ටෙලිග්‍රෑම් යෙදුම ඇපල් ඇප් ස්ටෝ වෙතින් ඉවත් කළ කතාවේ ඇත්ත නැත්ත! 

Missing Context Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදවුමක් වන Telegram යෙදුම ලොව පුරා පිහිටි Apple App Store වෙතින් හදිසියේම ඉවත් කිරීමට Apple සමාගම පියවර ගෙන ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සහ පසුබිම විමසමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

මේ සම්බන්ධ තවත් සටහන් පහතින්.

Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඇපල් සමාගම විසින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂාවකදී ටෙලිග්‍රෑම් වේදිකාව තුළ ළමා ලිංගික අපයෝජන (CSAM) ඇතුළත් අන්තර්ගතයක් හමු වී ඇත. මෙමඟින් ඇප් ස්ටෝ හි ආරක්ෂක මාර්ගෝපදේශ උල්ලංඝනය වී ඇති බව නිගමනය කරමින්, ඇපල් සමාගම විසින් 2026 අගෝස්තු 03 රාත්‍රියේ ලොව පුරා iPhone සහ iPad පරිශීලකයන් සඳහා ටෙලිග්‍රෑම් යෙදවුම බාගත කිරීම තාවකාලිකව අත්හිටුවා ඇප්-ස්ටෝ වෙතින් ඉවත් කරන ලදී. 

මෙම කාලය තුළ අලුතින් ඇප් එක බාගත කරන්නන්ට එය දර්ශනය වී නොමැති අතර, ඒ වන විටත් ඇප් එක ස්ථාපනය කර තිබූ අයට එය සාමාන්‍ය පරිදි භාවිත කිරීමට හැකි වී තිබේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

“ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් තහනම් කරන අපගේ  මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයක් සොයා ගැනීමෙන් පසුව ටෙලිග්‍රෑම් යෙදුම් ඇප් ස්ටෝ වෙතින් කෙටි කලකට ඉවත් කළෙමු,” යනුවෙන් ඇපල් සමාගමේ ප්‍රකාශය නිකුත් කරමින් බ්ලූම්බර්ග් මාධ්‍යවේදී මාර්ක් ගුර්මන් විසින් X සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

ඇපල් සමාගමේ දැනුම් දීමෙන් පසු ටෙලිග්‍රෑම් ආරක්ෂක කණ්ඩායම මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී ඇත. ටෙලිග්‍රෑම් සමාගම පවසන පරිදි, අදාළ නීති විරෝධී අන්තර්ගතයන් බෙදාහැර ඇත්තේ එක් පරිශීලකයෙකු විසිනි. ඒ අනුව ටෙලිග්‍රෑම් විසින් එම අන්තර්ගතයන් වහාම තම පද්ධතියෙන් ඉවත් කර, අදාළ පරිශීලක ගිණුම ස්ථිරවම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ෆෝබ්ස් සඟරාව වෙත ටෙලිග්‍රෑම් සමාගම ලබා දුන් විද්‍යුත් ප්‍රකාශයක සහ එහි නිල X සටහනක මෙසේ සඳහන් වේ, 

“ඇපල් සමාගම විසින් CSAM අන්තර්ගතයන් බෙදාගත් එක් පරිශීලකයෙකු පිළිබඳව වාර්තා කළ අතර ඔහුව වහාම ටෙලිග්‍රෑම් වෙතින් තහනම් කරන ලදී. ටෙලිග්‍රෑම් විසින් 2026 වසරේදී පමණක් මෙවැනි සමූහ සහ නාලිකා 337,900 කට වඩා ඉවත් කර ඇත. අනාගතයේදී ඇප් ස්ටෝ හි ඇති අනෙකුත් සියලුම ඇප්ස් සඳහාත් මෙම ස්ථාවරය මේ අයුරින්ම සමානව ක්‍රියාත්මක වනු ඇතැයි මම විශ්වාස කරමි” යනුවෙනි. 

ටෙලිග්‍රෑම් සමාගම විසින් මෙම ගැටලුව කඩිනමින් විසඳා එම පරිශීලකයා තහනම් කිරීමෙන් පසු, ඇපල් සමාගම විසින් එදිනම (අගෝස්තු 3 සඳුදා) ආසන්න වශයෙන් විනාඩි 40ක් පමණ ඇතුළත ටෙලිග්‍රෑම් ඇප් එක නැවත ඇප් ස්ටෝ වෙත එක් කරන ඇත. මෙලෙස පැය කිහිපයක් ඇතුළත ගැටලුව නිරාකරණය කර යෙදවුම යාවත්කාලීන කිරීමට සහ අලුතින් බාගත කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබීය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

ටෙලිග්‍රෑම් හි නිර්මාතෘ පාවෙල් දුරොව් ද තම නිල X ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින්, ටෙලිග්‍රෑම් ඇප් එක නැවත ඇපල් ඇප් ස්ටෝ වෙත ස්ථාපනය කර ඇති බව තහවුරු කරමින් සහ මෙම තත්ත්වය ඇති වීමට හේතුව පහැදිලි කරමින් X සටහනක් තබා ඇත. එහි දැක්වෙන්නේ 2026 අගෝස්තු 03 රාත්‍රියේ පරිශීලකයෙකු විසින් ටෙලිග්‍රෑම් වෙත නීති විරෝධී අන්තර්ගතයන් ඇතුළත් කිරීම හේතුවෙන් ඇපල් සමාගම විසින් ටෙලිග්‍රෑම් යෙදුම ඇප් ස්ටෝ වෙතින් තාවකාලිකව ඉවත් කර ඇති බවයි. ඉතා කෙටි කලකින් (විනාඩි 40ක් පමණ) ටෙලිග්‍රෑම් යෙදුම නැවත ස්ථාපිත කර ඇති බව එහි දක්වා ඇත.

එහෙත් දුරොව් තවදුරටත් චෝදනා කර ඇත්තේ, මෙය සාමාන්‍ය පරිශීලකයෙකුගේ ක්‍රියාවක් නොව ‘ග්‍රහණ කප්පම්කරුවෙකු’ (takedown extortionist) විසින් කරන ලද සැලසුම්සහගත ප්‍රහාරයක් බවයි. ඔහුට අනුව, එම පුද්ගලයා AI තාක්ෂණයෙන් වෙනස් කරන ලද CSAM අන්තර්ගතයක් පැරණි පණිවිඩයක් සංස්කරණය කරමින් සමූහයකට හිතාමතා තැන්පත් කර, පසුව එය කෙලින්ම Apple වෙත වාර්තා කර ඇත්තේ එම ප්‍රජාව ඇප් ස්ටෝ වෙතින් ඉවත් කරවා ගැනීමටයි. Apple සමාගම ටෙලිග්‍රෑම් අමතා ගැටලුව විමසීමට පෙරම යෙදුම ඉවත් කිරීම ‘අධි-ප්‍රතික්‍රියාවක්’ බවත්, පරිශීලක-ජනිත අන්තර්ගතය ඇති සෑම ජංගම යෙදුමකටම මෙය ‘පද්ධතිමය අවදානමක්’ බවත් ඔහු අවධාරණය කරයි. දුරොව්ගේ මෙම කප්පම්-ප්‍රහාර චෝදනාව සම්බන්ධයෙන් Apple සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මෙවැනි දෙයක් සිදු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර 2018 දී ද ඇපල් සමාගම විසින් ළමා අපයෝජන (CSAM) ආශ්‍රිත නුසුදුසු අන්තර්ගතයන් හේතුවෙන් ටෙලිග්‍රෑම් යෙදුම ඇප් ස්ටෝ වෙතින් ඉවත් කළ අතර, අදාළ ගැටළුව විසඳා ටෙලිග්‍රෑම් අමතර ආරක්ෂණ එක් කිරීමෙන් පසු එය නැවත ප්‍රතිස්ථාපනය කර ඇත. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ඇපල් සමාගම විසින් නුසුදුසු අන්තර්ගතයන් හේතුවෙන් ටෙලිග්‍රෑම් යෙදුම ඇප් ස්ටෝ වෙතින් ඉවත් කළ බව සත්‍යයක් වුවත් එය තාවකාලික සිදුවීමක් බවයි. 

ටෙලිග්‍රෑම් පරිශීලකයෙකු විසින් ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයක් ටෙලිග්‍රෑම් හරහා බෙදාහැරීම හේතුවෙන් (ටෙලිග්‍රෑම් පවසන පරිදි; නමුත් දුරොව් මෙය කප්පම්කරුවෙකුගේ සැලසුම්සහගත ප්‍රහාරයක් ලෙස හඳුන්වයි) ඇපල් සමාගමේ රෙගුලාසි උල්ලංඝනය වීම නිසා 2026 අගෝස්තු 3 වන සඳුදා ඇපල් සමාගම විසින් ටෙලිග්‍රෑම් ඇප් එක ඇප් ස්ටෝ වෙතින් ඉවත් කරන ලදී. මෙම කාලය තුළ අලුතින් ඇප් එක බාගත කරන්නන්ට එය දර්ශනය වී නොමැති අතර, ඒ වන විටත් ඇප් එක ස්ථාපනය කර තිබූ අයට එය සාමාන්‍ය පරිදි භාවිත කිරීමට හැකි වී තිබේ. 

ටෙලිග්‍රෑම් සමාගම විසින් අදාළ නීතිවිරෝධී අන්තර්ගතයන් වහාම ඉවත් කර, එම ගිණුම තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඉන්පසුව, ඇපල් සමාගම විසින් 2026 අගෝස්තු 3 වන සඳුදා, ආසන්න වශයෙන් විනාඩි 40ක් පමණ ඇතුළත එය නැවත ඇප් ස්ටෝ වෙත එක් කෙරුණි. එම නිසා, ඇප් එක ස්ථිරවම ඉවත් කර නොමැති අතර, දැනට එය සාමාන්‍ය පරිදි ඇප් ස්ටෝ වෙතින් බාගත (Download) කරගත හැක.

Result Stamp

Title: ටෙලිග්‍රෑම් යෙදුම ඇපල් ඇප් ස්ටෝ වෙතින් ඉවත් කළ කතාවේ ඇත්ත නැත්ත! 

Written By: B.P Hansani

Result: Missing Context


Leave a Reply

Your email address will not be published. Required fields are marked *