දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඊයේ (පෙබරවාරි 02) නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන් නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් ඒ සඳහා සහභාගී වන ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනයක් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

ඊයේ (02) දිනයේ රාජකීය ගෞරව දක්වමින්, විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ, සුඛෝපභෝගී මෝටර් රථ පෙළක් නුවර මාර්ගයක ධාවනය අයුරු පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived

පසුගිය සති කිහිපය පුරාවට ට නිදහස් දින උළෙල සඳහා වෙන් කර තිබෙන අරමුදල් ප්‍රමාණ පිළිබඳ සමාජයේ කතිකාවතක් ඇති වී තිබූ අතර, ඇතැමුන් පෙන්වා දුන්නේ, මෙතරම් ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයක සිටින අවස්ථාවකදීත් විශාල මුදල් නාස්තියක් සිදුකරමින් ජනපති රනිල් කටයුතු කරන බවත් වීඩියෝවේ දැක්වෙන්නේ ජනාධිපති රනිල් සිය පිරිවර පිරිවර සමඟ නුවර නගරයේ ගමන් ගන්නා රථ පෙළක් බවයි.

ඒ බව හඟවමින් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ වීඩියෝ සටහන් කිහිපයක් පහතින්.

මෙම වීඩියෝව ට්විටර් ඔස්සේ හුවමාරු වූ අවස්ථාවක් මෙතනින් සහ මෙතනින් Archived Link

WhatsApp ඔස්සේ ද මෙම වීඩියෝව බහුලව සංසරණය වී තිබුණු අතර මේ පිලිබඳ වැඩිදුර විස්තර විමසා තිබුණා.

එමෙන්ම මෙම සටහන් වලට ප්‍රතිචාර දැක්වූ පිරිස් පවසා තිබුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද, නිදහස් දින සැමරුම මෙලෙස නුවරදී සමරන බවයි.

කෙසේ වෙතත් මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අප මේ පිළිබඳ සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.

කරුණු පැහැදිලි කිරීම

මෙම වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී අපට දැක ගන්නට ලැබු‍ණේ, මෙම මෝටර් රථ පෙළ පාලියේ ඇති වාහන වල, වෙනත් රටවල් නියෝජනය කරන පිරිසක් ගමන් ගන්නා බව හැඟවෙන පරිදි, සටහන් ළකුණු කර ඇති බවයි. එවැනි අවස්ථාව කිහිපයක් පහතින්

ඒ අනුව නුවර ප්‍රදේශයේ දී රටවල් නියෝජනය කරමින් සිදුවූ උත්සවයක් තිබුණාද යන්න පිළිබඳ අප පරික්ෂා කළා. “මහනුවර රථ පෙරහැරේ ගිය මහ කොමසාරිස්වරු” යන තේමාවෙන් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වුණු දර්ශන පෙළෙම වෙනත් කෝණයකින් හුවමාරු වී තිබු අයුරු පහතින්.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළා. ඒ අනුව තහවුරු වූයේ, ඊයේ දින(02) ලංකාව සඳහා එතෙර රටවල් 17කට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු පෙබරවාරි 02 වනදා පස්වරුවේ දී, මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දෙනු ලැබූ අවස්ථාවක් බවත්, එම උත්සවයට අදාළ තානාතිපරු ගමන් ගත් රථ පෙළ මෙම වීඩියෝවේ දැක්වෙන බවයි.

එමෙන්ම අතීතයේ පටන් නව තානාපතිවරු මෙරටට පළමු වරට පත්වී පැමිණි පසු ඔවුන් පිළිගැනීමේ උත්සව මෙලෙසින් පවත්වා තිබූ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු මැසඩෝනියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, ස්වීඩනය සහ ඉක්වදෝරය සඳහා තානාපතිවරුන් ද ජැමෙයිකාව, ටැන්සානියාව, මලාවි, කැනඩා, මැලේසියාව සහ මාලදිවයින සඳහා මහකොමසාරිස්වරුන් ද මෙලෙස ජනපති අතින් පසුගිය දා අක්ත පත්‍ර භාරගැනීම සිදුකර තිබුණා.

එම පත් වීම් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය මෙතනින්.

අප මේ පිළිබඳව වැඩි දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා මහනුවර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ ද, ඊයේ දින නුවරදී පැවති නව තානාපතිවරු ඇතුළු මහකොමසාරිස්වරුන් පිළිගැනීමේ උත්සවය සඳහා එම ප්‍රභූවරුන් රැගත් රථවාහන පෙළ මෙම වීඩියෝවේ දැක්වෙන බවත් එහි ජනපති ගමන් ගෙන තිබුනේ නැති බවයි.

එසේම මීට පෙර මෙලෙසින් නව තානාපතිවරු පත් වීමේදී මෙලෙස උත්සව ශ්‍රීයෙන් පත් වූ අවස්ථාවන් පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළා. එහිදී අපට දැක ගන්නට ලැබුනේ මෙම උත්සව මේ ආකාරයෙන් ම පවත්වා තිබු අතර බොහෝ දුරට කොළඹ ජනපති කාර්යාලයේ දී සිදුකර තිබු බවයි.

පසුගිය අගෝස්තු 17 වන දා නව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ නව නේපාල තානාපතිවරයා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාරදුන් අවස්ථාවේදී ඔවුන් පිළිගෙන තිබුණේ ද, මෙවැනි සැමරුමක් සිදු කරමින්. කොළඹ පැවති එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

https://youtu.be/_OD5xvUuzsQ?t=35

එසේම 2020 වසරේ දී මේ ආකාරයේ අක්ත පත්‍ර භාර දීමක් කොළඹ දී සිදුව තිබුනේ මෙලෙසින් එමෙන්ම 2017 වර්ෂයේ නේපාල සහ ඉන්දුනීසියාවේ තානාපතිවරුන් සහ මෝල්ටාවේ සහ නවසීලන්තයේ මහකොමසාරිස්වරු පිළිගැනීම ද, මෙලෙසින් සිදුව තිබුණා. ඒ බවට ප්‍රධාන මාධ්‍ය ධාරාවක පළ වූ වීඩියෝවක් මෙතනින්.

විදේශ කටයුතු අමාත්‍ය

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් අප මේ පිළිබඳව විමසා සිටියේ, මෙලෙස අක්තපත්‍ර පිළිගැන්වීම මෙවර නුවර නගරයේ පිහිටි ජනාධිපති මන්දිරයේ සිදුකිරීමට විශේෂ කාරණාවක් තිබුණේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබා දෙමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, නව පත්වීම් ලබා මෙරටට ආ දූත පිරිස, ලංකාව වටා ප්‍රදේශ කරා ගෙනයාම මඟින්, ලංකාව සංචාරක කර්මාන්තය සඳහා මෙන්ම වෙළඳ සහ ව්‍යාපාර කටයුතු සුදනාම් බවත් ඔවුන්ට පෙන්වීම හරහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති යහපත් මිනිසුන් වෙසෙන ලංකාව සමඟ ජාත්‍යන්තර ප්‍රජාව එක් ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඉස්මතු කරමින් සමස්ත වශයෙන් ධනාත්මක ප්‍රතිරූපයක් රට ගැන ඇතිකරලීමට මෙන්ම ලංකාව හොඳ යටිතල පහසුකම් ඇති රටක් බව පෙන්වීමටද මෙසේ නුවර නගරය මුල්කරගනිමින් මෙම උත්සව කටයුතු පැවැත්වීමට හේතු වූ බවයි.

නව දුත පිරිස නුවර දළදා මාළිගාවට ගොස් ලංකාවේ දේශීය සංස්කෘතිය අගය කළ අවස්ථාවක ඡායාරූපයක් , විදේශ අමාත්‍යවරයා හුවමාරු කරගෙන තිබු අයුරු මෙලෙසින්.

https://twitter.com/alisabrypc/status/1621061145489731585

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ජනාධිපති මුල්වී නුවර පැවැත්වූ නිදහස් දින සමරුමක ආචාර රථ පෙළක් ද? (Video)

Fact Check By: Pavithra Sandamali

Result: False