මේ දිනවල ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් කෝවිඩ් මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි.

මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද දින (03) පැවති බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Bharatha Prabhâshana Thennakoon නම් අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ,

“🔺 අද දින අතිනත්ගන්නා සවේන්දර සිල්වා මැතිතුමාගේ සහෝදරියගේ දුවට සහ එම ස්වාමියාට ප්‍රීතිමත් විවාහ ජීවිතයකට ආසිරි.. අද මධ්‍යම රාත්‍රියේ සිට විවාහ මංගල්ල උත්සව තහනම්” යනුවෙනි.

Facebook | Archived Link

එමෙන්ම ඒ සම්බන්ධයෙන් Tikiri Subhashini Wipfler යන අය විසින් සඳහන් කර තිබුණේ, “ අද එක රටක හමුදාපති ගේ ඥාති දුවගේ විවාහය.අදින් පස්සේ ඒ රටේ විවාහ,අනෙකුත් උත්සව තහනම්. වේදනාවට හිනා එනවා.. (Cinnamon Grand)” යනුවෙනි.

Facebook | Archived Link

ඉහත සටහන් වලින් සඳහන් කර ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින බලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික කටයුතුවලට මූලිකත්වය දෙමින් රටට බලපවත්නා නීති ක්‍රියාත්මක කරන බවයි.

එසේම එම උත්සවයේ ඡායාරුප පෙළක් බව පෙන්වන සටහනක් ද හුවමාරු වී තිබෙනු අපට පහත පරිදි දැක ගන්නට ලැබුණා.

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ, කෝවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත Alert Level 3 (සෝදිසි අවධි - 3 ) මාර්ගෝපදේශයට අනුව 2021 මැයි 01 දින සිට ජනතාව ක්‍රියාකළ යුතු ආකාරයයි.

එහි මෙසේ සඳහන් වන්නේ “2021 මැයි 04 දින සිට මැයි 20 දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබේ. මැයි මස 20 දිනට පසු පවතින කෝවිඩ් තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කෙරේ” යනුවෙනි.

මෙවන් තත්ත්වය හමුවේ අප්‍රේල් 03 වන දින සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍ය පැවැත්වීමෙන් පසුව මංගල උත්සව නැවත්වීමට තීරණය කර ඇති බවට හමුදා පතිට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට අප යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධ කර ගත්තා.

ඒ මහතා සඳහන් කළේ, මෙය සම්පූර්ණ අසත්‍යක් බවයි. තමන්ට නැගණියක් ඇති බව සත්‍ය කරුණක් මුත් නැගණියගේ දියණිගේ විවාහ උත්සවයක් පැවැත්වූවේ නැති බවත්, එම දියණියන් අවුරුදු 20 ටත් අඩු වයසේ වන අතර මෑතක දී විවාහ වීමේ අපේක්ෂාවක් ද නොමැති බවයි.

තව ද අද දින හිටපු හමුදා නිළධාරියෙකු වූ සම්පත් වීරසූරිය යන අයගේ දියණියගේ විවාහ උත්සවය Cinnamon Grand හෝටලයේ දී පැවති බවට ද ඉහත සටහන් වලද පසුව හුවමාරු වී තිබු බැවින් මේ පිළිබඳව විමසීමේදී, එම පාර්ශවය හමුදාපතිවරයාගේ නැගණිය නොවන බවත් හමුදාපතිවරයා මෙම මංගල උත්සවය සඳහා සහභාගී නොවූ බවත් පවසා සිටියා.

හමුදාපතිවරයා මෙම මැයි 03 වැනිදා පැවති මංගල උත්සවය සඳහා නොපැමිණි බව මංගල උත්සවය හා සම්බන්ධ අනෙකුත් පාර්ශව සමඟ විමසීමේ දී ද අපට අනාවරණය වුණා.

එසේම හිටපු මේජර් ජෙනරාල් වරයකු වූ චාගී ගාල්ලගේ මහතා සමඟ යුධ හමුදාපති තුමා සිටින ඡායාරුපයක් ද ඉහත සටහන් සඳහා යොදාගෙන තිබු අතර එය මෙම මංගල උත්සවයට අදාළ ඡායාරුපයක් නොවේ. එම ඡායරුපයත් සමඟ 2020 වසරේ පළවූ සටහනක් මෙතනින්

මේ සම්බන්ධයෙන් චාගී ගාල්ලගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

Update : එමෙන්ම මැයි 03 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති බවට දක්වා තිබූ මංගල උත්සවයේ ඡායාරූපයේ සිටින්නේ තම නෑනා බව සඳහන් කරමින් Saptha Wanniachchi යන අයෙක් Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා.

එම පණිවිඩයේ සඳහන් වුණේ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සමග ඔවුන්ට කිසිදු ඥාති සබඳතාවක් නොමැති බවයි. රට තුළ මෙවන් වාතාවරණයක් තිබියදී සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරවීමට මෙම සිදුවීම කදිම උදාහරණයක් බවයි.

එම Twitter පණිවිඩය පහතින්

Twitter | Archived

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප Saptha Wanniachchi යන අයගෙන් විමසීමක් කළා. ඔහු තවදුරටත් අවධාරණය කළේ, මෙහි සිටින්නේ තමන්ගේ බිරිඳගේ නැගණිය බවත් ඇය හෝ ඇයගේ ස්වාමිපුරුෂයාගේ පාර්ශ්වයෙන් හෝ කිසිදු ඥාති සබඳතාවක් හෝ දැනහැඳුනුම්කමක් හෝ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමග නොමැති බවයි.

එමෙන්ම මෙම මංගල උත්සවය කොළඹ kingsbury හෝටලයේ පැවැත්වූ බවද ඔහු සඳහන් කළා.

(මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදී)

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද දින නොපැවැත් වූ බවයි. හුදෙක් ජනතාව නොමග යැවීමට හා යුද හමුදාපතිවරයාට අපහාස කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවක් ද පෙනී යනවා.

Avatar

Title:යුද හමුදාපතිගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද (මැයි 03) පැවැත්වූවාද?

Fact Check By: Sara Gunaratne

Result: False