දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සුනාමි, භූමි කම්පා, ගංවතුර වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ එම ආපදා තත්වයන්ට අදාළ පැරණි වීඩියෝ සංසරණය වීම සමාජ මාධ්‍ය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයක්. අප්‍රේල් 20 වනදා ජපානයේ ඇතිවූ භූමිකම්පාව සහ සුනාමි තත්වයට අදාළව එහි දර්ශන ලෙස දක්වමින් නොමග යවන සුළු ලෙස හුවමාරු වූ පැරැණි වීඩියෝ පට සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“සුනාමි රළ උතුරු ජපාන වෙරළට.උතුරු ජපානයේ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවකින් පසු සුනාමි රළ හචිනෝහේ වරායට පැමිණි ඇති බව වාර්ථා වේ.අන්තර්ජාලයේ සංසරණය වන භූමීකම්පාවේ දර්ශණයක්.තවත් රළ ඇති විය හැකි බැවින් වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට වහාම උස් බිම්වලට යන ලෙස ඉල්ලා සිටී.හදිසි කණ්ඩායම් සීරුවෙන් සිටින අතර තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටී. උපුටාගැනීමකි” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 අප්‍රේල් 20 වන සඳුදා ජපානයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් ඉවාටේ ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ, කිලෝමීටර් 10-20ක් පමණ ගැඹුරින් වාර්තා වී තිබුණා. ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබූණා. ඉවාටේ ප්‍රාන්තයේ කුජි වරායට සෙන්ටිමීටර් 80ක පමණ රළක් ළඟා වූ අතර, හොක්කයිඩෝ සහ මියාගි ප්‍රදේශවලට සෙන්ටිමීටර් 30-40ත් අතර උසැති රළ වාර්තා වී තිබුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අප්‍රේල් 20 දින ජපානයේ ඇතිවූ සුනාමි තත්ත්වයට අදාළ වීඩියෝ දර්ශන ලෙස ඉහත වීඩියෝව හුවමාරු වී තිබුණේ මෙවන් පසුබිමකදී ය.
ජපාන මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය විසින් අප්‍රේල් 20 දින ඇති වූ සුනාමි තත්ත්වයට අදාළ වීඩියෝ දර්ශන වාර්තා කර තිබුණා. එම වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. කෙසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත වීඩියෝව නිල මාධ්‍යයන් කිසිවක වාර්තා කර තිබුණේ නැහැ.
ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.
සංසරණය වන වීඩියෝව අප්‍රේල් 20 දින ජපානයේ ඇති වූ භූමිකම්පාවේ දර්ශන පෙළක් නොවේ.
අදාළ වීඩියෝව 2024 වසරේදී ජපන් මාධ්‍ය නාලිකාවක් විසින් පල කර තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝව 2024 ජනවාරි 1 වන දින ජපානයේ ඉෂිකාවා ප්‍රදේශයට ඇති වූ භූමිකම්පාවදී ලබාගත් වීඩියෝවක් වන අතර ඒ බව අදාළ වීඩියෝව පළ කිරීමේදී අදාළ මාධ්‍ය නාලිකාව විසින් පැහැදිලිව දක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තව දුරටත් සොයා බැලීමේදී අදාළ වීඩියෝව 2024.01.01 දින ඉෂිකාවාහි ඇති වූ භූමිකම්පාවට අදාළව X ගිණුමක් ඔස්සේ ද පල කර තිබෙන ආකාරය හඳුනාගැනීමට හැකි වුණා.
භූමිකම්පාව සිදු වූ විට තමා සැමියා සමඟ මෝටර් රථයේ සිටි බවත් නිවසේ සිටියේ දරුවන් තිදෙනා සහ වැඩිහිටියන් පමණක් බවත්. ඔවුන් වහාම නිවසට ආපසු ගිය බවත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බැවින්, ඔවුන් සියලු දෙනාම මෝටර් රථයට නංවාගෙන උස් බිම්වලට ගමන් කළ බවත්, ඒ මොහොතේ තමාට දැනුනේ තමා ජීවතුන් අතර නැති බවක් බවත් අදාළ X සටහන ඔස්සේ එම කාන්තාව සඳහන් කර තිබෙනවා.

Claim 2
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“Breaking News: 7.7 ක දැවැන්ත භූමිකම්පාවෙන් ජපානය සලිත වෙයි. හොකයිඩෝ වෙරළට සුනාමි රළ ඇතුළු වෙයි. ඊයේ (අප්‍රේල් 20) පස්වරුවේ ජපානයේ උතුරුදිග මුහුදු තීරයේ සිදුවූ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවත් සමඟ හොකයිඩෝ (Hokkaido) ඇතුළු ප්‍රාන්ත කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි. මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇතත්, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) විසින් අතිශය තීරණාත්මක “Mega-quake Advisory” (දැවැන්ත භූමිකම්පාවක අවදානම) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ”.යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 අප්‍රේල් මස 20 දින ජපානයට ඇතිවූ භූමිකම්පාව සහ සුනාමි තත්ත්වය වාර්තා කළ ජපන් මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය කිසිවක් විසින් මෙම වීඩියෝව 2026.04.20 දින සිදුවූ ආපදා තත්ත්වයට අදාළව වාර්තාකර නොතිබූ අතර, ඒ හේතුවෙන් අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමුව Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.
අදාළ වීඩියෝව 2011 දී ජපානයට බලපෑ සුනාමි ව්‍යසනය දැක්වෙන වීඩියෝවකි.
ඉහත වීඩියෝව 2015 වසරේදී යූටියුබ් වෙත උඩුගත කර තිබුණු අතර, වීඩියෝවේ සඳහන් වූයේ මෙම වීඩියෝව 2011 මාර්තු 11 වන දින ජපානයේ මියාගි ප්‍රාන්තයේ කෙසෙනුමා නගරයට ඇති වූ සුනාමිය අතරතුර ලබා ගන්නා ලද වීඩියෝවක් බවයි.

අදාළ විඩීයෝව සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂා කිරීමේදී එම වීඩියෝව, Travel with Shravan නම් ෆේස්බුක් පිටුවක පල කර ඇති ආකාරය හඳුනාගැනීමට හැකි වුණා. එම වීඩියෝවේ ” 2011 මාර්තු 11- ජපානයට කිසිදා අමතක නොවන දිනයක්.” යනුවෙන් දක්වා තිබෙනවා.
“මුහුදු රළ ඉහළ ගියා, නගර අතුරුදහන් වුණා, නමුත් ජපානයේ අධිෂ්ඨානය කිසිදා නොසැලෙයි ” යන ශීර්ෂ පාඨය සහිතව වීඩියෝව උඩුගත කර තිබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ අප්‍රේල් 20 දින ජපානයට ඇති වූ භූමිකම්පාව සහ සුනාමියට අදාළ වීඩියෝ පට ලෙස හුවමාරු වන ඉහත වීඩියෝ නොමඟ යවන සුළු වීඩියෝ වන බවත්, එම වීඩියෝ 2024.01.01 දින ජපානයේ ඉෂිකාවාහි ඇති වූ භූමිකම්පාවකට අදාල වීඩියෝවක් සහ 2011 මාර්තු 11 දින ජපානයේ මියාගි ප්‍රාන්තයේ කෙසෙනුමා නගරයට ඇති වූ සුනාමියක් අතරතුර ලබා ගන්නා ලද වීඩියෝවක් වන බවත් ය.


