සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා ඇතැම් දේශපාල පාක්ෂික ක්‍රියාකාරීන් විසින් ජනතාව නොමග යැවීම සඳහා ඇතැම් සිදුවීම වෙනත් අර්ථ කථනයෙන් ලබා දෙනවා සුලබව දක්නට ලැබෙන කරුණක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

බයිලෝකය නමැති ෆේස්බුක් පිටුවක චොකානායකගේ යෝද සංවර්ධනය

බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම කියන්නෙ මේවට තමා 🤗 පාරයි, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි දෙකම එකට යන්නෙ 😌 යනුවෙන් සඳහන් කර තිබුණා. එම සටහන සඳහා යොදා තිබූ ඡායාරූප වලින් දැක්වුණේ අබලන් වූ මාර්ගයක වළවල් වැසි දියෙන් පිරී ඇති බවයි. එමෙන්ම එම මාර්ගය පිළිසකර කිරීම සඳහා කටයුතු කරන පිරිස සම්බන්ධයෙන් බැනරයක්ස එහි දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම බැනරයේ සඳහන් වුණේ, මෙම ව්‍යාපෘතිය කි.මි.100,00 ක මාර්ග සංවර්ධන වැඩ සටහන බවත්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා මන්ත්‍රී සරත් යාපා අබේවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් ගොඩගම පාර පන්ථාරාම පාර කාපට් ඇතිරීමට කටයුතු කිරීම සිදු කරන බවයි.

Archived Link

මේ සම්බන්ධයෙන් news19.lk වෙබ් අඩවියද වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

Archived Link

බැලූ බැල්මට පෙනෙන්නේ පිළිසකර කර විවෘත කරන ලද මාර්ගයක් මෙලෙස අබලන් වී ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම බැනරයේ සඳහන් වුණේ මෙම ස්ථානය ගොඩගම පාර, පන්ථාරාම පාර බවත්, මෙම මාර්ගයේ කාපට් ඇතිරීම සිදුකරන බවත්ය. අප ගොඩගම පාර, පන්ථාරාම මෙම මාර්ගය සම්බන්ධයෙන් පුවත් පළ වී ඇත්දැයි කළ නිරීක්ෂණයේදී අපගේ අවධානය යොමු වූයේ මේ මස (ජූලි) 08 වන දින පළ වූ දිනමිණ පුවත් වාර්තාවකටයි. එම වාර්තාවේ ශීර්ෂ පාඨය වූයේ ‘අවුරුදු 20කින් පන්ථාරාම පාර හදලා නෑ’ යනුවෙන්ද, ‘මාතර අකුරැස්ස පාරේ ගොඩගම පන්ථාරාම මාවත වසර විස්සකට අධික කාලයක සිට සංවර්ධනය නොකිරීමෙන් දැඩි පීඩාවන්ට මුහුණදීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.’ යනුවෙන්ද එහි වැඩි දුරටත් දක්වා තිබුණි.

Archived Link

ඒ අනුව මෑතකදී මෙම මාර්ගය පිළිසකර කර නොමැති බව පැහැදිලි වෙයි. එසේ නම් මෙම පුවත වාර්තා කළ දින ජූලි 08 වන දා සිට ඊයේ (26) දින තෙක් එනම් දින 18ක් ඇතුළත කාලය තුළ මාර්ගය පිළිසකර කර නැවතත් පෙර තත්ත්වයට පැමිණිය යුතු වේ.

අප මේ සම්බන්ධයෙන් වැඩි දුර කළ නිරීක්ෂණයේදී දැක ගැනීමට ලැබුණේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මෙම මාර්ගයේ විවෘත කිරීම සම්බන්ධයෙන් පළ වූ සටහනක්.

“ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග කාපට් කිරීමේ වැවසටහනේ තවත් අවස්ථාවක් ලෙස ගොඩගම පන්සල සිට පන්ථාරාම මාර්ගය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය ආරම්භ  කිරීම ජුලි 18 දින ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.” යනුවෙන් එම සටහනේ දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ඒ අනුව මෙම මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව යෙදී තිබුණේ මේ මස 18 වන දාය. එසේනම් මෙම මාර්ගය මීට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිළියෙළ කළ බවට පැවසෙන්නේ අසත්‍යකි.

මේ සම්බන්ධයෙන් මාතර පුවත් නම් ෆේස්බුක් පිටුවේද සඳහන් කර තිබුණේ මෙලෙසින්.

අප මේ සම්බන්ධයෙන් විමසීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම්වරයාව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර මෙම මාර්ගය පිළිසකර කිරීම ආරම්භ කළේ කවදාද යන්න අප විමසා සිටියා.

මීට වසර ගණනාවකට පෙර අබලන් ව තිබූ මාතර අකුරැස්ස පාරේ, ගොඩගම පන්ථාරාම පාර පිළිසකර කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වන දා සමාරම්භක අවස්ථාව සනිටුහන් කළ බවත් එම අවස්ථාවෙන් පසු මාර්ගයේ සවිකර ඇති බැනරයේ ඡායාරූප ගෙන මෙය පැරණි සිදුවීමක් බවට හඟවා ජනතාව නොමග යැවීම සඳහාත් මෙලෙස දේශපාලනික වාසි ලබා ගැනීම සඳහාත් ඇතැම් පිරිස් මෙම සිදුවීමට වෙනත් අර්ථකථනයක් ලබා දී ඇති බවයි ඒ මහතා පවසා සිටියේ. එමෙන්ම මෙම පිළිසකර කිරීමට නියමතව තිබෙන මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව මාර්ගය අබලන් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවත් එම ප්‍රචාරය අසත්‍ය බවත් එම මඩ ප්‍රචාර සඳහා යොදා ගෙන ඇත්තේ මෙතෙක් එම මාර්ග අබලන්ව තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප බවත් සඳහන් කළා.

අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ එම මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඉංජිනේරුවරයා සම්බන්ධ කරගත් අතර ඔහු සඳහන් කළේ, මෙම මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ සමාරම්භක අවස්ථාවේ සිට සති දෙකක කාලයක් නිල වශයෙන් වැඩ ආරම්භ කිරීමට කල් ගත වන බවයි. ඒ අනුව ලබන 31 වනදා එම මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් පවසා සිටියා.

ගොඩගම පන්සල සිට පන්ථාරාම මාර්ගය කාපට් අතුරන ප්‍රදේශව වන බැවින් අප කෙසේවෙතත් ගොඩගම පන්සලේ නායක හාමුදුරුන්ගෙන්ද මෙම මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස අබලන් තත්ත්වයට පත් වී ඇත්දැයි විමසීමක් කළා.

උන්වහන්සේ සඳහන් කළේ, දීර්ඝ කාලයක් තිස්සේ මෙම මාර්ගය පිළිසකර කර නොතිබුණු බවත් මීට සතියකට පෙර මෙම පිළිසකර කිරීමට කටයුතු කිරීමේ සමාරම්භක අවස්ථාව පැවති බවත් බොහෝ විට අධික වර්ෂාව හේතුවෙන් මාර්ග පිළිසකර කිරීමට අසීරු විය හැකි බවත් උන්වහන්සේ සඳහන් කළා. කෙසේවෙතත් මෙම මාර්ගය බොහෝ කලක සිට ඉතාමත් අබලන් තත්ත්වය පවතින බවත් එම මාර්ගය මීට පෙර පිළිසකළ නොකළ බවට උන්වහන්සේ තහවුරු කළා.

ඒ අනුව පැහැදිලි වන්නේ මෙතෙක් පිළිසකරනොකළ අබලන් තත්ත්වයේ පැවති මාතර අකුරැස්ස පාරේ, ගොඩගම පන්ථාරාම පාර පිළිසකර කිරීමෙන් අනතුරුව සිදුවී ඇති අබලන් තත්ත්වය බවට පෙන්වීමට යම් පිරිසක් උත්සහ දරා ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මාතර අකුරැස්ස පාරේ, ගොඩගම පන්ථාරාම පාර පිළිසකර කිරීමෙන් සිදු වූ අබලන් තත්ත්වය බවට දක්වමින් සඳහන් කර ඇත්තේ අසත්‍ය පුවතක් බවයි. මේ මස 18 වන දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ගය පිළියෙළ කිරීමේ සමාරම්භ අවස්ථාව සනිටුහන් කළ අතර එම මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු නිල වශයෙන් ඇරඹෙන්නේ මේ මස 31 වන දා බවට මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රදේශයේ ඉංජිනේරුවරායා පවසා සිටියා. මීට බොහෝ කලකට පෙර මෙම මාර්ගයේ පිළිසකර කටයුතු සිදු නොවුණු බවට ගොඩගම පන්ථාරාම විහාරයේ වැඩවසන හිමි නමක් පවසා සිටියා. ඒ අනුව මෙම අසත්‍ය පුවත ජනතාව නොමග යැවීම හා ඇතැම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා සිදු කරන ලද්දක් බවට පැවසිය හැක.

Avatar

Title:කතානායකවරයා මැදිහත්ව කාපට් කළ මාර්ගයේ වළවල්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading