500ක් බව දක්වමින් පළ වන සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළු බවයි. අධිකරණය විසින් රු.2500ක දඩයක් නියම කර ඇත්තේ, ඔහු විසින්  2023 වසරේ බීමතින්ව සිදු කළ රිය අනතුරක් වළක්වා නොගැනීම යන වරදට යටත් වන දඩය වන අතර, රවී සෙනෙවිරත්න මහතා එම වරද පිළිගෙන තිබේ. එම නඩුවේ, ‘අපරීක්ෂාකාරීව රිය පැදවීම’ සහ ‘බීමත්ව රිය පැදවීම’ යන වැරදි සඳහා දඩයක් පනවා නොමැත. එම වරදවල් සඳහා ඔහු වැරදිකරු වුවහොත් ඒ සඳහා දඩ පැනවීම නැවත නඩුව කැඳවන දින සිදු කරනු ඇත.

Result Stamp

Title: මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් බීමතින් රිය පැදවීම නිසා රු.2500ක දඩයක් පනවලාද?

Written By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *