ශ්‍රී ලංකාව තුළ බොහෝ භාණ්ඩවල මිල මේ වන විට ඉහළ ගොස් ඇති ආකාරයත් ඒ හේතුවෙන් ජනතාව ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අයුරුත් දක්නට ලැබෙනවා. මේ අතර අවමංගල්‍ය අවස්ථාවලදී භාවිතා කරනු ලබන මල් වඩමක මිල ද රුපියල් දස දහස දක්වා ඉහළට ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් හේතුවෙන් මෙම පුවතේ සත්‍ය සොයා අප විමර්ශනයක යෙදුණේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“කාබනික පොහොර ගැටළුව හේතුවෙන් ස්වභාවික 'මල් වඩමක' මිල රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇති බව වෙළෙඳ ආයතන පවසයි.” යනුවෙන් සඳහන් කරමින් රු.2,500ක්ව පැවති මල් වඩමක මිල රු.10,000ක් දක්වා ඉහළට යනුවෙන් ෆේස්බුක් සටහනක සඳහන් කර තිබුණා.

Facebook | Archived Link

Facebook | Archived Link

එමෙන්ම මේ පිළිබඳව ඇතැම් වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසා බැලීමයි මේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අවමංගල්‍ය මල් වඩමක මිල ගණන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව විය යුත්තේ මල් මිල ඉහළ යාම බැවින් මෑතකදී මල් මිල ඉහළ ගොස් ඇති බවට ප්‍රධාන පුවත් මාධ්‍ය වාර්තා වී ඇත්දැයි නිරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව, පසුගිය ජනවාරි 16 වන දා හිරු නාලිකාවේ පළ වූ ප්‍රවෘත්තියක් වෙත අපගේ අවධානය යොමු වූවා.

එම පුවතේ සඳහන් වූයේ, මල් මිල ඉහළ ගොස් ඇති බවයි. එයට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරනු ලබන්නේ රසායන පොහොර හිඟ වීම හේතුවෙන් මල් අස්වැන්න අඩු වීම හේතුකොට ගෙන මල් සැරසිලි වල මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමට සිදු වී ඇති බවටයි.

එහිදි ඇතැම් මල් අලෙවිසැල් කරුවන් පවසන්නේ රු.1500ක මුදලකට පමණ විකුණූ මල් සැරසිලි මේ හේතුවෙන් රු.3000ක පමණ මිලකට අලෙවි කෙරෙන බවයි. එහිදී අවමංග්‍ය අවස්ථාවන්ට භාවිතා කරන මල් වඩමක අවම මිල මේ වන විට රු. 3000ක පමණ වන බවද මීට පෙර මල් වඩමක් රු.1500ක මුදලට අලෙවි කළ බවයි එක් මල් අලෙවිකරුවෙක් සඳහන් කළේ. එම වීඩියෝව පහතින්. (01.38)

https://youtu.be/CTIKykEKENM

මල් වඩමක අවම මිල රු.10,000 සීමාවේ ද යන්න සොයා බැලීම සඳහා අප ප්‍රසිද්ධ මල් ශාලා ආයතනයක් වන ‘මහින්ද මල් ශාලාවේ’ කාර්ය මණ්ඩලයෙන් විමසා බැලීමක් සිදු කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ, මල් වඩම් සඳහා තෝරා ගනු ලබන මල් වර්ග අනුව, යොදා ගන්නා මල් ප්‍රමාණය අනුව, අවශ්‍ය මෝස්තරය අනුව සහ එහි ගුණාත්මක තත්ත්වය අනුව මල් වඩම් මිල වෙනස් වන බවයි. ඒ අනුව ඇතැම් මල් වඩම් රු.10,000 සීමාව ඉක්මවීමට ද හැකියාව ඇති බවත් ඔවුන්ගේ ආයතනය මගින් අලෙවි වන මල් වඩමක අවම මිල වන්නේ රු.5000 සීමාව බවත් ඔවුන් අප සමග පවසා සිටියා.

එමෙන් ම තවත් මල් ශාලා කිහිපයකින් ද අප විමසීමක් සිදු කළ අතර, ඔවුන් පැවසුවේද, තෝරා ගනු ලබන මල් වර්ගය සහ ප්‍රමාණය අනුව එහි මිල තීරණය වනු ඇති බවයි. උදාහරණයක් ලෙස රතු රෝස මල් ද ඇතුළත් කර මල් වඩම සඳහා භාවිතා කරන්නේ නම් මිල අධික බවත්, ඩේසියා මල් පමණක් භාවිතා කරන්නේ නම් මල් වඩම් අලෙවි වන අවම මිල අද වන විට රු.2500 සීමාව බවත් සඳහන් කරනු ලැබුවා. මල් වගාකරුවන් සඳහා පොහොර නොමැති වීම හේතුවෙන් මල් අස්වැන්න නිසි පලදාව නොමැති වීම හේතුකොට ගෙන මල් වල මිල ඉහළ දැමීම නිසා මෙලෙස මල් සැරසිලි මිල ඉහළ ගොස් ඇති බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අනුව පැහැලි වන්නේ මල් වඩමක් අලෙවි වන අවම මිල සීමාව රු.10,000 මිල නොවන බවයි.

අද වන වටි පවතින මල් වල මිල ගණන් සහ මල් වඩම් වල මිල වානිජමය වෙබ් අඩවියක් දක්වා තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අවමංගල්‍ය අවස්ථාවන් වලදී භාවිතා කෙරෙන මල් වඩමක් රු.2,500ක්ව පැවති මිල රු.10,000ක් දක්වා ඉහළට යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළුයි. අද වන විටත් මල් වඩමක් රු.2500 සීමාවේ සිට විවිධ මිල ගණන් යටතේ ඇති අතර එහි අවම මිල රු. 10,000ක් නොවන බවට මල් අලෙවි කරුවන් මෙන්ම මල් ශාලා ආයතන පවසනු ලබයි. නමුත් මල් වගාකරුවන් සඳහා පොහොර නොමැති වීම හේතුවෙන් මල් අස්වැන්න නිසි පලදාව නොමැති වීම හේතුකොට ගෙන පසුගිය කාලයේ දී මල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

Avatar

Title:'මල් වඩමක' මිල රුපියල් 10,000 දක්වා ඉහළට ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading