දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කතාබහට ලක්වෙන Listeria ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්!

-කලණ ක්‍රිශාන්ත -

අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා. එයට හේතුව, Listeria බැක්ටීරියාව මේ දිනවල ශ්‍රී පාද ප්‍රදේශයේ පැතිරෙන බවට ඇතිවී තිබෙන කතිකාවතයි.

සෑම අයෙකුම හිතාමතා හෝ නොදැනුවත්වම, සෑම දිනකම මිලියන ගණනක් ක්ෂුද්‍ර ජීවීන් අනුභව කරනවා. මෙයින් බොහොමයක්ම මිනිස් සිරුරුට හානිකර නැති වුණත් ඇතැම් ක්ෂුද්‍ර ජීවින් ඔබව රෝගාතුර කිරීමට හේතු වෙනවා. ලිස්ටිරියා යනු එවැනි ක්ෂුද්‍ර ජීවියෙක්.

මෙම ලිස්ටිරියා බැක්ටීරියාවල ස්වභාවය , එය පැතිරෙන්නේ කෙසේද සහ මේ වන විට ශ්‍රී පාද ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් පවතින අවදානමේ ස්වභාවය පිළිබඳව Factcrescendo කරුණු විමසා බැලීමක් සිදු කළා.

Listeria monocytogenes යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම බැක්ටීරියාව තෙත් ස්වභාවයක් ඇති පරිසරයේ ස්වභාවයෙන් හමුවන බැක්ටීරියාවකි. තෙත් පසේ ,දිරායන කොලරොඩුවල මෙය සොයා ගත හැක. මීට අමතරව ජලයේ, කුණුවෙමින් පවතින එළවලු සහ පලතුරුවල මෙන්ම ශීතකරණය කරමින් පවතින ආහාරවල , පැස්චරිකරණය කරනු ලබන ආහාරවල, චීස්, කිරි සහ බිත්තර යනාදියේ මෙම බැක්ටීරියා විශේෂයට වැඩිය හැක. මෙය බැක්ටීරියාව ආසාදනය විය හැකි ආකාර ලෙස මෙය අඩංගු, ආහාර ද්‍රව්‍ය , එළවලු, පලතුරු, ජලය ආදිය එක්කර සකසනු ලබන ආහාර ද්‍රව්‍ය ,පාන වර්ග ආදිය සැලකිය හැක. ආහාර ද්‍රව්‍ය මෙම බැක්ටීරියාව පුළුල්ව ව්‍යාප්තව ඇති පරිසරවල සැකසීමේදී ඒවාට මෙය එක්විය හැක. උදාහරණයක් ලෙස දූෂිත ජලය මගින්.

මෙම බැක්ටීරියාව මිනිස් සිරුරට ආසාදනය වීම නිසා ඇතිවන තත්ත්වය Listeriosis ලෙස හැදින්වේ. මෙහි රෝග ලක්ෂණ පවතින කාල සීමාව දින ගණන් වල සිට සති ගණන් දක්වා වෙනස්වේ. සුලු රෝග ලක්ෂණ ලෙස ඔක්කාරය ,වමනය ,අතීසාරය වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. ඊට අමතරව වඩාත් උග්‍ර ලක්ෂණ ලෙස සිරුරේ සමබරතාවය අහිමිව යාම ,වලිප්පුව ,මනසේ වියවුල් තත්ත්වයන් ඇතිවීම ආදිය සිදුවිය හැක. වැඩිහිටියන්ට ,කුඩා ළමුන්ට මෙන්ම ගර්භනී කාන්තාවන් වැනි ප්‍රතිශක්තිකරණය අඩු පිරිස්වලට මෙම ආසාදනය මගින් මරණය පවා සිදුවිය හැක. දූෂිත ආහාර ගැනීමෙන් අනතුරුව පැය කිහිපයක් ගතවීමෙන් හෝ ඇතැම් විට දින 3 ක් පමණ ගතවීමෙන් මෙහි රෝග ලක්ෂණ ඇතිවිය හැක. ආසාත්මිකතාවයේ ප්‍රචණ්ඩ බව අනුව මෙම බැක්ටීරියාව , සිරුර තුළ දින 3 සිට දින 100 අතර කාලයක් වර්ධනය විය හැකියි.දිවයින පුරා මේ වන විට Listeriosis ආසාදිතයින් 10 දෙනෙක් පමණ දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තාවී තිබෙන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළා. .

මේ වන විට ශ්‍රී පාදස්ථානය සහ ඒ අවට පවතින තත්ත්වය කවරක්දැයි දැනගැනීමට අප ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ,රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාලයට අනුබද්ධව ක්‍රියා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.බොරලස්ස සමග සංවාදයක නිරතවුණා.

අප ඔහු සමග කතාබහ කරන දින ,එනම් මාර්තු මස 16 වන විට මෙම බැක්ටීරියා ආසාදනයට ලක්ව ඇති බවට සැකසහිතව රෝගීන් 4 දෙනෙක් රෝහල් ගතව ඇති බවත් ,ඔවුන්ගෙන් එක අයෙක් මියගොස් ඇති බව සහ මියගිය ඇය ශ්‍රී පාද මාර්ගයේ කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතව කෑම කඩයක සේවය කල අයෙක් බවත් ඔහු පැවසුවා.

කරන ලද පරික්ෂණවලට අනුව ඇයට මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බවත් සොයාගෙන ඇති බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් අනෙත් තිදෙනා රෝහල්ගත කර ඇත්තේ මෙම බැක්ටීරියා ආසාදනයට සමාන රෝග ලක්ෂණ ඇති බව නිසා බවත් ඔහු පැවසුවා.

නමුත් අප කතා කරන මොහොත වන විටත් ඔවුන්ගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා නිකුත්ව නොමැති නිසා පවතින තත්ත්වය පිලිබදව වැඩියමක් පැවසීම අපහසු බව සහ ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ මෙම තත්ත්වය වසංගතයක් ලෙස පැතිරීමක් හෝ කඩ සාප්පුවල ඇති ආහාර හෝ ප්‍රදේශයේ ජල මුලාශ්‍ර මෙම බැක්ටීරියා ව නිසා අපවිත්‍රව ඇති බවක් නිගමනය කිරීම සදහා තවම ඉක්මන් වැඩි බවත් ඔහු පැවසුවා.

එමෙන්ම මියගිය කාන්තාවගේ කඩයේ තිබු ආහාර ආදිය තුළ ලිස්ටිරියා බැක්ටීරියාව සදහා පරික්ෂා කල බවත් ,නමුත් එවැන්නක් එම පරීක්ෂණ වාර්තා වලින් බැක්ටීරියාව අදාළ ආහාරවල අඩංගුව නැති බවට තහවුරුවූ බවක් ඔහු පැවසුවා.

කෙසේ නමුත් මේ වන විට රෝහල්ගතව සිටින තිදෙනාම දිවයින විවිධ ප්‍රදේශවල සිට පැමිණි වන්දනාකරුවන් බවත් ඔවුන් ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ ,ඒ මාර්ගයේ මග දෙපස ඇති වෙලෙදසල්වලින් ආහාර ලබාගත් බවට හෝ ජලය පානය කර නොමැති බවට සාක්ෂ්‍ය නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට ආසාදනය වී ඇත්තේ මෙම බැක්ටිරියාවම බවට වෛද්‍ය පර්යේෂණ වාර්තා ලැබෙන තෙක් පැවසීම අපහසු බවත් ඔහු පැවසුවා.

එමෙන්ම ඔහු අවධාරණය කරන ලද්දේ එම තත්ත්වය යටතේ වුවත් සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයේ මග පෙන්වීම අනුව ශ්‍රී පාදස්තානයට ගමන් ගන්නා මග දෙපස අවට කඩා සාප්පු වල ඇති ආහාර සාම්පල ලබාගෙන පරික්ෂා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

මේ පිලිබදව Sri Lanka College of Microbiologists ආයතනයේ සභාපතිනිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය රෝහිනී වඩනම්බි ගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසා බැලුවා. ඇය පවසා සිටියේ මේ වන විට මේ සම්බන්ධයෙන් වන රෝගීන්ගේ වෛද්‍ය පර්යේෂණ වාර්තා සම්පුර්ණයෙන්ම නිකුත් කර නොමැති නිසා සංගමයක් ලෙස නිල ප්‍රකාශයක් සිදු කිරීම අපහසු බවයි.

කෙසේ නමුත් මෙම බැක්ටීරියා කාණ්ඩයේ ක්‍රියාකාරිත්වය පිලිබදව අදහස් දැක්වූ ඇය පැවසුවේ මෙම බැක්ටීරියා මුලික වශයෙන් දූෂිත ජලය හා ආහාර මගින් මිනිස් සිරුරට ඇතුළුවන බවයි. මෙහි වඩාත්ම භයානක තත්ත්වය ගැන විස්තර කරමින්, මෙම බැක්ටීරියා සිරුරට ආසාදනය වීමෙන් අනතුරුව සමහර අවස්ථාවලදී මොලයේ සෛල තෙක් ගමන්කර මෙනෙන්ජයිටිස් තත්ත්වය ඇතිකරන බව සහ එය ඉතා දරුණු තත්ත්වයක් විය හැකි බවත් වෛද්‍යවරිය පැවසුවා .

එමෙන්ම පසුගිය ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලීමේදී ලංකාව තුළ මෙම රෝගී තත්ත්වයේ වසංගත තත්ත්වයේ ඉස්මතුවීමක්(Outbreak) සිදුව නොමැති බවත් ඇය පැවසුවා. නමුත් එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙම තත්ත්වයන් විටින් විට වාර්තාවන බවයි ඇය වැඩිදුරටත් පැහැදිලි කලේ. කෙසේ වෙතත් ආරක්‍ෂිත පියවර අනුගමනය කිරීම මගින් ශ්‍රී පාද වන්දනාකරුවන්ට අවදානම අවම කර ගත හැකි බවත් ඇය පැවසුවා.

ඒ අනුව නිවසේ සිට පිළියෙළ කරගෙන පැමිණි ආහාර හා ජලය/දියර පමණක් පානය කිරීම ,අවට පිහිටා ඇති දිය කඩිති ආදියේ ජලය භාවිතා නොකිරීම ,අවට පිහිටා ඇති පොදු ජලය භාවිතා නොකිරීම ආදිය මගින් එම අවදානම අඩු කරගත හැකි බවයි ඇය පැවසුවේ. එමෙන්ම වයස්ගත පුද්ගලයන් ,කුඩා දරුවන් ,ගැබිණි මව්වරුන් මෙම අවදානමෙන් ආරක්ෂාවීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බවත් ඇය පැවසුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ට අයත් ආයතනයක් වන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මාධ්‍යයට පවසා තිබුණේ පවතින තත්ත්වය පිලිබදව පර්යේෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පර්යේෂණායතනය එක්ව ආරම්භ කර ඇති බවයි.

දුම්රිය වැසිකිළියක අතහැර දමා ගොස් තිබූ බිළිඳා සම්බන්ධ සිදුවීම පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

-පවිත්‍රා සඳමාලි -

කාලීන සිදුවීම් සම්බන්ධ කරගනිමින්, ජාතික ජන බලවේගයේ සමාජිකයින් මෙන්ම ගාලුමුවදොර අරගලයට සම්බන්ධ පිරිස්  බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සහ අසත්‍ය සටහන් බහුලව සංසරණය වනවා. පසුගියදා දුම්රියේ වැසිකිළියක හැරදමා ගොස් තිබූ සතියක් පමණ වයසැති බිළිඳා සම්බන්ධ සිදුවීම් පිළිබඳ  සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි අසත්‍ය සටහන් පෙළක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ විමර්ශනයයි, මේ.

බිළිදෙකු දුම්රියේ වැසිකිළියක දමා ගොස් තිබූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ එම බිළිඳාගේ සත්‍ය දෙමව්පියන් දෙදෙනා සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පළ කර ඇති තොරතුරුවල ඔවුන් පසුගිය වසරේ ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් වූ බවට හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් තොරතුරු විශේෂයෙන් සඳහන් කර තිබුනේ නැහැ.

අප මෙම සිදුවීම සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගත් කොස්ලන්ද පොලිස් ස්ථානයෙන් හා මව අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල පොලීසියෙන් ද, මෙම දෙමාපියන් අරගලයේ සාමාජිකයන් බවට හෝ මොවුන් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් බවට තොරතුරු වාර්තා වූ වාද යන්න අප විමසීමක් සිදු කළා. ‍එම පොලිස් ස්ථානවලින් තහවුරු කළේ, එවැනි තොරතුරු විමර්ශනයේදී අනාවරණය නොවූ බවත්, එවැනි තොරතුරක් කිසිදු අවස්ථාවකදී පොලිසිය විසින් ප්‍රකාශයක් හෝ නොකළ බවයි.

එමෙන් ම බිළිඳාගේ දෙමව්පියන් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය දෙස ද, අපගේ අවධානය යොමු වූ අතර එම ඡායාරූපයේ සිටින කාන්තාව කවුරුන් ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඇය ළදරුවාගේ මව නොව ගාලු මුවදොර අරගලයට සම්බන්ධව සිටි චතුරංගනී නම් වෙනත් කාන්තාවක් කූඩාරමක සිටින අයුරු දැක්වෙන සේයාරුවක් බවයි. එම සේයාරුව උපුටාගෙන ඇත්තේ ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්න විසින් සමාජ ජාලාවලට එක්කර තිබු අරගලය සම්බන්ධ සේයාරූ එකතුවකින්.

එසේම කලාකරු යුවළක් වන රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ වන ෂෙරිල් ඩෙකර් විසින් ඉහත සිදුවීමට සම්බන්ධ දරුවා හදාවඩා ගන්න කැමැත්ත පළ කරමින් පොලීසියෙන් ඉල්ලීමක් සිදු කළ බවට දැක්වෙන සටහන් අසත්‍ය බව රුවන් හෙට්ටිආරච්චිගේ සම්බන්ධීකාරක තහවුරු කර සිටිනවා.

ඩොලරයේ වාසිය නිසා මත්පැන් මිල හදිසියේ පහතට ?

-පවිත්‍රා සඳමාලි -

මාස ගණනාවකට පසු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමත් සමඟම ඇතැම් භාණ්ඩ වල මිල ගණන් වල අඩුවීමක් දක්නට ලැබුණා. මේ ඔස්සේ මත්පැන් හා දුම්වැටි මිල ගණන් ද, පහත දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරයද්‍යතාවය සොයා FactCrescendo කණ්ඩායම  කරුණු පරීක්ෂාවක් සිදුකළා.

කිසිඳු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ඩොලරයේ වාසිය නිසා මත්පැන් හෝ දුම්වැටි මිලගණන් අඩුවන බවක් සදහන්ව තිබුණේ නැහැ.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ ඩොලරයට සාපේක්ෂව රුපිලයේ වර්ධනය ඔස්සේ මත්පැන් සහ දුම්වැටි මිලෙහි කිසිඳු හෝ වෙනසක් සිදුවුණි දැයි පරික්ෂා කිරීමට අප ප්‍රථමයෙන්ම සුරාබදු දෙපාර්තමෙන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහගෙන් විමසීමක් කළා.

කපිල කුමාරසිංහගෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ, මිල ඉහළ හෝ පහළ දැමීම අදාළ ආයතනයන්හි තීරණ වන බවයි. එසේම ඇතැම් අවස්ථාවන් වලදී බදුකරණයේ ප්‍රතිඵලයක් ලෙස මත්පැන් බෝතලයකට අය කරන බදු ප්‍රමාණය අඩු හෝ වැඩි කළහොත් එය විකුණුම් මිලට බලපෑ හැකි බවත්, නැතහොත් එම බදු වෙනස්වීමේ බලපෑම සමාගම් විසින් දාරාගනිමින්, ඔවුන්ගේ අභිමතය පරිදි මිල නොවෙනස්ව පවත්වා ගැනීමටත් තීරණය කළ හැකි බව කුමාරසිංහ පවසනවා.

එසේම පසුගිය කාලෙය් දී මත්පැන් මිල ගණන් අවස්ථා දෙකකදී වැඩි වූ බවත්, ඒ මත්පැන් නිෂ්පාදනය කිරීමට දැරිය යුතු පිරිවැයේ ප්‍රමාණය ඉහළ යෑම නිසාත්, බදු ප්‍රමාණය වැඩි වීමත් සමඟ බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා පැහැදිලි කරනවා.

මෙවර මත්පැන් හා දුම්වැටි වල මිල අඩුවෙනවා නම්, තවමත් ඒ පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා නොමැති බවත්, එතනෝල් ආනයනය කිරීම රජය නවත්වා ඇති බැවින්, මේ වන විට ලංකාවේ එතනෝල් අතිරික්තයක් පවතින බවත්, දේශීය මත්පැන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝදුරට දේශීයව සපයා ගන්නා බැවින්, දේශීය මත්පැන් මිල සඳහා ඩොලරයේ මිල උච්චාවචනයේ විශේෂ බලපෑමක් නොමැති බවත් පෙන්වා දෙනවා. DCSL සමාගමයේ නියෝජිත මහතෙක් ද මෙම කරුණ තහවුරු කර සිටියා.

එසේම විදේශීය මත්පැන් ආනයනය කිරීමේදී පැරණි මිල ගණන් යටතේ ආනයනය කරනු ලැබූ මත්පැන් තොග මේ වන විට අලෙවි වන බැවින් ඒවායෙහි මිල ගණන් අඩු කිරීමක් සිදු නොවන බවත්, ඉදිරියේදී ආනයනය කරන ලබන මිල ගණන් වල වෙනසක් දිගටම සිදුව තිබුණහොත්, ඒ අනුව මිල අඩු වීමේ ප්‍රවණතාවක් තිබුණත්, මේ වන විට එය පුරෝකථනය කිරීම අසීරු බවත්, මේ වන විට ආනයනික මත්පැන් වල මිල ගණන්ද අඩු කිරීම පිලිබඳ තීරණයක් ගෙන නොමැති බවත්, විදේශීය මත්පැන් ආනයනය කරන ආයතනයක් පවසා සිටියා. එසේම මාර්තු මස මුල් සතියේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වර්ධනයක් පෙන්නුම් කළද ඉන්පසු නැවත රුපියල අවප්‍රමාණය වීමක් ද පෙන්නුම් කළා

තවද මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මත්පැන් අලෙවිය 30% කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්. මත්පැන් හා දුම්වැටි වලට ඇති ඉල්ලුම අඩු වීම හේතුවෙන්, එම තත්වය මත, ඇතැම් මත්පැන් හා දුම්වැටි මිල අඩු කිරීමට එම ආයතන වලට තීරණය කළ හැකි බව ද, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දෙනවා.

දරු ප්‍රසුතියේදී වැඩියෙන්ම දුක් විඳින සත්වයා ඉත්තෑවන්ද ?

-කලණ ක්‍රිශාන්ත -

ලෝකයේ වැඩිපුරම වේදනාවක් උසුලන්නේ ඉත්තෑ මවක් බවට සටහන් පෙළක් නැවත වරක් පසුගිය දින කිහිපයේ හුවමාරු වුණා. ඉත්තෑවන්ගේ පිටේ ඇති කටු නිසා, ඉත්තෑ මවට දරු ප්‍රසූතියේදී ඉතා අපහසු විය හැකි බවට කතාබහක් මෙහිදී නිර්මානය කර තිබුණා.

ඉත්තෑවන්ගේ ප්‍රසූතිය සහ පැටවුන් සම්බන්ධ කරුණු නිවැරදිව අර්ථකතනය සඳහා ඉතා උපකාරී වූ සිදුවීමක් ලෙස පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ZSL ලන්ඩන් සත්ත්ව උද්‍යානයේ සිදු වූ ඉත්තෑ පැටවුන්ගේ උපතයි. හෙටී නම් ඉත්තෑ මව විසින් එහිදී සත්වෝද්‍යානයේ සංචාරකයන්ද ඉදිරියේ සිය පැටවා ප්‍රසූත කළා. මෙම සිදුවීම පිළිබඳ වාර්තා වූ අන්දමින්, ඉත්තෑ පැටවාගේ උපත, මිනිසුන් සිතූ තරමටම වේදනාත්මක වූයේ නැහැ. පැටවාගේ කටුවලින් මවට විශේෂ හානියක් හෝ අමතර වේදනාවක් ලැබුණේ නැහැ.

මීට හේතුවන්නේ පැටවාගේ කටු සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය එතරම් සවිමත් නොවීමයි. ඒ අනුව, උපතේදී ඉත්තෑ පැටවුන්ගේ කූරු මෘදු වන අතර ඒවාගෙන් උපත පහසු කරවයි. මෙම මෘදු කූරු උපතින් අනතුරුව වේගයෙන් සවිමත් වනවා. උපතින් මිනිත්තු ගණනක් ඇතුළත මේවාගේ ශක්තිමත් වීම සහ තියුණු වීම ඇරඹෙනවා. දින කිහිපයක් ගත්වන විට මෙම කූරු කෙරටින් තැන්පත් වී සාමාන්‍ය වැඩිහිටි ඉත්තෑවෙකුගේ තරමටම තද, තියුණු සහ සවිමත් වනවා.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ දැක්වෙන්නේ හෙජ්හොග් ඉත්තෑවෙක්. ඔවුන්ගේ දරු ප්‍රසුතිය ද ඉත්තෑවන්ගේ තත්වයට තරමක් සමානයි. ඔවුන්ගේද කූරු අර්ධවශයෙන් වර්ධනය වී පවතින අතර, මෘදු හෙයින් උපත ලබා දීම ඉතාමත් අපහසු වන්නේ නැහැ.තවද මොවුන්ගේ අර්ධ වශයෙන් වර්ධනය වූ කූරුවලින් මවට වන හානිය වැලැක්වීම සඳහා මෙම කූරු සම වැනි පටලයක් සහිත දියරමය ස්ථරයකින් ආවරණය වී තිබෙනවා. උපතින් පසුව මෙම ස්ථරය වියළී ගැලවී යන අතර පසුව, මොවුන්ගේ කූරු වර්ධනය සම්පූර්ණ වී, සවිමත් වනවා.

තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ?

-කලණ ක්‍රිශාන්ත -

තවත් වසර 15 ක් ඇතුළත පෘථීවියේ අයිස් යුගයක් ඇතිවනු ඇති බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. අයිස් යුග පිළිබඳ ව මේ පලවන මතවාදවල සත්‍ය අසත්‍යතාව සහ විද්‍යානුකූල භාවය පිළිබඳව දැනගැනීම සඳහා අපගේ Fact Crescendo කණ්ඩායම විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්නව සමබන්ධ කරගත්තා.

ඔහුට අනුව, අයිස් යුගයන් කාලයෙන් කාලයට සිදුවන අතර එහි යම්කිසි රටාවක් පවතිනවා. ඒ අනුව වසර ලක්ෂයකට පමණ වරක් දැවැන්ත අයිස් යුගයක් උදා වනවා. වසර 41,000කට පමණ වරක් සාමාන්‍ය මට්ටමේ අයිස් යුග ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති අතර කුඩා පරිමාන අයිස් යුගයන් (mini ice ages) ඇතිවීමට ඇත්තේ ඊට වඩා වැඩි ප්‍රවනතාවයක්. වරින් වර මෙලෙස අයිස් යුග රටාවකට අනුව ඇතිවීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පෘථිවියේ චලනයන් හේතු කොටගෙනයි. මේ රටාවෙන් මිදී අයිස් යුගද ඇතිවන අතර ඒ සදහා වෙනත් හේතුද බලපෑ හැකියි.

ප්‍රධාන වශයෙන් පෘථිවි කක්ෂයේ සහ දිශානතියේ සිදුවන වෙනස්කම් නිසා මෙලෙස වරින් වර අයිස් යුග ඇති වෙනවා. වසර 41,000කට වරක් පෘථිවි අක්ෂයේ නැඹුරුව වැඩි වීම සහ අඩු වීම සිදු වනවා. වසර 96000කට වරක් පෘථිවි කක්ෂයේ හැඩය වෙනස් වෙනවා. එමෙන්ම වසර 25800කට පමණ වරක් පෘථිවියේ අක්ෂය සෙලවෙයි. මේවාගේ ප්‍රථිඵලය ලෙස අවසානයේ ශීත සමයෙන් පසුද අයිස් දිය නොවී පවතිමින් අයිස් යුගයක් ආරම්භ කරනවා.

මීට වසර 11,000කට පමණ පෙර අවසන් වරට ප්‍රධාන අයිස් යුගයක් පැවතුණා. පෘථිවියේ චලන සමඟ නැවත අයිස් යුගයක් උදා වීම පැහැදිලිවම සිදු විය හැකි වුණත්, එයට වසර දහස් ගණනක් ගත වේවි. ඉහත සඳහන් කළ චක්‍ර වලින් අවස්ථාවක්වත් අප ආසන්නයේ හෝ අවුරුදු 15කින් උදා වන්නේ නැහැ.

වර්තමානයේ පවතින දේශගුණික විපර්‍යාස තත්ත්ව සැලකූ විට, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම දෙසට වැඩි නැඹුරුතාවක් දක්වනවා. ඒ තත්ත්වයත් සමඟ තවත් වසර 15ක් තුළ මෙම තත්ත්වය ආපස්සට හැරේවි යැයි උපකල්පනය කිරීම අපහසුයි.

නමුත්, ආචාර්‍ය චන්දන ජයරත්නට අනුව, මේ කාල සීමාව තුළ සිදුවන යම්කිසි විශේෂිත සංසිද්ධියක් හේතුවෙන් මෙවන් අයිස් යුගයක් ඇතිවීමට අවකාශය පවතිනවා . දරුණු දූවිලි කුණාටු හෝ එවැනි සිදුවීමක් හේතු කරගෙන වායුගෝලයේ විශාල දූවිලි තට්ටුවක් හෝ වෙනත් ඕනෑම ආවරණ තට්ටුවක් තැම්පත් වීම සිදු වෙනවා. මෙමඟින් සූර්‍යාලෝකය සහ හිරුගෙන් නිකුත්වන කිරණවලින් බහුතරයක් පොළව මතට වැටීම වලක්වනවා. එහිදී පෘථිවි අභ්‍යන්තරය විශාල ලෙස සිසිල් වී එම තත්ත්වය ක්‍රමයෙන් අයිස් යුගයක් දක්වා වර්ධනය විය හැකියි.

නමුත් මෙවැනි සිදුවීමක් ඉදිරි වසර ගණනක කාලය තුළ සිදුවන බවට කිසිදු ලෙසකිනුත් වාර්තා වන්නේ නැහැ. එබැවින් ඉදිරි වසර 15 තුළ අයිස් යුගයක් උදාවන බව තහවුරු කරමින් පලකරන මත පිළිගැනීම අපහසුයි .

එවන් තත්ත්වයක් යම් ලෙසකින් එම කාල සීමාව තුළ ඇතිවීමේ හැකියාව පැවතියත්, එය දේශගුණික හා අභ්‍යවකාශ විද්‍යා දත්තවලට අනුව සොයා ගැනුනු හෝ තහවුරු කළ තත්ත්වයක් නොවේ. අහම්බෙන් ඇතිවන යම්කිසි වෙනසක ප්‍රතිඵල ලෙස පමණක් මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා ඉතා අඩු සම්භාවිතාවක් පවතිනවා.