දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් වසර 10ක් පුරා පවත්වාගෙන ගිය බෞද්ධ දහම් පාසල මාලිමා රජයේ තානාපති අමීර් අජ්වල්ගේ නියෝගය පරිදි තහනම් කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ලංකා ලීඩර් නම් වෙබ් අඩවිය ඔස්සේ මේ සම්බන්ධයෙන් මුල්වරට සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්. දහම් පාසල සම්පූර්ණයෙන් නතර කිරීම මෙන්ම වෙසක් සමයේ පැවැත්වූ බෞද්ධ ආගමික හා සංස්කෘතික වැඩසටහනක් සම්බන්ධයෙන්ද එහි ගැටළුවක් මතු කර තිබුණි.

ලංකා ලීඩර් වෙබ් අඩවිය උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සටහන බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.




Facebook Facebook Facebook Facebook Facebook Facebook
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන බෞද්ධ දහම් පාසල තහනම් කිරීමට හෝ සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් වාර්තාකර ඇත්ද යන්න අප විසින් පරීක්ෂා කළත් එවැන්නක් දැක ගැනීමට ලැබුණේ නැහැ. කෙසේ නමුත් රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන බෞද්ධ දහම් පාසල සම්පූර්ණයෙන් නතර කර ඇති බවට සහ තහනම් කර ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව දක්වමින් සෞදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන නිල නිවේදනයක් උපුටා දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සටහන් සම්බන්ධයෙන් 2026 ජූලි 26 දින රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දක්වා ඇත්තේ, 2026 ජූලි 21 දින “ලංකා ලීඩර්” (Lanka Leader) නම් වෙබ් අඩවියක් මගින්, සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන දහම් පාසල, තානාපතිගේ උපදෙස් මත නවතා දමා ඇති බවට අසත්‍ය හා නොමඟ යවනසුලු පුවත් වාර්තාවක් පළ කර ඇති බවයි. එම පුවත් වාර්තාවේ අඩංගු චෝදනා තානාපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරන බව එහි සඳහන් වේ. එහි සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂසහගත සහ විකෘති කරන ලද ප්‍රකාශයන් බව තානාපති කාර්‍යාලය මෙම නිවේදනය මගින් දැනුම් දී ඇත. තානාපති කාර්යාලය කිසිදු අවස්ථාවක දහම් පාසල නතර කර නොමැති බවත්, නව ස්ථානයකට තානාපති කාර්යාලය ගෙන යාමෙන් අනතුරුව ඇති වූ ඉඩකඩ සීමාකිරීම් මධ්‍යයේ වුවද, දහම් පාසල කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බවත් එහි සඳහන්.

විදේශ කටයුතු අමාත්‍යංශය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් මෙම හුවමාරු වන තොරතුර සම්පූර්ණයෙන් අසත්‍ය බවට තහවුරු කළා. එසේම, රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද නිල නිවේදනය ද ඔහු විසින් අප වෙත ඉදිරිපත් කළා.
අතුල කුමාරසිංහ -ප්‍රධානාචාර්ය, ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල, රියාද්
අප විසින් රියාද් හි ශ්‍රී විජය බෞද්ධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතුල කුමාරසිංහ මහතා සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු විමසීමට කටයුතු කළා. එහිදී ඔහු විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් අප වෙත යොමු කර තිබුණා. එම නිවේදනය පහතින්.
“ශ්‍රී ලංකාවේ සත්‍යවාදී පුවත් අඩවිය” ලෙස, “ලංකා ලීඩර්” නම් වූ ඔබගේ වෙබ් අඩවියෙහි, 2026 ජූලි 21 වෙනි දින පළකර ඇති, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල, ගරු තානාපති අමීර් අජ්වල් මහතාගේ නියෝගයක් මත නතර කර ඇති බවත්, බෞද්ධ ආගමික කටයුතු සඳහා බාධා එල්ල කර ඇති බවත් සඳහන් වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ විකෘති කළ තොරතුරු මත පදනම් වූවකි.
2007 වර්ෂයේදී රියාද්හි ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූ පිරිසෙහි එක් ප්‍රාරම්භක සාමාජිකයෙකු ලෙසත්, පසුගිය දශකයකට අධික කාලයක් එහි ආචාර්ය මණ්ඩලයේ නායකත්වය දරමින් වර්තමානය දක්වා කටයුතු කරන පුද්ගලයා ලෙසත්, මෙම කරුණු නිවැරදි කිරීම ඔබගේ පුවත් අඩවියෙහි පළ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
2007 වර්ෂයේ සිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව අවශ්‍ය පහසුකම් සහ ඉඩකඩ ලබා දී ඇත. කෙසේ වෙතත්, මෑත කාලයේ තානාපති කාර්යාලය පෙර පැවති ස්ථානයට වඩා සීමිත ඉඩකඩක් සහිත නව පරිශ්‍රයකට ගෙන යාම හේතුවෙන්, මාස කිහිපයක් සඳහා දහම් පාසලේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. එය කිසිසේත්ම දහම් පාසල වසා දැමීමක් හෝ නතර කිරීමක් නොවීය.ඒ අතරම, 2026 සැප්තැම්බර් මාසයේදී රියාද් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ 2026/2027 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමත් සමඟම, ශ්‍රී විජය බෞද්ධ දහම් පාසලේ අධ්‍යයන කටයුතු ද යළි සුපුරුදු පරිදි ආරම්භ කිරීම සඳහා, පවතින ඉඩකඩ සීමාවන් මධ්‍යයේ වුවද තානාපති කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළ සහ පහළ මාලයන්හි අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීමට ගරු තානාපතිතුමා මීට මාස කිහිපයකට පෙරම අනුමැතිය ලබා දී, ඒ සඳහා අවශ්‍ය කටයුතු ද සම්පාදනය කර තිබුණි.රියාද්හි වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව මෙම කරුණු පිළිබඳව හොඳින් දැනුවත් වන අතර, එබැවින් පළ කර ඇති පුවත සත්‍ය තොරතුරුවලට පටහැනි බව අවධාරණය කරමි.
වෙසක් උත්සවය හෝ භක්ති ගී වැඩසටහන් තානාපතිතුමන් විසින් නතර කළ බවට පළ කර ඇති ප්‍රකාශය ද සත්‍යයෙන් තොර, ජනතාව නොමඟ යවන ප්‍රකාශයකි.එබැවින්, මාධ්‍ය සදාචාරය සහ වගකීම් සහගත වාර්තාකරණය අගය කරමින්, අසත්‍ය සහ කරුණු විකෘති කරමින් පළ කර ඇති අදාළ පුවත නිවැරදි කර, මෙම කරුණු පැහැදිලි කිරීම ඔබගේ පුවත් අඩවියෙහි ප්‍රසිද්ධ කරන ලෙස ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමි.
අතුල කුමාරසිංහ-ප්‍රාරම්භක සාමාජික සහ ප්‍රධානාචාර්ය
ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල – රියාද්
දුරකථන: +966 559046778”
එසේම අප විසින් වැඩි දුරටත් සිදු කළ විමසීමේදී ඔහු විසින් සඳහන් කළේ, සාමාන්‍යයෙන් සෑම වසරකම ගිම්හාන නිවාඩු කාලයේ (Summer Vacation) දී මාස දෙකක පමණ කාලයක් රියාද් හි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල වසා තැබෙන බව ඔහු විසින් සඳහන් කළා. එම කාලයේ දී දෙමාපියන් සහ දරුවන් බොහෝ දෙනා ලංකාවට සහ වෙනත් ස්ථාන වලට නිවාඩුව ගත කිරීම සඳහා යන බවත්, ඊට සමගාමීව එම කාලසීමාව තුළ දහම් පාසල ද වසා තැබෙන බව ඔහු විසින් සඳහන් කළා. 2025 වසරේ ගිම්හාන නිවාඩු කාලයේදී ද එලෙස ළමුන්ට නිවාඩු ලැබුණු බවත්, ඒ අනුව එම කාලයේදී දහම් පාසල වසා තැබුණු බවත් ඔහු විසින් සඳහන් කළා. එසේම තානාපති කාර්යාලය අලුත් ගොඩනැගිල්ලකට ගෙන යන ලද්දේ මෙම කාලසීමාවේදී බවත් ඔහු විසින් සඳහන් කළා. ඉන් පසුව නිවාඩුව අවසන් වී 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ජාත්‍යන්තර පාසල ආරම්භ කිරීමෙන් පසු 2025 සැප්තැම්බර් මාසයේදී දහම් පාසල ද නැවත ආරම්භ කළ බව ඔහු සඳහන් කළා. නමුත් තානාපති කාර්යාලයේ නව ස්ථානයකට මාරු කිරීමෙන් පසු තානාපති කාර්යාලයේ තිබූ ඉඩකඩ මදි බව නිසා ඉදිකිරීම් සහ වෙන්කිරීම් (පාටිෂන් -Partition) කිරීම් සිදු කිරීම ආරම්භ කළ බවත් ඔහු සඳහන් කළා. මීට පෙර තානාපති කාර්යාලය පැවති ස්ථානයේ සංස්කෘතික ගොඩනැගිල්ලක් තිබූ බවත් මෙම ස්ථානයේ එවැන්නක් නොතිබූ නිසා තානාපති කාර්යාලයේ කටයුතු සහ එම ලිපිගොනුවලට හානියක් නොවන ලෙස ගොඩනැගිල්ල පාටිෂන් කිරීමට මෙලෙස සැලසුමක් ක්‍රියාත්මක කළ බවත් ඔහු සඳහන් කළා.
ඒ හේතුවෙන් තාවකාලිකව දහම් පාසලේ කටයුතු නතර කිරීමට සිදු වූ බවද ඔහු විසින් සඳහන් කළා. ඒ අනුව නව අධ්‍යයන වර්ෂය ආරම්භ වී මාස දෙකක පමණ කාලයකින් පසු මෙම ඉදිකිරීම් අවසන් වන තෙක් දහම් පාසල නතර කිරීමට සිදු වූ බවත් ඔහු සඳහන් කළා. ඔහු විසින් සඳහන් කළ ආකාරයට 2025 ඔක්තෝබර් මාසයේදී මෙලෙස ඉදිකිරීම් හේතුවෙන් දහම් පාසලෙහි වැඩ කටයුතු තාවකාලිකව නතර කර ඇත. දහම් පාසල තුළ ඒ වන විට ළමුන් 35 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබා ඇත.නැවත එම කටයුතු අවසන් වීමෙන් පසු දහම් පාසලේ කටයුතු ආරම්භ කිරීමට තානාපතිවරයාගේ අවසරය ලැබුණු බවත්, නමුත් ඒ වනවිට නැවත ළමුන්ගේ පාසල් විභාග ආසන්න වී තිබූ බැවින් දහම් පාසල ආරම්භ කිරීමක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළා. විභාග වලින් පසුව ගිම්හාන නිවාඩුව උදා වූ බවත් මේ වන විට එම ගිම්හාන නිවාඩුව ගත වන බවද ඔහු විසින් සඳහන් කළා. නැවත රියාද් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල සැප්තැම්බර් මස 04 වන දින ආරම්භ කරන බවත්, ඒ වන විට දෙමව්පියන් සහ දරුවන් නැවත රියාද් වෙත එන බවත්, එලෙස පැමිණි පසු එළඹෙන ඊළඟ සිකුරාදා දින දහම් පාසලද නැවත ආරම්භ කරන බවත් ඔහු විසින් සඳහන් කළා. මෙලෙස ඉදිකිරීම් හේතුවෙන් තාවකාලිකව දහම් පාසලේ කටයුතු නතර කර තිබීම සහ විභාග සහ නිවාඩු කාලය එළඹීම නිසා ඉදිකිරීම් වලින් පසුව දහම් පාසල ආරම්භ කිරීමට නොහැකි වීම මත පදනම්ව දහම් පාසල තහනම් කල බවට සහ දහම් පාසල නතර කළ බවට අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවයි ඔහු විසින් සඳහන් කළේ.
දහම් පාසලෙහි ප්‍රධානාචාර්යතුමා විසින් සඳහන් කරන ආකාරයට 2025 ඔක්තෝබර් සිට මේ දක්වා (2026.07.29) දහම් පාසලෙහි අධ්‍යාපන කටයුතු සිදුව නොමැති අතර, දහම් පාසල තාවකාලිකව නතර කර ඇත. ඒ අතරතුර කාලසීමාවේදී, සිදු වූ දේ පහතින්.
| කාලසීමාව | සිදු වූ දේ |
| 2025 ගිම්හාන නිවාඩුව (Summer Vacation – ජූලි – අගෝස්තු) | තානාපති කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන යාම |
| 2025 සැප්තැම්බර් | සුපුරුදු පරිදි දහම් පාසල නව 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ආරම්භ කිරීම |
| 2025 ඔක්තෝබර් | නව තානාපති කාර්‍යාලයේ ඉඩකඩ මදි බව නිසා එහි ඉදිකිරීම් හේතුවෙන් තාවකාලිකව දහම් පාසල නතර කිරීම |
| 2026 මැයි,ජූනි | ඉදිකිරීම් අවසන්ව දහම් පාසල ඇරඹීමට හැකියාව ලැබුනද පාසැල් විභාග කටයුතු හේතුවෙන් දහම් පාසල ඇරඹීමට කටයුතු කර නැත. |
| 2026 ජූලි, අගෝස්තු | ගිම්හාන නිවාඩුව (මෙම කාලයේදී දහම් පාසල වසා තැබීම සාමාන්‍යයෙන් සිදු වේ) |
| 2026 සැප්තැම්බර් | ගිම්හාන නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ වන විට දහම් පාසල ද ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. |
දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ දරුවන්ගේ දෙමව්පියන්
එසේම අප විසින් අදාළ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ දරුවන්ගේ දෙමව්පියන් ද සම්බන්ධ කරගනිමින් විමසීමක් සිදු කළා, එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, තානාපතිවරයාගේ නියෝගයෙන් දහම් පාසල තහනම් කර ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. දහම් පාසල පවත්වාගෙන යාම සහ වෙසක් භක්ති ගීත ගායනා වැඩසටහන වැනි බෞද්ධ ආගමික කටයුතු සඳහා තානාපතිවරයා විසින් පුළුල් සහයක් ලබා දෙන බවටද ඔවුන් විසින් සඳහන් කළා. තානාපති කාර්යාලය වෙනත් තැනකට මාරු කිරීමෙන් පසු ඉඩකඩ පහසුකම් නොමැතිවීම මත පදනම්ව දහම් පාසල තාවකාලිකව නතර කිරීමට සිදු වුවද එය සම්පූර්ණයෙන් තහනම් කිරීමක් හෝ නතර කිරීමක් සිදු නොවූ බවයි ඔවුන් විසින් ද සඳහන් කළේ.
2026 වෙසක් භක්ති ගීත ගායනය සඳහා තානාපති කාර්යාලයට පැමිණීමට අවසර ලබා නොදුන් බවට කරන ලද ප්‍රකාශය
අදාළ වෙසක් භක්ති ගීත වැඩසටහනේ සහ උත්සවයේ ඡායාරූප රියාද් තානාපති කාර්‍යාලයෙහි සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

2026 වෙසක් භක්ති ගීත ගායනය සඳහා තානාපති කාර්යාලයට පැමිණීමට අවසර ලබා නොදුන් බවට කරන ලද ප්‍රකාශයද අසත්‍යයක් බව තානාපති කාර්යාලය නිවේදනය මගින් දක්වා ඇත.
රියාද්හි ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2026 වෙසක් උත්සවය සංවිධානය කළ තානාපති කාර්යාලය, දරුවන් හා වැඩිහිටියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සඳහා තානාපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් භක්ති ගීත පුහුණුවීම් පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණු බවත් එහි දක්වා ඇත.
එසේම අදාළ දහම් පාසලෙහි ප්‍රධානාචාර්යතුමා විසින් 2026 මැයි මස පැවති වෙසක් උත්සවය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද ඔහුගේ නිවේදනයෙහි දක්වා තිබුණි.
අතුල කුමාරසිංහ -ප්‍රධානාචාර්ය, ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල, රියාද්
2026 මැයි මස පැවති වෙසක් උත්සවය සම්බන්ධයෙන් පුවතෙහි සඳහන් කරුණු ද සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. වෙසක් භක්ති ගී ගායනා වැඩසටහන සඳහා පුහුණුව, සිය ගණනක් වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන්, පුරා මාසයක කාලයක් ගරු තානාපතිතුමන්ගේ පූර්ණ අවසරය සහ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළම පැවැත්විණි.වෙසක් මහෝත්සවයේ ප්‍රධාන උත්සවයට දහස් ගණනක ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් සිදුවන බැවින්, තානාපති කාර්යාල පරිශ්‍රයේ පවතින සීමිත ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා පමණක්, ගරු තානාපතිතුමන්ගේ සෘජු මැදිහත්වීමෙන් සෞදි අරාබියේ අදාළ බලධාරීන්ගේ නිසි අවසරය ලබාගෙන, එම උත්සවය ඉඩකඩ සහිත වෙනත් සුදුසු පරිශ්‍රයක සංවිධානය කරන ලදී. එබැවින්, වෙසක් උත්සවය හෝ භක්ති ගී වැඩසටහන් තානාපතිතුමන් විසින් නතර කළ බවට පළ කර ඇති ප්‍රකාශය ද සත්‍යයෙන් තොර, ජනතාව නොමඟ යවන ප්‍රකාශයකි.එබැවින්, මාධ්‍ය සදාචාරය සහ වගකීම් සහගත වාර්තාකරණය අගය කරමින්, අසත්‍ය සහ කරුණු විකෘති කරමින් පළ කර ඇති අදාළ පුවත නිවැරදි කර, මෙම කරුණු පැහැදිලි කිරීම ඔබගේ පුවත් අඩවියෙහි ප්‍රසිද්ධ කරන ලෙස ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමි.
අප විසින් සිදුකළ විමසීමේදීද ඔහු විසින් ප්‍රකාශ කළේ තානාපති කාර්යාලයේ මෙවැනි උත්සවයක් පැවැත්වීමට ඉඩකඩක් නොමැති බැවින් වෙසක් උත්සවය වෙනත් පරිශ්‍රයක පැවැත්වීමට කටයුතු කළ බවයි. කෙසේ නමුත් එම භක්ති ගීත පුහුණුවීම් කටයුතු සඳහා තනාපති කාර්යාලය යොදා ගත් බව ඔහු විසින් සඳහන් කළා.
එසේම රියාද් හි ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව විසින් ද ඉහත සමාජ මාධ්‍ය සටහන් වෙත අදහස් දක්වමින් එම සටහන් අසත්‍ය බවට කරුණු දක්වා තිබුණි.


අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සෞදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන ගිය ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල තහනම් කර ඇති බවට සහ සම්පූර්ණයෙන් නතර කර ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නව ස්ථානයකට මාරු කිරීමෙන් පසු එම නවස්ථානයේ ඉඩකඩ මදි බව හේතුවෙන් යම් ඉදිකිරීම් ප්‍රමාණයක් සිදුකිරීම සඳහා 2025 ඔක්තෝබර් මාසයේදී තාවකාලිකව දහම් පාසලේ කටයුතු නතර කිරීමට සිදුව ඇත. එම කටයුතු අවසන් වීමෙන් පසු දහම්පාසල බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා තානාපති කාර්යාලයේ ම ඉඩක් ලබාදීමට තානාපතිවරයා කටයුතු කර ඇත. නමුත්, ඒවන විටට සිසුන්ගේ පාසල් විභාග කාලසීමාවන් ළංවී තිබීම නිසා දහම් පාසලේ කටයුතු ආරම්භ කර නොමැති අතර, විභාග කාලසීමාවෙන් පසු මේ වනවිට ගිම්හාන නිවාඩු කාලය ගත වෙමින් පවතී. සාමාන්‍යයෙන් සෑම වසරකම ගිමාන නිවාඩුවේදී දහම් පාසලද රියාද් හි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල පාසලට සමගාමීව නිවාඩු ලබාදෙන අතර, මෙම ගිම්හාන නිවාඩුව අවසන් වීමෙන් පසු සැප්තැම්බර් මාසයේ පාසල් ආරම්භ වීමෙන් එළැඹෙන ඊළඟ සිකුරාදා දින දහම් පාසල නැවත ආරම්භ කරන බව එහි ප්‍රධානාචාර්යවරයා විසින් සඳහන් කර ඇත. එසේම 2026 වෙසක් උත්සවය තානාපති කාර්යාලයේ පැවැත්වීමට ඉඩකඩක් නොමැති බැවින් වෙනත් පරිශ්‍රයක එම උත්සවය පැවැත්වීමට කටයුතු කර ඇති අතර භක්ති ගීත පුහුණුවීම් සඳහා තානාපති කාර්යාලය යොදාගෙන ඇත


