ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂවලට, සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීමට ලබා දී තිබූ දින 21ක කාල සීමාව ඊයේ(13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා

ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ගෙන් 38 දෙනාගෙන් 35 දෙනෙකු වියදම් වාර්තා ලබා දී තිබූ බව, අද (ඔක්තෝබර් 14 වැනිදා) මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න මහතා, අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් මහතා යන අපේක්ෂකයන්, පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ අපේක්ෂකයන් නාමයෝජනා කළ ඡන්දහිමියන් විසින් ආදායම් සහ වියදම් වාර්තා වෙන වෙනම සකස් කර භාර දී නොමැති බවයි.

එසේම අපේක්ෂකයන් විසින් ආදායම් සහ වියදම් වාර්තා ලබා දී ඇතත් එම අපේක්ෂකයන්ගේ පහත සඳහන් පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් හෝ අපේක්ෂකයන් නාමයෝජනා කළ ඡන්දහිමියන් විසින් ආදායම් සහ වියදම් වාර්තා ලබා දී නොමැත බව එහි වැඩි දුරටත් පෙන්වා දෙනවා.

1. ලේකම්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ

2. ලේකම්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය

3. ලේකම්, එක්සත් ලංකා පොදුජන පක්ෂය

4. ලේකම්, සමබිම පක්ෂය

5. වන්න ලලින් වික්‍රමසිංහ මහතා (අපේක්ෂකයා නාමයෝජනා කළ ඡන්දහිමියා)

6. එච්. එම්. අසිත බණ්ඩාර මහතා (අපේක්ෂකයා නාමයෝජනා කළ ඡන්දහිමියා)

7. අර්චනා රණතුංග මිය (අපේක්ෂකයා නාමයෝජනා කළ ඡන්දහිමියා)

එසේම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී.



මැතිවරණ වියදම් වාර්ථාව භාර නොදීම?

පනතේ 8(අ) වගන්තිය දක්වන්නේ පනතේ දක්වා ඇති ප්‍රතිපාදන අනුව මැතිවරණ ප්‍රචාරණය සඳහා ලැබූ පරිත්‍යාග සහ වියදම් පිළිබඳ වාර්ථා සහ ප්‍රකාශ නිසි පරිදි භාරදීමට අපොසත් වන දේශපාලන පක්‍ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්‍ෂකයකු වරදක් සිදුකරන අතර එය අදාළ මැතිවරණ පවත්වනු ලබන පනතේ හෝ ආඥා පනතේ සඳහන් වන “නීති විරෝධි ක‍්‍රියාවක්” යන වරදට ගැනෙන වරදක් බවත් ඒ අනුව අදාළ පනත හෝ ආඥා පනතේ සඳහන් දඬුවම ලැබිය යුතු බවට සඳහන් ය.

මැතිවරණ වියදම් වාර්තාවේ යම් ගැටළු තිබේ නම් හෝ අපේක්ෂකයෙකු සීමාව ඉක්මවා වියදම් කර ඇත්නම් සිදුවන්නේ කුමක්ද?

  • අවසරලත් මුදලට වඩා වියදම් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි.
  • එවැනි අපේක්ෂකයෙකුගේ පත්වීම අධිකරණ තීන්දුවක් හරහා අවලංගු කළ හැක.
  • මූල්‍ය වාර්තාවල කිසියම් විෂමතා ඇත්නම්, ඕනෑම අයකුට අදාළ ලියකියවිලි සහිතව පොලිසියට පැමිණිලි කළ හැක.

මැතිවරණ වියදම් නියාමනයට අදාලව මැතිවරණ පෙත්සම්

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ වන වරදක් මැතිවරණ පනත් යටතේ එන "නීති විරෝධී ක්‍රියාව යන වරදට අයත් වේ. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මහ මැතිවරණ පනත සහ ජනාධිපතිවරණ පනත යටතේ මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළ හැකි වරදක් ලෙස නීති විරෝධී ක්‍රියාව හඳුනාගෙන ඇත. ඒ අනුව, මැතිවරණ වියදම් නියාමන පනත යටතේ සිදුකරන වරදක් පාදක කරගෙන මැතිවරණ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව ඇත.

පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම.

  • අවසර ලත් වියදම පිළිබඳ විමසිලිමත් වීම.
  • මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳව විමසිලිමත් වීම.
  • තහනම් මූලාශ්‍රයන්ගෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ලැබෙන්නේ දැයි විමසිලිමත් වීම.
  • පනත යටතේ වැරදි පිළිබඳව පොලිසියට මැතිවරණ කොමිෂන් සභාවට සහ මැතිවරණ නිරීක්‍ෂකයන් වෙත පැමිණිලි කිරීම.