ලංකාවේ උද්ගතව පවතින දැඩි ආර්ථික අර්බුදය මුල්කරගනිමින් මතුවු ජනතා විරෝධය හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරය අත්හැරයාමට සිදුවුණා. එවන් වටපිටාවක් තුල මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුල විවිධ සටහන් පළවනවා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පැතිර තිබුණු සමාජ ජාලා සටහන් කිහිපයක්.

මේ ඔහු සම්බන්ධයෙන් WhatsApp හරහා බහුලව හුවමාරුවන සටහන් කිහිපයක්.

එවැනි සටහන් ෆේස්බුක් අවකාශයේද පැතිර පැවතියේ මේ අයුරින්.

Facebook| Archived Facebook| Archived

තවත් සටහන් පෙළක් පහතින්

Facebook | Archived Facebook

මීට අමතරව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය සම්බන්ධ කර ගනිමින් සමාජ සමාජ ජාලා සටහනක් නිර්මාණය වී තිබුණේ මේ අයුරින්.

එහි ඡායාරූපයක් පළ කරමින් සදහන් කරමින් තිබුණේ 2022 මේ වන විට ඇතිව ඇති ඉන්ධන අර්බුදය නිසා ඇය පාපැදියෙන් ගමන් කිරීමට හුරුව ඇති බවයි.

Facebook | Archived

මේ සම්බන්ධයෙන් කරුණුසොයා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

නැවත වරක් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉන්ධන මිල වැඩිවූ විට බයිසිකලයක නැග පාර්ලිමේන්තුවට ගිය බවට සමාජ ජාලාවල පළවන ඡායාරූප සටහනේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු එවකට විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් 2017 වසරේදී පාපැදිවල නැග පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවකි. එයට හේතු වී තිබුණේ 2017 වසරේ ඇතිවූ ඉන්ධන හිඟයකට විරෝධය පෑමක් ලෙස මිස ඉන්ධන මිල ඉහල යාමකට විරෝධය පාමින් නොවේ. මේ පිළිබඳ අප මීට මාස කිහිපයකට පෙර සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් බයිසිකලේ නැග පාර්ලිමේන්තු ආවේ ඉන්ධන මිල වැඩිවීමකට එරෙහිවද ?

ඉන් අනතුරුව අප අවධානය යොමුකළේ, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා විසින් මේ දිනවල ගමන් කිරීම සඳහා හෙලිකොප්ටරයක් යොදාගත් අවස්ථාවක් ලෙස හුවමාරු වන ඡායාරුපය සම්බන්ධයෙනුයි.

මෙහි මුල් ඡායාරුපය නිශ්චිත වශයෙන් ම සොයා ගැනීමට හැකි වුයේ නැති වුව ද Reverse Image Search සිදු කල අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය මීට වසර කිහිපයකට පෙර සිට අන්තර්ජාලයේ පළ වූ ඡායාරූපයක් බවයි.

එම ඡායාරූපය 2018 වසරේ නොවැම්බර් මාසයේදී Twitter සටහනක පළව තිබුණේ මේ අයුරින්.

Tweet | Archived

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

එම හෙලිකොප්ටරය ගුවන් හමුදාවේ යානයක් බව පෙනී යන බැවින් මේ ඡායාරුපය සම්බන්ධයෙන් සහ මේ දිනවල ගමන් බිමන් සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙලිකොප්ටර යොදා ගැනීම සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් දුෂාන් විජේසිංහගෙන් විමසා සිටියා.

ඔහු පවසා සිටියේ සමාජ මාධ්‍ය හරහා මේ දිනවල බහුලව හුවමාරු වන ඡායාරූපය 2018 වසරේ මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුවේ අගමැති ධූරයට පත්වූ අවස්ථාවේ 2018 ඔක්තෝබර් 28 ගුවන් හමුදා හෙලිකොප්ටරයක නැගී කොළඹ සිට නුවර බලා පිටත්ව ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් බවයි.

අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් තවදුරටත් විමසා සිටියේ ආරක්ෂක හේතූන් මත ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර දක්වා ගුවන් හමුදා හෙලිකොප්ටරයක නැගී ත්‍රිකුණාමලය දක්වා පිටත්ව ගිය හිටපු අගමැතිවරයා නැවත කොළඹ පැමිණීමේදීද ගුවන් හමුදා යානයක් භාවිතා කළාද යන කාරණයයි. ඒ සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ තමන් ඒ පිළිබදව දැනුවත් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා, මීට පෙර ජනාධිපතිවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් සඳහා ව්‍යවස්ථාවේ සදහන් ආකාරයට විශේෂ වරප්‍රසාදයක් ලෙස සිය ගමන් බිමන් සදහා ගුවන් යානා ඉල්ලා සිටීමේ හැකියාව තිබෙනවා. ඒ ඉල්ලීම සිදු කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන්. ආරක්ෂක අමාත්‍යංශය ඒ සදහා ආරක්ෂක ඇමතිවරයාගේ (වර්තමානයේ ආරක්ෂක ඇමතිවරයා ජනපතිවරයායි) අනුමැතිය ලැබුණේ නම් පමණක් එම කාර්‍යය ගුවන් හමුදාවට පවරනවා. ඒ සදහා මුදල් ලබාගන්නවාද නැද්ද යන කාරණය තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයයි.”, කපිතාන් දුෂාන් විජේසිංහ මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර කළා.

හිටපු ජනාධිපතිවරියක් වන චන්ද්‍රිකා කුමාරතුංගද ධූරයෙන් විශ්‍රාමයාමෙන් පසු ඇතැම් අවස්ථාවල මෙම වරප්‍රසාදය භාවිත කල බවද, ඔහු පැවසුවා.

කෙසේ වෙතත් කිසියම් කාලයක ධූරයේ රැදී සිටින ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිල උත්සව වලට සහභාගී වීමේදී ඒ සදහා අවශ්‍ය ගුවන් යානා ගුවන් හමුදාව මගින් ලබාදෙන බවත් ඔහු පැවසුවා.

එමෙන්ම ගුවන් හමුදාවට වුවත් ස්වාභිමතය පරිදි සෑම කටයුත්තක් සදහාම ගුවන් හමුදා හෙලිකොප්ටර ලබාදීමේ හැකියාවක් නොමැති බවත්, ගුවන් හමුදාවට වුවත් හෙලිකොප්ටර භාවිතා කළ හැක්කේ ගුවන් හමුදා පුහුණුවීම්, ආවේක්ෂණ කටයුතු, ආපදා කලමණාකරණ කටයුතු සදහා පමණක් බවත් , එයින් පරිබාහිර කටයුතු සඳහා හෙලිකොප්ටර/වෙනත් ගුවන් යානා භාවිතා කරන්නේ නම් ආරක්ෂක හමුදාවේ පූර්ව අනුමැතිය ගුවන් හමුදාවට ලැබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

සාමාන්‍ය සිවිල් පුද්ගලයකුට වුවත් ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය යටතේ පුද්ගලික කටයුතු සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර සහ ගුවන් යානා ලබාදීමේ හැකියාව පවතින බවත්, සාමාන්‍යයෙන් හෙලිකොප්ටරයක් සදහා නම් පැයක් සදහා ඇමෙරිකන් ඩොලර් 2000-3000 දක්වා ප්‍රමාණයක් අය කරන බවත් ඔහු පැවසුවා.

එසේම මංගල අවස්ථා සදහා විදෙස් වල සිට පැමිණෙන ඇතැම් අය මෙන්ම විදෙස් ආයෝජකයන්ද මෙම මුදල් ගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර භාවිතා කරන බවත් පවසා සිටියා. කෙසේ වෙතත් මේ වන විට රට අභ්‍යන්තරයේ ගුවන් කටයුතු සදහාම වෙන්වූ පුද්ගලික ගුවන් සමාගම් මෙරට ක්‍රියාත්මක නිසා ගුවන් හමුදාව බොහෝ දුරට මෙම සිවිල් කටයුතුවලින් ඈත්ව සිටින බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

සැයු : අප මෙම ලිපියෙන් කරුණු විමර්ශනය කරනු ලැබුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සම්බන්ධයෙන් පමණකි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතක දී භාවිතා කරන ලද හෙලිකොප්ටරයක ඡායාරූපයක් නොවන බවට පමණක් අප මෙමගින් පෙන්වා දී තිබේ.

ඉන්පසුව අප අවධානය යොමුකළේ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය 2022 වසරේදී ඉන්ධන අර්බුදය නිසා පාපැදියට හුරුව ඇති බවට පළවූ සමාජ ජාල සටහන පිළිබදවයි.

එම ඡායාරූපය 2019 වසරේදී Car Free CMB නම් පොසිල ඉන්ධන දහනය වන මෝටර් රථ භාවිතය අවම කර පරිසර හිතකාමී පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් උදෙසා කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක සමග සාකච්ඡා කිරීම සදහා සංකේතාත්මකව එවක ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනියව සිටි Joanne Doorneward විසින් පාපැදියකින් ගමන් කරන අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයකි.

Daily News| Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබූ Twitter සටහනක් පහතින්.

https://twitter.com/Roarlk/status/1148987838198796288

කෙසේ වෙතත් මෙම තානාපතිනිය මේ වන විට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය ලෙස කටයුතු නොකරන අතර , මේ වන විට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය ලෙස කටයුතු කරන්නේ Tanja Gonggrijp විසිනි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූවේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී ඉන්ධන මිල වැඩිවූ අවස්ථාවකදී, එයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා බයිසිකල් පැද ඇති බවට පළවන සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවා වන බවයි. ඔහු ඇතුළු එවකට විපක්ෂ පර්ලිම්නේතු මන්ත්‍රීවරු පිරිසක් 2017 වාසරේ දී පාර්ලිමේන්තුවට බයිසිකලයෙන් පැමිණියේ කෙටි කලකට ඉන්ධන හිගයක් ඇතිවූ අවස්ථාවක, එයට විරෝධය දැක්වීමටයි.

එසේම මහින්ද රාජපක්ෂ මේ දිනවල හෙලිකොප්ටරයකින් ගමන් ගන්නා බව දැක්වීම සදහා පළවන ඡායාරූපය මීට වසර කිහිපයක සිට (2018 වසරේ සිට) අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වී තිබේ.

Avatar

Title:මහින්ද රාජපක්ෂගේ බයිසිකල් පැදීම සහ හෙලිකොප්ටරෙන් යාම ! (PHOTOS)

Fact Check By: Kalana Krishantha

Result: Missing Context