වෙළඳ දැන්වීම් සඳහා ජංගම දුරකතනය ඇත්තටම ඔබේ සංවාදවලට සවන් දෙනවාද?

Misleading Social Technology

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල පූර්ව ආරක්ෂාව සඳහා සමාජය දැනුවත් කරමින් සමාජ මාධ්‍ය සටහන් පරිශීලකයින් විසින් පළ කරනු ලබනවා. නමුත් එවැනි පළ කිරීම් වල දක්වා ඇති කරුණු වල තහවුරු නොවූ කරුණු ඇතුළත්ව ඇති අතර ඇතැම් කරුණු අතිශෝක්තියක් ද විය හැකි. ජංගම දුරකතන හා ඇමතුම් සංවාද සම්බන්ධයෙන් දැනුවත් කරමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක දැක්වෙන්නේ, ඔබේ ජංගම දුරකතනය හරහා සිදුවන සංවාද මෙන් ම නිවසේ පෞද්ගලික සංවාද දක්වා සවන් දෙන අවස්ථා මොනවාද යන්න ලැයිස්තුගත කර ඇති අතර එය වැළැක්වීමට ඔබ සැමවිටම ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති අවස්ථා  ක්‍රියා විරහිත කළ යුතු බව ඉන් හඟවා තිබුණේ මෙලෙසින්.

මේ වෙලාවට ෆෝන් එකේ ඩේටා (ඩේටා) ඔෆ් කරන්න. නැත්නම් සිද්ධ වෙන්නේ මහා විනාශයක්! – පසුව අපිට ස්තූති කරන්න. 📵🤫

ඔයා කඩේක බඩු ගන්න ගියාම, ගෙදරදි කාත් එක්ක හරි ප්‍රශ්නයක් කතා කළාම, ඊටපස්සේ ෆේස්බුක් එද්දි ඒකට අදාළ දැන්වීම් (Ads) පෙන්නනවා දැකලා තියෙනවද?

ෆෝන් එක අපේ කතා අහන් ඉන්නවද?” පිළිතුර ඔව්! ඔබේ ෆෝන් එකේ දත්ත ක්‍රියාත්මකව පවතින විට (ඩේටා On), විවිධ ඇප්ස් සහ ඇල්ගොරිතම මගින් ඔබේ හැසිරීම් නිරීක්ෂණය කරනවා.

ඔබේ පෞද්ගලිකත්වය, මුදල් සහ මානසික නිදහස බේරාගන්න නම්, මේ අවස්ථා 10 දී අනිවාර්යයෙන්ම ඩේටා/WiFi ඔෆ් කරන්න. 👇

01. බැංකු ගනුදෙනු සහ රහස් අංක ගැන කතා කරන විට (Financial Discussions) 💳 ඔබ කාටහරි මුදල් වගයක් යවනවා නම්, පාස්වර්ඩ් එකක් කියනවා නම්, හෝ ඔබේ බැංකු ගිණුම් විස්තර කටහඬින් කියනවා නම් ඩේටා ඔෆ් කරන්න. සමහර අනාරක්ෂිත ඇප්ස් (Malware) වලට පුළුවන් පසුබිමේ ඉඳන් (Background) ඔබේ මයික්‍රොෆෝනය හරහා ඒ දත්ත රෙකෝඩ් කරගන්න. බැංකු ඇප් එකට ලොග් වෙන්න විතරක් ඩේටා ඔන් කරන්න.

02. වෛද්‍යවරයෙක් හමුවන විට හෝ ලෙඩක් ගැන කතා කරන විට (Medical Privacy) 🏥 ඔබට තියෙන රෝගී තත්ත්වයක් ගැන වෛද්‍යවරයා එක්ක කතා කරනකොට ඩේටා ඔෆ් කරගන්න. නැත්නම් වෙන්නේ Google හෝ Facebook ඇල්ගොරිතම මගින් ඔබව “රෝගියෙක්” ලෙස වර්ග කරලා, බෙහෙත් වර්ග, ඉන්ෂුවරන්ස් සහ පෞද්ගලික රෝහල් වල දැන්වීම් වලින් ඔබේ ෆෝන් එක පුරවන එකයි. ලෙඩේට වඩා ඒක වදයක් වේවි.

03. ඉතාම පෞද්ගලික රණ්ඩු හෝ සාකච්ඡා මැද (Private Arguments) 💔 ඔබ බිරිඳ/සැමියා හෝ පෙම්වතා එක්ක බහින්බස් වීමක් වෙනවා නම් ඩේටා ඔෆ් කරන්න. Social Media ඇල්ගොරිතම කොච්චර දියුණුද කියනවා නම්, ඔබේ කටහඬේ තියෙන ආතතිය (Stress levels) සහ පාවිච්චි කරන වචන (Keywords) හඳුනාගෙන, ඔබට “දික්කසාද නීතිඥයින්” හෝ “මානසික උපදේශන” ගැන දැන්වීම් එවන්න පුළුවන්. ඒක හරිම භයානකයි.

04. ගුවන් ටිකට් හෝ හෝටල් බුක් කරන්න කලින් (Before Booking Flights/Hotels) ✈️ ඔබ යාළුවොත් එක්ක “අපි ලබන මාසේ බාලි යමු” කියලා කතා වුණා කියමු. ඊට පස්සේ බැලුවොත් ටිකට් ගණන් වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේකට කියන්නේ “Dynamic Pricing” කියලා. ඔබ යන්න ප්ලෑන් කරන බව අන්තර්ජාලය දැනගත්තම, ඉල්ලුම වැඩියි කියලා පෙන්නලා මිල ඉහළ දානවා. ප්ලෑන් කරන වෙලාවට ඩේටා Off කරන්න. හොයද්දි Incognito Mode දාන්න.

05. රාත්‍රී නින්දට යන විට (Sleeping Time) 😴 මේක සෞඛ්‍යමය හේතුවක්. රෑට ඩේටා On කරලා තිබ්බම එක දිගට එන Notifications සද්දේ නිසා ගැඹුරු නින්දට (Deep Sleep) යන්න මොළයට බැරි වෙනවා. ඒ වගේම දුරකථනය දිගින් දිගටම කුළුණු (Towers) එක්ක සම්බන්ධ වෙන්න සිග්නල් හොයන නිසා නිකුත් වන විකිරණ (Radiation) ප්‍රමාණය අවම කරගන්න මේක උදව් වෙනවා.

06. ඉඩම් ඔප්පු හෝ නීතිමය වැඩ කටයුතු වලදී (Legal Discussions) ⚖️ නීතිඥයෙක් හමුවෙන්න ගියාම හෝ උසාවි කටයුත්තක් ගැන කතා කරනකොට ඩේටා අනිවාර්යයෙන්ම Off කරන්න. ඔබේ නඩු වලට අදාළ තොරතුරු, විරුද්ධ පාර්ශවයට විකුණන්න පුළුවන් මට්ටමේ දත්ත සොරාගැනීම් අද තාක්ෂණයේ තියෙනවා. ආරක්ෂාව තමයි වැදගත්ම.

07. ෆෝන් එක චාජ් කරන අතරතුර (While Charging) ෆෝන් එක චාජ් වෙන ගමන් ඩේටා On කරලා තිබ්බම, පසුබිමේ ඇප්ස් අප්ඩේට් වෙනවා, මැසේජ් එනවා. මේ නිසා ප්‍රොසෙසර් එක රත් වෙලා බැටරියට හානි වෙන්න පුළුවන්. ෆෝන් එක ඉක්මනට චාජ් කරගන්න ඕන නම් ඩේටා Off කරලා (හෝ Airplane Mode දාලා) චාජ් කරන්න.

08. සිග්නල් අඩු ප්‍රදේශ වලදී (Low Signal Areas) 📶 ඔබ කැලෑවක හෝ සිග්නල් අඩු තැනක ඉන්නවා නම් ඩේටා Off කරන්න. නැත්නම් ඔබේ ෆෝන් එකේ ඇන්ටනාව මුළු පණ දාලා ළඟම තියෙන ටවර් එක හොයනවා. මේකෙන් ෆෝන් එක රත් වෙනවා වගේම, බැටරිය විනාඩි ගානකින් බහිනවා.

09. නාන කාමරය හෝ ඇඳුම් මාරු කරන විට (Privacy Protection) 🚿 මේක විහිළුවක් නෙවෙයි. හැකර්වරුන්ට පුළුවන් සමහර ඇප්ස් හරහා ඔබේ කැමරාව රහසිගතව ඔන් කරන්න. ඔබ නොදැනුවත්ව ඔබේ නිරුවත් දර්ශන ලීක් වෙන්න පුළුවන් පොඩි ඉඩක් හරි තියෙනවා නම්, ඒ ඉඩ අහුරන්න ඩේටා ඔෆ් කරලම යන්න.

10. ජීවිතය විඳින වෙලාවට (Quality Time) ❤️ පවුලේ අය එක්ක කෑමක් කනකොට, පොඩි දරුවා එක්ක සෙල්ලම් කරනකොට ඩේටා ඔෆ් කරන්න. නැත්නම් “ටිං” ගාලා එන නොටිෆිකේෂන් එකකින් ඔයාගේ අවධානය කැඩෙනවා. ඒ සුන්දර මොහොත ආයේ ගන්න බෑ. ඩිජිටල් ලෝකෙට වඩා ඇත්ත ලෝකේ වටිනවා

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙම සටහනේ දැක්වෙන කරුණු අතරින් මින් කොපමණ ප්‍රමාණයක් ජංගම දුරකතන සහ යෙදුම් ක්‍රියා කරන ආකාරය සැබවින්ම පිළිබිඹු කරනවාද යන්න පිළිබඳ අප පරීක්ෂාවට ලක්කළා.

  1. ඔබේ බැංකු විස්තර සහ මුරපද ගැන සංවාදයේ යෙදෙන විට යෙදුම්(App) හරහා සවන් දී, පසුව එම තොරතුරු අනිසි ලෙස භාවිතා කරනවාද?

යෙදුම් මගින් මුරපද හෝ බැංකු තොරතුරු සොරකම් කිරීම සඳහා ඔබේ සංවාදවලින්  රහසිගතව පටිගත කරන බවට විශ්වාසදායක සාක්ෂි නොමැත. මෙටා (ෆේස්බුක්/ඉන්ස්ටග්‍රෑම්) සහ ගූගල් වැනි තාක්ෂණික සමාගම් දැන්වීම් ඉලක්ක කිරීම සඳහා පසුබිම් සංවාද ග්‍රහණය කර ගැනීමට ඔබේ දුරකථනයේ මයික්‍රෆෝනය භාවිතා නොකරන බව තහවුරු කර තිබේ. එක්සත් ජනපද කොන්ග්‍රසය මගින් සිදු කළ සාක්ෂි විමසීමේදී ද, මාර්ක් සකර්බර්ග් විසින් පැහැදිලිවම පවසා තිබුණේ, දැන්වීම් පිළිබඳ, පරිශීලක ගිණුම් පිළිබඳ දැනුම් දීමට මයික්‍රෆෝන භාවිතා කරන බවට ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි.

මෙහිදී හොඳින් මතකතබා ගත යුතු කාරණය වන්නේ, ඔබ විසින් යම්කිසි යෙදුම්ක් භාගත කිරීමේදී යෙදුම මගින් ඔබේ මයික්‍රෆෝනයට ප්‍රවේශය ඉල්ලා ඇති අවස්ථාවක ඔබ ඒ සඳහා අවසර ලබා දී ඇත්නම් එම යෙදුමට ඔබගේ සංවාද ඇහුම්කම් දීමට හැකි වනු ඇත. මෙය රහසිගතව සිදු නොකෙරෙන අතර ඔබේ අවසරය මත ක්‍රියාතම්ක වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්‍.

ෆේස්බුක් යෙදුම සඳහා ඔබගේ ජංගම දුරකතන මයික්‍රෆෝනය වෙත ප්‍රවේශය ලබා දී ඇත්දැයි පරීක්ෂා කර අක්‍රිය කර ගැනීමට පියවර

iPhone භාවිතා කරන්නන් සඳහා, Settings >> Privacy >> Microphone >> වෙත ගොස් Facebook සොයන්න, ඉන්පසු Facebook යෙදුමට මයික්‍රෆෝනයට ප්‍රවේශ වීමට ඉඩ සලසන සැකසුම ටොගල් අක්‍රිය කරන්න.

Android අනුවාද සඳහා Settings >> Apps >> Facebook >> Permissions වෙත ගොස්, පසුව Facebook යෙදුමට මයික්‍රෆෝනයට ප්‍රවේශ වීමට ඉඩ සලසන සැකසුම ටොගල් අක්‍රිය කරන්න.

  1. අසනීප තත්ත්වයන් ගැන සංවාදයේ යෙදීම හේතුවෙන් ඔබේ සෞඛ්‍යයෙ තත්ත්වයට අදාළ දැන්වීම් දැක ගැනීමට ලැබීම

සෞඛ්‍ය හෝ වෛද්‍යවරුන් සඳහා අදාළ දැන්වීම් පෙන්වන ඇල්ගොරිතම රහසිගතව පටිගත කරන ලද සංවාද මත නොව ඔබ අන්තර්ජාලය ඔස්සේ සිදු කළ සෙවුම් ඉතිහාසය(search history), ක්ලික් කිරීම්, අන්තර්ක්‍රියා සහ මාර්ගගත හැසිරීම මත රඳා පවතී. ජංගම දුරකතන මගින් රහසිගතව පටිගත කරන ලද සංවාද වලින් නොවේ. 

පර්යේෂකයන් විසින් ජංගම දුරකතන හරහා රහසිගතව සංවාද පටිගත කිරීමේ උපාංග භාවිතා කරන්නේද යන්න ගවේෂණය කර ඇති අතර පාරිභෝගික යෙදුම් ඔස්සේ ඔබගේ සංවාද උපාංගයෙන් පිටතට ලබා දෙන බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත. මේ සම්බන්ධ තොරතුරු මෙතනින්.

ඔබ යම්කිසි සෞඛ්‍ය ගැටලුවක්, මාතෘකාවන් අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමෙන් පසු වෛද්‍ය නිෂ්පාදන සඳහා දැන්වීම් දුටුවහොත්, එය සාමාන්‍යයෙන් ඔබ යම් අවස්ථාවක දී එම මාතෘකා අන්තර්ජාලයේ සෙවීම නිසා බව පෙන්වා දිය හැක.

  1. පුද්ගලික ගැටලු වලදී ඔබගේ ජංගම දුරකතනය ඔබගේ ආතතිය හඳුනාගෙන ඊට අදාළ දැන්වීම් පෙන්වනවද?

දැන්වීම් පෙන්වීම් සඳහා ජංගම දුරකතන යෙදුම් ඔස්සේ ඔබගේ හඬ හෝ ආතති මට්ටම් විශ්ලේෂණය කරන බවට කිසිදු සාක්ෂියක් යෙදුම් සතුව ඇති බවට හඳුනා ත් බවට සාක්ෂි නොමැත. ඔබ විසින් සිදු අන්තර්ජාලය භාවිත කරමින්  සිදු කරන අන්තර්ක්‍රියා, සම්බන්ධතා සහ අතීත හැසිරීම් මත පදනම්ව දැන්වීම් දැක ගැනමීට හැකි වන අතර එය ඔබ දැනටමත් ඩිජිටල් ලෙස බෙදාගෙන ඇති දත්ත භාවිතා කරන පුරෝකථන ඇල්ගොරිතමවල ප්‍රතිඵලයකි.

  1. ගුවන් ගමන් සහ හෝටල් වෙන්කරවා ගැනීමේදී ජංගම දුරකතන මාර්ගයෙන් මිල ගණන් සවන් දී මිල ගණන් වැඩි කළ හැකිද?

ගුවන් සමාගම් සහ සංචාරක අඩවි ඉල්ලුම සහ බ්‍රවුසින් රටා මත පදනම්ව මිල ගණන් සකස් කරයි. නමුත් මෙය සංවාදවලට සවන් දීමෙන් සිදුවන බවට විශ්වාසදායක සාක්ෂි නොමැත. 

මිල ගණන් වෙනස් විය හැකි සැබෑ හේතුව ඔබේ සෙවුම් ඉතිහාසය සහ වෙබ් අඩවි කුකීස් නිරීක්ෂණය කිරීම නිසා මිස ජංගම දුරකතන මාර්ගයෙන් යමෙකු ඔබේ විවේක ගමනාන්ත ගැන කතා බහ ඇසුනු නිසා නොවේ. මේ සම්බන්ධ තොරතුරු මෙතනින්.

  1. දත්ත සක්‍රිය කර තිබීම ගැඹුරු නින්ද වළක්වන අතර විකිරණ නිරාවරණය වැඩි කරයි 

Notification සහ තිර ආලෝකය නින්දට බාධා කළ හැකි බව සත්‍ය නමුත් ඔබේ දත්ත සක්‍රිය කර තිබීම ඔබේ නින්දේ රටාවන්ට බලපාන විකිරණ මට්ටම්(radiation levels) ඇති නොකරයි. නින්දේ ගුණාත්මක භාවය ඔබගේ දුරකතනයේ දත්ත සක්‍රිය කර තිබේද යන්නට වඩා තිර නිරාවරණය, පුරුදු, ආතතිය සහඔබ ජීවත්වන පරිසරය මගින් බලපායි.

රාත්‍රියේදී Notification අක්‍රිය කිරීම හෝ Do Not Disturb භාවිතා කිරීම සැබවින්ම අවධානය යොමු කිරීමට සහ විවේක ගැනීමට උපකාරී වේ. මේ සම්බන්ධ තොරතුරු මෙතනින්.

  1. යෙදුම් වලට ඔබේ පුද්ගලික නීතිමය සාකච්ඡා විරුද්ධ පාර්ශ්වයන් සමඟ බෙදා ගත හැකිය

ප්‍රධාන යෙදුම් ඔස්සේ සිදු කරන සංවාද අන්තර්ගතය වෙනත් පාර්ශවයන් සමග බෙදා ගන්නා බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් නොමැත. නමුත් ඔබ අනාරක්ෂිත වේදිකාවල හෝ ආරක්ෂාව තහවුරු නොකළ යෙදුම් හරහා සංවේදී තොරතුරු බෙදා ගන්නේ නම් ඒවා වෙනත් තෙවන පාර්ශවයක් අතට පත් විය හැක. පුද්ගලික කාරණා සඳහා සැමවිටම ආරක්ෂිත, encrypted සංවේදන මෙවලම් භාවිතා කරන්න.

  1. ජංගම දුරකතන ආරෝපණය කරන අතරතුර අන්තර්ජාලයට සම්බන්ධ වුවහොත් බැටරියට හානි වේ

ඩේටා භාවිතා කරන යෙදුම් සහ syncing වීම් ජංගම දුරකතනය ආරෝපණය කෙරෙන අතරතුර පසුබිමින් ක්‍රියාත්මක වනවානම්, ආරෝපණය කරන අතරතුර දුරකතනය තරමක් රත් වීමට හේතු විය හැක. නමුත් මෙය භයානක තත්වයක් නොවේ. Airplane Mode ක්‍රියාත්මක කිරීම ඇත්ත වශයෙන්ම ආරෝපණය වේගවත් කළ හැකි වේ.

  1. අඩු සංඥා (Signal) ප්‍රදේශ වල සිටියදී ඩේටා ක්‍රියාත්මක නම් දුරකතන අධික ලෙස රත් වී අඩු සංඥා ප්‍රදේශවල බැටරිය බැස යයි

මෙය සත්‍ය වේ. දුර්වල සංඥා ඇති විට සංඥා උපාංග වැඩි බලයක් භාවිතා කරයි. එමඟින් ඔබේ බැටරිය වේගයෙන් බැස ගොස් රත්වීම ඇති විය හැක. අඩු ආවරණ ප්‍රදේශවල දත්ත හෝ සංඥා අක්‍රිය කිරීම ඔබේ බැටරිය දිගු කාලයක් පැවතීමට උපකාරී වේ.

  1. හැකර්වරුන්ට රහසිගතව කැමරාව ක්‍රියාත්මක කර පුද්ගලික ඡායාරූප ලබා ගැනීමට හැක

ඔබ නොදැනුවත්වම කැමරාව සක්‍රිය කළ හැක්කේ අනිෂ්ට මෘදුකාංග හෝ  ජංගම දුරකතනයේ කැමරා සඳහා ඔබ විසින් අවසර ලබා දී ඇති යෙදුම් වලට පමණක් වන අතර මෙය දුර්ලභ ය. ඩේටා අක්‍රිය කිරීමෙන් අනවසර කැමරා ප්‍රවේශය වළක්වන්නේ නැත. වැදගත් වන්නේ ඔබේ ජංගම දුරකතනයේ විශේෂාංග භාවිතා කිරීමට ඔබ විසින් අවසර දී ඇති යෙදුම් මොනවාද යන්න දැනුවත් වීමයි. පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මයික්‍රෆෝනය සහ කැමරාව සඳහා යෙදුම් අවසර සැමවිටම පරීක්ෂා කරන්න. මේ සම්බන්ධයෙන් ඇති වාර්තා මෙතනින්.

  1. ජීවිතය විඳීම සහ ඩේටා ක්‍රියාත්මක තත්ත්වයෙන් පැවතීම සහ Notification

මෙය ප්‍රායෝගික අර්ථයෙන් සත්‍යයකි. Notification සැබෑ ජීවිතයේ අවස්ථා වලින් ඔබව වෙනතකට යොමු කළ හැකිය. 

බොහෝ පරිශීලකයින්ට ඔවුන්ගේ උපාංග සවන් දෙන බව සැබවින්ම හැඟෙන්නේ ඔවුන් දකින් දැන්වීම් ඔවුන් කතා කළ දේවල් වලට ඉතා හොඳින් ගැලපෙන නිසා ය. නමුත් යෙදුම් දහස් ගණනක් පිළිබඳ දිගු අධ්‍යයනයන් ඇතුළු විශේෂඥ පරීක්ෂණ, වෙළඳ දැන්වීම් සඳහා සංවාද යෙදුම් හරහා රහසිගතව මයික්‍රොෆෝන සක්‍රිය කරන බවට සාක්ෂි සොයා ගෙන නොමැත.

බොහෝ විට ඉලක්කගත වෙළඳ දැන්වීම් පැමිණෙන්නේ, ඔබේ සෙවුම් ඉතිහාසය සහ වෙබ් අඩවි ක්‍රියාකාරකම්,යෙදුම් අන්තර්ක්‍රියා (like, search, click) ඔබ සිටින ස්ථානය සහ හැසිරීම් දත්ත මත‍ මෙන් ම දැන්වීම්කරුවන් හෝ ලුහුබැඳීමේ ජාල(tracking networks) විසින් බෙදා ගන්නා ලද දත්ත මත වේ. මේ පිළිබඳව තව දුරටත් තොරතුරු මෙතනින්.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube

Avatar

Title:වෙළඳ දැන්වීම් සඳහා ජංගම දුරකතනය ඇත්තටම ඔබේ සංවාදවලට සවන් දෙනවාද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *