ජනපති , අගමැති ඇතුළු මැති ඇමති වරුන්ගේ ආරක්ෂක රථ පෙළ සම්බන්ධයෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවත් නිර්මාණය වෙනු අපට දැක ගණනට ලැබෙනවා. මේ ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළක් බව හඟවමින් පළකර තිබු බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ වීඩියෝවක සත්‍ය කරුණු පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“Sajith Premadasa’s Squad | 2025 Next president ඔබට අපගේ උනුසුම් සුභ පැතුම් ලෙස සඳහන් කරමින් Pubudu official නම් ෆේස්බුක් පිටුවක පළවූ වීඩියෝවක් මඟින් අදහස් කිරීමට උත්සාහ ගෙන තිබුනේ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළක් ගමන් ගන්නා ආකාරයක් බවයි. එම වීඩියෝව පහතින්.

https://vimeo.com/562731686

Facebook | Archived

කෙසේනමුත් බැලු බැල්මටම මෙය මැතිවරණ ප්‍රචාරණ රැළියක් සඳහා සහභාගී වී පිටත්වන අවස්ථාවක දර්ශන පෙළක් බව පෙනී යනවා. එසේම අවස්ථා 3 කදී ලබා ගත් වීඩියෝ කොටස් මෙලෙස තනි වීඩියෝවක් ලෙස සංස්කරණය කර යොදා ගෙන තිබුණා.

මෙම සටහනේ වීඩියෝ දර්ශනයන්හි පසුබිම පිළිබඳ අදහසක් ලබා නොදීම මඟින් සහ සජීවී වීඩියෝවක් (FB Live) ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළ යයි සඳහන් කර තිබීම හේතුවෙන් හැඟවෙන්නේ එම සියලු මෝටර් රථ ආරක්ෂක රථ පෙළ ලෙස යොදා ගෙන ඇති බවයි. මෙම සටහන නොමඟ යවන සුළු සටහනක් බවට කිහිප දෙනෙක් ම අදහස් ඉදිරිපත් කර තිබුණා.

එසේම මෙම ෆේස්බුක් පිටුවේ මේ ආකාරයෙන්ම පළවූ වෙනත් සටහන් ද කිහිපයක් දැක ගන්නට ලැබුණු හෙයින් මේ පිළිබඳව අප විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝවේ මුල් කොටසින් දැක්වෙන වීඩියෝවේ පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාව වැඩි වශයෙන් සහභාගී වන මැතිවරණ ප්‍රචාරක රැළියක් බවට එම වීඩියෝවේ සඳහන් වටපිටාව නිරීක්ෂණය කිරීමේදී දක්නට ලැබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ පෝස්ටරයේ ඔහුගේ නම සඳහන් වන්නේ ද දෙමළ භාෂාවෙනි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණයේ දී අපට එහි මුල් වීඩියෝව යූටියුබ්හි සොයාගැනීමට ලැබුනේ මෙලෙසිනි.

https://vimeo.com/563043933

අප මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී තහවුරු වුණේ, එම ස්ථානය මඩකලපුව දිස්ත්‍රක්කයේ Kaluthavalai මහජන ක්‍රීඩාංගණය බවයි. වීඩියෝ දැක්වෙන රථ පෙළ ඉදිරියට පැමිණෙන අවස්ථාවේ පෙන්වන ස්ථානය Google Map හි දැක්වෙන්නේ මෙලෙසිනි.

2019 නොවැම්බර් මාසයේ දී ජනපතිවරණයට දින කිහිපයකට පෙර පැවති මෙම ප්‍රචාරක රැළියට, පදිරුප්පු මැතිවරණ කොට්ඨාෂයේ සංවිධායක එස්. ගනේෂමූර්ති විසින් සංවිධානය කර තිබු අතර මනෝගනේෂන්, රිෂාඩ් බදියුදීන්, දයා ගමගේ සහ රෝහිත බෝගොල්ලාගම යන අයද සහභාගී වූ බවට DailyNews පුවත්පත් වාර්තාක් මෙතනින්.

එමෙන්ම එම වීඩියෝවේ සඳහන් රථ පෙළ එකම දිශාවකට නොව අනෙක් දිශාවටද ධාවනය කරන අයුරු එම වීඩියෝවෙන් දැක්වේ. ඒ අනුව එකළ පැවති යහපාලන ආණ්ඩුව සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඇමති ධුර දැරූ පුද්ගලයන් කිහිප දෙනෙක් ද ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගී වූ එම රැළියේදී ඔවුන්ට අයත් ආරක්ෂක රථ පෙළද මෙම වීඩියෝවේ දක්නට ලැබෙන බව පෙනී යනවා.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් කළා. සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍යයෙන් ආරක්ෂක රථ පෙළ සඳහා මෝටර් රථ 3ක් පමණ සහභාගී කරගන්නා අතර උපරිමය රථ 5ක් පමණ වන බවද ඔහු පවසා සිටියා.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙන වීඩියෝවේ දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අයත් ආරක්ෂක රථ පෙළ පමණක් නොව එම අවස්ථාවට පැමිණි ප්‍රභූ පිරිසගේ ආරක්ෂක රථ පෙළ ද අයත් බව ද අවධාරණය කර කළා.

එසේම ඉහත වීඩියෝවේ දෙවන කොටසේ දර්ශන පෙළ ද මැතිවරණ ප්‍රචාරක රැළියක දී ලබාගත් දසුන් පෙළක් වන අතර අවසන් වීඩියෝ කොටසේ දැක්වෙන්නේ BMW i8 මෝටර් රථ කොළඹදී ප්‍රදර්ශනය කිරීම සඳහා ගෙන ගිය මෝටර් රථ පෙළපාලියේ වීඩියෝවක් වේ. එම වීඩියෝව මෙතනින්.

මේ ආකාරයෙන් මැතිවරණ හෝ වෙනත් ප්‍රචාරක රැළි හෝ වෙනත් විශේෂ අවස්ථා සඳහා සහභාගී වූ අවස්ථාවන් හි දී ලබාගත් දර්ශන යොදා ගනිමින් එදිනෙදා යොදා ගන්නා නිල රථ පෙළක් යන අදහස මීට පෙර ද අවස්ථා ගණනාවක දී විවිධ දේශපාලකයින් අළලා පළවී තිබෙනවා.

මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක රථ 18ක් යොදාගන්නා බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පමණක් අයත් නිල ආරක්ෂක රථ පෙළක් නොව අනෙක් තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ද ඇතුළත් ප්‍රභූ පිරිසට ද අයත් ආරක්ෂක රථ පෙළක්. 2019 නොවැම්බර් මස පැවති පූර්ව ජනපතිවරණ ප්‍රචාරක රැලියක් අවසානයේ ගමන් ගත් ආකාරයක් මෙමගින් දැක්වේ.

සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය භාවිතයේදී මෝටර් රථ 3 ක් පමණක් භාවිතා කරන අතර ඒ ගණන උපරිමය 5 ට වඩා වැඩි නොවන බවද විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් තහවුරු කළා.

Avatar

Title:සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළෙහි වීඩියෝවක්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading