කොවිඩ් ආසාදිත රෝගියෙකු දැයි හඳුනාගැනීම සඳහා දැනට ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රම දෙකක් වන්නේ PCR පරීක්ෂාව සහ රැපිඩ් අන්ටිජන් (Rapid Antigen Test) පරීක්ශාවයි. කෙටි කාලයක දී ප්‍රතිඵල ලබාගත හැකිවීම හේතුවෙන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් ලංකාවේ ද විවිධ අවස්ථාවල දී සෞඛ්‍ය අංශ හරහා සිදුකෙරෙනවා.

මෙසේ සිදුවන රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් සඳහා උපයෝගී කරගනු ලබන Rapid Antigen Test Kit හි මිල සම්බන්ධයෙන් පසුගිය දා සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

වියත්මග ජෝකර්ස් - Viyathmaga Jokers නම් ෆේස්බුක් පිටුවේ ලංකාවේ Rapid Antigen Test Kit සම්බන්ධයෙන් සිදුවන ආසධාරණය පිළිබඳව සඳහන් කර තිබුණේ මෙලෙසිනි.

වසංගතය වසන්තයක් කර ගෙන ඇති තුට්ටු දෙකේ ශ්‍රී ලංකා දේශපාලන සමාගම

ලිපි නොලිය සිටීමට තීරණය කර තිබුණත් අද ලංකාවේ වසංගතයට මුවාවී අමු අමුවේ මහ දවල් කරගෙන මේ මංකොල්ලකෑම් ගැන රටේ ජනතාවට යම් තරමින් හෝ කියා දිය යුතු යැයි සිතා මේ සටහන තබමි.

පහතින් මා දමා ඇති Rapid Antigen Test kit එක මා ජීවත් වෙන රටේ ඕනෑම Pharmacy එකකින් නොමිලේ ලබා දීමට මෙරටේ රාජ්‍ය අනුග්‍රාහය යටතේ සිදුවේ.මේ එක Box එකක Tests 7-10 අතර ප්‍රමාණයක් අන්තර්ගතය.

මේ Test එක ඉතා පහසුවෙන් ඕනෑම කෙනෙකුට තනිවම සිදුකර පැය භාගයක් වැනි ඉතා සුලු කාලයක් තුල CovID-19 Positive ද නැත්නම් Negative ද කියා බලාගත හැක.

ඒත් අපි බලමු ලංකාවේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා

Rapid Antigen Test kit එක ඩොලර් 2-4 අතර ගානකට දිලිත් ජයවීරට අයත් සමාගමකින් ගෙන්වා ඒ එක Test එකක් රුපියල් 2500 වැනි හෙණ ගැසිය යුතු මුදලකට විකුණා දිලිප් ජයවීර හා ඔහුව මෙහෙයවන දේශපාලන නඩය අධික ලාභයක් ඉපයීම මේ දිනවල ලංකාවේ ඉතා සාර්ථකව කරගෙන යනු ලබයි.

මේ එක Box එකක Test 10 ක් ඇත්නම් ඔහුන් මේ එක Box එකක් රුපියල් 500 අඩු මුදලකට ලංකාවට ගෙන්වා රුපියල් 25000 ආසන්න මුදලකට මහා ජනතාවට විකුණා රුපියල් 20000 වඩා අධික ලාභයක් එක ඩොලර් 2-4 Box එකකින් උපයයි.

මෙහි ඇති ඉතාමත් කණගාටුදායක කාරණය වන්නේ මෙය රජය මැදිහත් වී ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව හරහා ගෙන්වා හුස්ම උඩට පහලට ගන්න සටනක් දෙන ජනතාවට නොමිලේ හෝ යම් සහනදායි මිලකට දෙන එක පැත්තකට තියා දිලිත් ජයවීර වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට අධික ලාභක් ලැබීමට සියලුම ගෙන්වා බෙදාහැරීමේ තනි අයිතිය ලබා දීමය.

අනිත් හාස්‍යජනක කරුණ වන්නේ මේ මේ Rapid Antigen Test kit එක සාමාන්‍ය කෙනෙක් ලංකාවට යැවූ විට එය රටට සහතික නොකල වෛද්‍ය මෙවලමක් යැයි කියා රේගුව විසින් රඳවා ගන්නේ ශ්‍රීලංකා ඖෂධ නියාමක අධිකාරියේ නියමයන් අනුවය.

එම කරුණු දක්වා තිබූ ෆේස්බුක් සටහන පහතින්.

Facebook | Archived Facebook | Archived

මෙම සටහනසමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

PCR සහ Rapid Antigen පරීක්ෂණ

කොවිඩ් වෛරසය වැළඳී ඇත්දැයි සිදු කළ යුතු සායනික පරීක්ෂණය වන්නේ PCR (Polymerase Chain Reaction) පරීක්ෂණයයි. මෙහි ප්‍රථිඵල ලැබීමට ගතවන කාලය වැඩි හෙයින්ද කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය වර්ධනය වීමත් සමග වඩා වේගවත්ව ප්‍රතිඵල දැනගැනීම සඳහා විකල්ප පරීක්ෂණවල අවශ්‍යතාවය ද මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (RAT) සිදු කිරීම ආරම්භ වුණා. PCR පරීක්ෂාවකට වඩා Antigen පරීක්ෂාවේ ප්‍රතිඵල වල නිරවද්‍යතවයේ සුළු අඩුවක් තිබිය හැකි වුවද ඉක්මන් ප්‍රතිඵල ලැබීම හේතුවෙන් එම පරීක්ෂාවන් ද ලොව පුරා සිදුකෙරෙනවා. මේ ආකාරයේ විවිධ කොවිඩ් පරීක්ෂණ ක්‍රම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කිරීමක් මෙතනින්.

ඒ හේතුවෙන් ලංකාවේ ද රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්වලද, මෙම පරීක්ෂණය සිදු කරනු ලබන අතර එහි ප්‍රතිඵල විනාඩි 30 ක් වැනි කාලයක් ඇතුළත ලබා දීමට හැකියාව පවතියි. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය සම්බන්ධයෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා 2020 නොවැම්බර් මස දැක්වූ අදහස් මෙතනින්.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීම සඳහා අධික මුදලක් දැරීමට සිදු වීම පිළිබඳ බොහෝ පිරිස් චෝදනා කර තිබුනේ එම පරීක්ෂණ සඳහා රෝහල්වලින් අය කළ මුදල් රු. 2500-3000ක් හෝ ඇතැම් අවස්ථාවල දී ඊට ද වඩා මුදලක් වැය වන බවට කරුණු දක්වමින්.

ජෝර්ජ් ස්ටුවට් සමාගම..

මෙරටට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය කරනු ලබන George Steuart Health සමාගම විසින් රු.2500 ක වැනි මුදලකට මෙම කට්ටල අලෙවි කරන බවට ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබූ සටහන් සඳහා එම සමාගම විසින්ද ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් පළ කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබූ අයුරු අපට දැක ගන්නට ලැබුණා. එම නිවේදනය පහතින්.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-353 Antigen Dilith Jayaweera-WhatsApp Image 2021-08-14 at 21.54.49.jpeg

Facebook | Archived Link

මෙහි දක්වා තිබූ කරුණු අනුව, මෙම පරීක්ෂණ කට්ටලයක් සඳහා එවකට ඩොලරයක හුවමාරු වටිනාම රු.187 ක් ලෙස සැලකිල්ලට ගනිමින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය සේවා ආයතවනලට අදාළ වන පරිදි රු. 1,146.22 ක උපරිම මිලක් නියම කර තිබුණු බවත්, විශාල තොග වශයෙන් මිලදී ගනු ලබන අවස්ථා වලදී ඉහත සඳහන් මිලට වඩා අඩු මිලක් යටතේ ශ්‍රී ලංකා රජයට පරීක්ෂණ කට්ටල ලබා දුන් බවත්, ශ්‍රී ලංකා රජය විසින් මිලෙහි වෙනසක් සිදු කරනු ලබන තුරු ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම ඉහත සඳහන් කළ මූලික මිලකට අලෙවි කරන බවත් සඳහන් වී තිබුණා.

අප මේ සම්බන්ධයෙන් විමසීමට ජෝර්ජ් ස්ටුවට් සමාගමේ මහජන සම්බන්ධතා ආයතනයේ නිලධාරීවරයෙකු දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඒ මහතා සඳහන් කළේ, ජාතික ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ලබා දුන් උපරිම මිලට යටත්ව රු.1,146ක මුදලකට මෙම පරීක්ෂණ කට්ටල අදාළ රෝහල්වලට ලබා දුන් බවත් තොග වශයෙන් ලබා ගත් ආයතන සඳහා ඊටත් අඩු මුදලකට ලබා දුන් බවයි. එම මිලට ඉහළින් කිසිදු ඇන්ටිජන් පරීක්ෂණ කට්ටයලයක් විකුණා නැති බව ඉතාමත් වගකීමෙන් පවසන බවත් එවැනි අවස්ථා ඇත්නම් රෝහල් වෙතින් හෝ ඖෂධ නියාමන අධිකාරියට හෝ පැමිණිලි ලැබිය යුතු බවටද ඔහු සඳහන් කරනු ලැබුවා.

ඖෂධ නියාමන අධිකාරියෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලියාපදිංචි සහතිකයද අපගේ ඉල්ලීම පරිදි ඔවුන් අප වෙත යොමු කරනු ලැබුවා. එම සහතිකය පහතින්.

ඊට අනුව පසුගිය අවුරුද්දේ ඔත්තෝම්බර් මස අනුමැතිය ලබා දුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වල සන්නාමය වන්නේ Panbio Covid-19 Ag Rapid Test Device(nasopharyngeal). කොරියාවේ Abbott Diagnostics ආයතනය මගින් මෙම පරීක්ෂණ කට්ටල ආනයනය කරන බවට එහි දක්වා තිබුණා. එම සහතිකයේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක ඒකක මිල වශයෙන් සඳහන් කර තිබුණේ, රු.1146.22 ක මුදලකි.

ජෝර්ර් ස්ටුවට් හරහා ගෙන්වන ඇන්ටිජන් කට්ටලයේ සම්මත මිල ගණන්..

මෙම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලය සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී දැකගන්නට ලැබුණේ, ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නිෂ්පාදන කිරීම සඳහා Abbott Diagnostics ආයතනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇති බවයි. එසේම Unicef වෙබ් අඩවියේ මෙරටට ආනයනය කරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ඒකකයක මිළ ඇමරිකානු ඩොලර් 3ක් ලෙස ද නම් කර තිබුණි. එම කට්ටල වර්ගීකරණ 4 ක් දක්වා ඇති අතර ජාතික ඖෂධ අධිකාරියේ ඇන්ටිජන් කට්ටලය ලියාපදිංචි කිරීමේ සහතිකයේ දක්වා තිබූ ලෙස මෙරටට ගෙන්වනු ලබන්නේ 41FK10 නිෂ්පාදන කේතය යටතේ ඇති ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයි.

UNICEF | Archived Link

ඒ අනුව, ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයේ එ්කක මිල (Per Test kit) ඇ.ඩො.3ක් වන අතර එක් කට්ටලයක (1 Pack) පරීක්ෂණ උපකරණ (Tests kit) 25ක් අඩංගු වන අතර එක් කට්ටලයක් (1 Pack) ඇ.ඩො. 75ක් වේ.

ශ්‍රී ලංකා රුපියල් වලින් ඒකකයක මිල රු. 600ක පමණ අගයක් ගන්නා අතර ඒකක 25ක් ඇතුළත් කට්ටලය රු. 15,000ක පමණක අගයක් වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය..

අප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි කමල් ජයසිංහ මහතාගෙන් ජෝර්ජ් ස්ටුවට් ආයතනය මගින් ආනයනය කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් කට්ටල වල විකුණුම් මිල සහ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබුවා.

ඒ මහතා සඳහන් කළේ, මිල නියම කරනු ලබන්නේ වෙනත් රටවල මෙම උපකරණය සඳහා මිල නියමවී ඇති අකාරයත් කලාපීය රටවල් සඳහා මිල නියම වී ඇති ආකාරයත් ආනයනය කිරීමට දැරීමට සිදුවන පිරිවැය යනාදී කරුණු සැළකිල්ලට ගනිමින් බවයි. අදාළ ආයතන කෙතරම් මිලක් තක්සේරු කර තිබුණත්, අධිකාරිය මගින් සාධාරණ මිලක් නියම කරනු ලබන බව ද සඳහන් කර සිටියා. ඒ අනුව ලංකාවට ගෙන්වන රැපිඩ් ඇන්ටිජන් කට්ටල වල ඒකකයක මිල එම උපකරණය ලියාපදිංචි කළ සහතිකයේ දක්වා ඇති බවත්, අදාළ පාර්ශව එකඟතාවයෙන් පසුව එම නිල නියම වී තිබූ අතර, ඊට ඉහළ අගයකින් විකිණෙනු ලබන්නේ නම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමට හැකි බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

මෙතෙක් ජෝර්ජ් ස්ටුවට් ආයතනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නියම කළ මිලට ඉහළ අගයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයතනයන්ට රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල විකුණූ බවට පැමිණිලි නොලැබී ඇති අතර එසේ ලැබුණහොත් ඒ පිළිබඳ විමර්ශනයක් කොට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට හැකියාව පවතින බවද ඒ මහතා අවධාරණය කළා.

එසේම දැනට රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන එනු ලබන්නේ ජෝර්ජ් ස්ටුවට් ආයතනය පමණක් ද යන්න පිළිබඳව අප විමසීමේ දී එතුමා සඳහන් කර සිටියේ වෙනත් ආයතන සඳහා ද රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.

ජෝර්ජ් ස්ටුවට් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලබා ගනු ලබන පෞද්ගලික රෝහලක්..

නවලෝක පෞද්ගලික රෝහලෙන් මූල්‍ය කළමනාකරුගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ රැපිඩ් ඇන්ටිජන් සඳහා පාලන මිලක් පැමිණීමට පෙර සිටම එක් පරීක්ෂණයක් සඳහා ඔවුන් අය කරනු ලැබුවේ රු.2000 ක මිලක් බවයි. ජෝර්ජ් ස්ටුවට් වෙතින් ලබා ගන්නා ඇන්ටිජන් කට්ටල ලබා ගන්නා තොග අනුව මිල ඇතැම් අවස්ථාවල අඩු අගයක් ගන්වා බවත් කෙසේ වෙතත් එම මිල ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වල සඳහා ලබා දී ඇති නියමිත මිලට වැඩි නොවූ බවයි ඒ මහතා සඳහන් කළේ. තවත් පෞද්ගලික රෝහල් කිහිපයකින් ද මෙම කරුණු අප විමසා ඇති අතර එම තොරතුරු අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

පාරිභෝගික කටයුතු අධිකාරිය..

P.C.R. හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් පසුගිය 12 වන දා පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළා. එහි P.C.R. පරීක්ෂණයක් සඳහා උපරිම මිල රු. 6500 ක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් වෙනුවෙන් උපරිම මිල රු . 2000 ක් ද ලෙස නිර්දේශ කර තිබුණා.

එම නිවේදනය පහතින්.

Archived Link

පාරිභෝගික ජනතාව පෞද්ගලික රෝහල් වෙත ගොස් සිය පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමේදී අයකරන මිල ගණන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිලි රාශියක් ලැබී තිබුණ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී ආනාවරණය වී තිබුණේ, P.C.R. පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 5550 සිට උපරිම මිල රු. 9550 දක්වා ද, ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 2000 සිට උපරිම මිල රු. 5550 දක්වා ද, පරාසයක පවතින බවයි. ඒ බවට පාරිභෝගික අධිකාරියේ වෙබ් අඩවියේ දැක්වුණේ මෙලෙසින්.

අප පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ ඩබ්.ඩබ්.ඒ.කේ. බණ්ඩාර මහතාව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඒ මහතාගෙන් අප විමසා සිටියේ ඇන්ටිජන් පරීක්ෂණවල මිල ගණන් පිළිබඳ පැමිණිලි ලැබී ඇත්තේ රෝහල් සම්බන්ධෙයන් ද නැතහොත් අදාළ රෝහල් හෝ සෞඛ්‍ය ආයතයනය වෙත ජෝර්ජ් ස්ටුවට් ආයතනය විසින් වැඩි මිලකට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල විකිණීම සම්බන්ධයෙන් ද යන්නයි.

ඒ මහතා පැවසුවේ පැමිණිලි ලැබී තිබුණේ, රෝහල්වල සිදු කරනු ලබන P.C.R. හා ඇන්ටිජන් පරීක්ෂණවල මිල සම්බන්ධයෙන් පමණක් පාරිභෝගිකයින් විසින් පැමිණිලි කළ බවත්, පරීක්ෂණ කට්ටල ගෙන්වනු ලබන ආයතනයක් සඳහන් කරමින් පැමිණිලි මේ දක්වා නොලැබුණ බවයි. එසේම එම රෝහල් මඟින් හෝ ජෝර්ජ් ස්ටුවට් සමාගම විසින් සිදුකළ අකටයුත්තක් පිළිබඳ පැමිණිලි වාර්තා වී නොතිබුණු බව ද ඒ මහතා සඳහන් කර සිටියා.

ඇන්ටිජන් පරීක්ෂණය තනිව පරීක්ෂා කිරීමට ලංකාවේ දී ඉඩ ලබා නොදෙන්නේ ඇයි?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින් සඳහන් කර තිබුණේ, වෙනත් රටවල ඖෂධහළවල් වලද, මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමට හැකියාව පවතින අතර පෞද්ගලිකව මෙම පරීක්ෂණ තමන් විසින්ම සිදු කළ හැකි බවයි. එවන් සටහනක් මෙතනින්.(මෙහි පෙන්වා තිබෙන්නේ ලංකාවේ දැනට බහුවල භාවිතාවන සන්නාමය නොවේ)

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ගෙන්, නැවත වරක් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, කොවිඩ් සම්බන්ධයෙන් ගෙන්වනු ලබන එන්නත් මෙන්ම ඒ සඳහා භාවිතා කරන පරීක්ෂණ කට්ටලයන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබුණු පසු ඒ සඳහා සායනික පරීක්ෂණද සිදු කර මෙරට ජනතාවට උචිත යන්නද එහි ගුණාත්මක තත්ත්වය වැනි නිර්ණායක යටතේ සියලුම පරීක්ෂණ කිරීමෙන් අනතුරුව පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් අනුමැතිය ලබා දෙන බවයි. එසේම මෙම පරීක්ෂණ පුහුණුව ලත් වෘත්තීය සුදුසු කම් ලැබූ පුද්ගලයන්ගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවත් නැතහොත් එයින් පරීක්ෂණයද නිසියාකාරව සිදු කළ නොහැකි වන අතර ඉන් අනතුරු වුවද සිදුවිය හැකි වන අතර නිසි ප්‍රතිඵල ද නොලැබීම ඉඩකඩක් ඇතිවිය හැකි බව පැහැදිලි කර සිටියා. මෙරටට ගෙන්වනු ලබන Abbott Panbio COVID-19 Ag Rapid Test Device පරීක්ෂණ සිදුකරන ආකාරය පිළිබඳ වීඩියෝවක් මෙතනින්.

එසේම ඉන්දියාවේ පෞද්ගලිකව මෙම පරීක්ෂණ සිදු කිරීමට හැකිවන පරිදි එරට ඖෂධ අධිකාරිය (ICMR) විසින් අවසර ලබා දී ඇති බවට පුවත් වාර්තාවක් අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. කෙසේවෙතත් එම වාර්තාවේ සඳහන් තනිව පරීක්ෂණ සිදු කළ හැකි ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලය, මෙරට ගෙන්වන පරීක්ෂණ කට්ටලයට වඩා වෙනස් බවද අපගේ පෙනී ගියා.

මෙරට ගෙන්වන ලද නිෂ්පාදන කේතය 41FK10 යන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලය සම්බන්ධයෙන් සඳහන් කර ඇති කරුණු වලට අනුව මෙම පරීක්ෂාව වෘත්තීය පුහුණුවලත් සෞඛ්‍ය අංශයේ සේවකයෙකු ගෙන් කර ගන්නා ලෙස ද උපදෙස් ලබා දී තිබුණේ මෙලෙසින්.

Update :

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වන වෙනත් ආයතනයක්

Kish International නම් මෙරට තවත් ආයතනයක් විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වන බවට අප ජාතික ඖෂධ අධිකාරිය විසින් කළ විමසීමේදී සඳහන් කළ අතර එම ආයතනයේ කළමණාකරුගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ, GenBody Inc, නම් කොරියානු ආයතනයක් මගින් අදාළ පරීක්ෂණ කට්ටල (GenBody COVID-19 Ag) ගෙන්වන බවත්, එම එක පරීක්ෂණ කට්ටලය මිල රු.1100 ක් බවත්ය. එම මුදල යටතේ Nawaloka, Lanka Hospital වැනි රෝහල් ද එම පරීක්ෂණ කට්ටල මිළදී ගත් බවද ඒ මහතා පවසා සිටියා.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය පවසා සිටියේ මේ වන විටත් මෙරටට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීමට තවත් ආයතන තුනක් පමණ ඖෂධ අධිකාරියේ නිර්දේශ ලබාගැනීමට යොමු කර ඇති අතර මේ වන විට ඒ සඳහා අදාළ අධීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවත්ය.

සැ.යු : අප විසින් කරුණු පරීක්ෂාව සිදු කරණු ලැබුවේ ජෝර්ජ් ස්ටුවට් ආයතනය ඖෂධ නියාමන අධිකාරිය විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොදාගන්ණා පරීක්ෂණ කට්ටලයක මිලට වඩා වැඩි මිළකට පාරිභෝගිකයන්ට විකුණූ බවට පළ වන කරුණ සම්බන්ධයෙන් පමණි. පාරිභෝගික අධිකාරිය විසින් උපරිම මිල පැනවීමට පෙර විශාල ලාභයක් තබා ඇතැම් පෞද්ගලික රෝහල් මගින් පාරිභෝගිකයින්ගේ මෙම ඇන්ටිජන් පරීක්ෂණය සඳහා මුදල් අය කර ගෙන තිබූ අතර, ජෝර්ජ් ස්ටුවට් ආයතනයට අදාළ රෝහල් හරහා එම අගයෙන් කොටසක් ලැබුනේ ද නැත්ද යන්න අපට ස්වාධීනව සත්‍යාපානය කළ හැකි කරුණක් නොවේ.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ජෝර්ජ් ස්ටුවට් සමාගම වැඩි මිලකට විකුණුවා ද?

By: Pavithra Sandamali

Result: Explainer