ඈත අතීතයේ පටන් බොහෝ ලාංකික තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන් මෙරට මෙන්ම විශ්ව රූ රැජිණ තරඟ සඳහා සහභාගී වී, ජයග්‍රහණ ද ලබාගෙන තිබේ. මේ අතර පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වූයේ ලාංකීය සම්භවයක් ඇති, ජනිතා පෙරේරා නම් තරුණියක්, ඕස්ට්‍රේලියානූ විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කර ඇති බවයි.

සැබවින්ම ඇය විසින් ඕස්ට්‍රේලියානූ විශ්ව රූ රැජිණ කිරුළ දිනාගනු ලැබුවාද? අප ඒ පිළිබඳ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ඕස්ට්‍රේලියාවේ miss Universe 2022 කිරුළ මේ පාර අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජනිතා පෙරෙරා. එයා තමයි ශාරදා සිංදුවට act කරන්නේ. Charted accountant කෙනෙක්. ආඩම්බරයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

ඇය ඕස්ට්‍රේලියානු විශ්ව රූ රැජිණ කිරුළ හිමිකර ගත් බවට තවත් සටහන් සංසරණය වූයේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනිතා විසින් Miss Universe Australia 2022 ජයග්‍රහණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම විමර්ශනය කළ අතර අපට එලෙස 2022 ඔස්ට්‍රේලියානු විශ්ව රූ රැජිණ කිරුළ සම්බන්ධයෙන් ඇය ලබා ගත් ජයග්‍රහණයක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

Miss Universe Australia 2022

Miss Universe Australia හි නිල Instagram පිටුවේ දක්වා ඇති ඡායාරූප සටහනක ඇති ජනිතා පෙරේරාගේ ඡායාරූපයක් වෙත අපගේ අවධානය යොමු වූ අතර එහි සඳහන් කර තිබුණේ, දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ජාතික අවසන් මහා තරඟයට සහභාගී විය හැකි තෝරාගත් අපේක්ෂකයින් අතර ජනිතා ද සුදුසුකම් ලබා ඇති බවයි.

https://www.instagram.com/p/CePgSspv8Ob/

Instagram| Archived

අප මේ පිළිබඳව විමසීම සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින 2022 තරඟයේ කළමණාකරු Amy Holland ගෙන් විමසීමක් කළ අතර ඇය තහවුරු කරේ, ජනිතා ඔස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින කිරුළ හිමිකරගෙන නොමැති බවත්, ඇය ජාතික අවසන් තරඟකාරියක් ලෙස තෝරාගෙන ඇති බවත්ය.

2022 විශ්ව රූ රැජින ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහිකාව සැප්තැම්බර් මාසයේදී කිරුළු පැළඳීමට නියමිත අතර ඒ සඳහා නිල තොරතුරු ලබා ගැනීම සඳහා @missuniverseaustralia.official ඉන්ටග්‍රම් නිල ගිණුම අනුගමනය කරන ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ජනිතා පෙරේරා:

ජනිතා පෙරේරා නමැති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණිය බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබුනේ ‘ශාරදා’ යනුවෙන්. ඒ ඇය 2019 වසරේ එළිදැක්වූ ‘ශාරදා’ නම් සිංහල ගීතයක රඟපෑමට දායක වීමත් සමඟින්. කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජනිතා පෙරේරා කාල ක්ෂේත්‍රයට විවිධ නිර්මාණ ඔස්සේ අවතීරණ වී තිබෙනවා. ඒ පිලිබඳ මීට වසර කිහිපයකට පෙර පලවූ වාර්තාවක් මෙතනින්

එසේම පසුගිය දා ජනිතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ ද, මෙසේ අවසන් වටයට තේරීමෙන් ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, ඇය නිල වශයෙන් ඔස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින 2022 ජාතික අවසන් තරඟකාරියක් වීමට සුදුසුකම් ලැබූ බවයි. එම සටහන පහතින්.

Facebook | Archived Link

කෙසේ වෙතත් තව දුරටත් තොරතුරු තහුවරු කිරීම සඳහා, අපි ජනිතා පෙරේරාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ඕස්ට්‍රේලියානු රූ රැජින ජාතික අවසන් මහා තරඟයට තරඟ කිරීම සඳහා තමා තේරී පත්වුණේ ප්‍රාන්ත මට්ටමින් පැවැත්වූ තරඟයෙන් පමණක් බවත් ඕස්ට්‍රේලියානු විශ්ව රූ රැජින අවසන් තරඟය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.

පුවත් වාර්තා:

2022 මිස් යුනිවර්ස් ඔස්ට්‍රේලියා ජාතික අවසන් මහා තරගයට ඉදිරිපත් වීමට තේරී පත් වූ තරගකාරියන් පිළිබඳ වෙබ් වාර්තාවක් මෙතනින්. Archived.

මෙම වාර්තාවේ ද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත විශ්ව රෑ රැජින නියෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ කිරුළ දිනා ගනු ලබන ජාතික අවසන් මහා තරගයට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් තේරී පත්වූ තිදෙනා අතර ජනිතා පෙරේරා තේරී පත් වී ඇති බවට දක්වා තිබුණා.

ජනිතා අවසන් වටයට තේරී පත්වූ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්තවලින් ද මෙසේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත Miss Universe Australia 2022 සඳහා තරඟකාරීනියන් මේ වන විට සුදුසුකම් ලබමින් සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අවසන් වටයට තේරී පත්වූ තරුණියන් මෙලෙසින්. නිව් සව්ත් වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් , බටහිර ඕස්ට්‍රේලියානු යනාදී ප්‍රන්තවලින් අවසන් වටයට තේරී පත් වූ තරඟකාරියන්ගේ ද විස්තර අපට දැක ගන්නට ලැබුණා.

Also Read:

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට ?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඔස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින තරඟයෙන් ලාංකීය සම්භවයක් ඇති තරුණියක් වන ජනිතා පෙරේරා ජයග්‍රහණය කළ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි.

ජනිතා පෙරේරා 2022 ඔස්ට්‍රේලියානු විශ්ව රූ රැජින අවසන් තරඟය සඳහා ප්‍රාන්ත මට්ටමින් තේරීපත් වී ඇති අතර ඒ ඔස්සේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟය සඳහා සුදුසු කම් ලබා තිබෙනවා. මෙසේ අවසන් වටයට තේරීමෙන් ජනිතා ලද ජයග්‍රණය, Miss Universe Australia 2022 අවසන් වටයෙන් ද ලද ජයග්‍රහණයක් ලෙස දැක්වීම මෙම නොමඟ යවන සුළු සටහන් සඳහා මුල් වී තිබිණි.

Miss Universe Australia 2022 අවසන් වටය සඳහා ජනිතා තේරී පත් වූ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය මෙන්ම අනෙකුත් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත නියෝජන කරමින් තරුණියන් රැසක් තේරී පත් වී සිටිනවා.

Avatar

Title:ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනිතා පෙරේරා 2022 ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින ලෙස තේරී පත් වුණාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading