නොවැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

Weekly Digest

Last updated on November 27th, 2022 at 04:28 pm

නොවැම්බර් තෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් ලංකාවේ තිබෙන බවට එලෝන් මස්ක් පවසා නැහැ! Read in English

ලංකාව ලෝකයේ අඩුම ගුරුත්ව බලපෑම සහිත රට බවට, ලොව ධනවත්ම පුද්ගලයා වන සුප්‍රකට ව්‍යාපාරික එලෝන් මස්ක් පැවසු බවට මීට වසර කිහිපයකට පෙර සිට හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් මේ දිනවල විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් නැවත වරක් ලංකාවේ සංසරණය වෙනවා. මෙසේ හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් අප FactCrescendo කණ්ඩායමේ විම්ර්ෂණයේ දී තහවුරු වුයේ එම සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු මෙන්ම පදනම් විරහිත බවයි.

එලෝන් මස්ක් විසින් මෙවැනි ප්‍රකාශයක් පැවසූ බවට කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් මගින් වාර්තා කර නොමැති අතර සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය වන වීඩියෝවේ ද එලෝන් මස්ක් විසින් එසේ පවසන බවට වීඩියෝ ක්ලිප් එකක් හෝ ඔහුගේ හඩ පටයක් අසන්නට ලැබෙන්නේ නැහැ.

තවදුරටත් කරුණු සොයා බැලීමේ දී, ඉන්ද්‍රජිත් සමරජීව නම් ලේඛකයා විසින් 2019 වසරේ දී පළකර තිබු ලිපියක්, බොහෝදුරට මෙම වීඩියෝවේ සඳහන් කරුණු සඳහා මුල් වී ඇති බව අනුමාන කරන්නට පුළුවන්. එම ලිපිය එක්තරා ලෝක සිතියමක් සමග බැදී තිබුණු අතර එම සිතියම මගින් පෘථිවි ගුරුත්වය පිලිබදව නිරුපණය කරන බවත්, එහි තද නිල් පැහැයෙන් දක්නට ලැබෙන, එනම් අඩුම ගුරුත්වය සහිත කලාපයට ශ්‍රී ලංකාව අයිති බවත් පෙන්වා දී තිබුණා.එමෙන්ම එහි එලෝන් මස්ක් සම්බන්ධයෙන් ඍජු සඳහනක් එහි දක්නට නොලැබුනත් එලෝන් මස්ක්ට අයත් SpaceX  අභ්‍යවකාශ ගවේෂණ ආයතනය පිලිබදව සදහන් කරමින් ඔවුන්ට ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි සුපුරුදු ස්ථානයෙන් අභ්‍යවකාශ යානා ගුවන් ගත කරනවාට වඩා, ගුරුත්වාකර්ෂණ බලය අඩු ලංකාවේ සිට අභ්‍යවකාශ යානා ගුවන් ගත කළහොත් ඩොලර් ලක්ෂ ගණනක ඉන්ධන පිරිවැයක් ඉතුරු කරගත හැකි බවත් සදහන් කර තිබුණා. එයට හේතුව ලෙස දක්වා තිබුනේ ගුරුත්වය අඩු නිසා අභ්‍යවකාශ ගත වීමේදී ඇතිවන ප්‍රතිරෝධය අඩු වීම හේතුවෙන් ලංකාවෙන් අභ්‍යවකාශය ගත වීමේදී වැයවන ඉන්ධන ප්‍රමාණය අඩු වීමයි.

කෙසේ වෙතත් අප ඉහත සදහන් කල සිතියම පිලිබදව නාසා ආයතනයෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ විමසීමක් සිදුකළා. එයට පිළිතුරු ලෙස නාසා ආයතනය සදහන් කර සිටියේ එම සිතියම මගින් 2010 වසරේ මාස 2 ක් තුළ පෘථිවියේ පැවති ගුරුත්ව බලය පමණක් පෙන්නුම් කර ඇති බවයි. පෘථීවියේ විවිධ ප්‍රදේශ සදහා බලපාන ගුරුත්ව බලය ස්ථාවර නොවන බවත්, කාලයත් සමඟ සුළු වශෙයන් වෙනස්වන ගතික  ස්වභාවයකින් යුක්ත බවත් ඔවුන් පැවසුවා.

එසේම නාසා ආයතනය මගින් සපයන ලද අන්තර්ජාල සබැදියක් ඔස්සේ ඉතාම මෑත කාලයේදී මීට මාස කිහිපයකට පෙර  පෘථීවියේ ඒ ඒ ප්‍රදේශවල ගුරුත්ව බලය පැතිර ඇති ආකාරය පෙන්වන සිතියමක් නිරීක්ෂණය කිරීමේ දී ද අපට පැහැදිලි වූ කාරණය නම් එම   අවස්ථාවේ දී ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයේ දක්නට නොමැති බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ පෘථීවියේ ඒ ඒ ස්ථානවලට බලපාන ගුරුත්ව බලය සුළු වශයෙන් වෙනස් වන, ස්ථාවර දෙයක් නොවන බවයි.

මේ ආකාරයට වේගයෙන් ගුරුත්ව බලය වෙනස් වන්නේ ඇයි ? ඒ සදහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති තරල ගමන්කරන ස්වභාවය සහ එහි හැසිරීමයි. පෘථිවි අභ්‍යන්තරයේ ඇති තරලවල වේගයෙන් වෙනස්වන ස්වභාවය නිසා විවිධ ප්‍රදේශවලට බලපාන ගුරුත්ව බලය වෙනස්වේ. එම නිසා පෘථීවියේ ගුරුත්ව බලය අඩුවෙන්ම බලපාන රට ලෙස ලංකාව හෝ වෙනත් කිසියම් ප්‍රදේශයක් හෝ ලෙස වර්ගීකරණයන් කිරීම අපහසුයි.

ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තය කලු පැටි පැළද ක්‍රීඩා කළේ ඇයි? Full Story here

පසුගියදා අවසන්වූ 20-20 ලෝක කුසලානය අවසන් මහා තරඟයේ දී පකිස්ථානය කණ්ඩායම පරාජයට පත්කරමින් 2022 T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමයි. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් අත්වල කලු පටි පැළද ක්‍රීඩා කිරීම පිළිබඳව සමාජ ජාලාවල යම් කතාබහක් ඇතිකිරීමට සමත්වුණා.

සිංහල බසින් පළවූ ඇතැම් උපහාසාත්මක සමාජ ජාලා සටහන්වල දැක්වුණේ එංගලන්ත ක්‍රීඩකයන් මේ ආකාරයට අත්වල කළුපටි පැළද ක්‍රීඩාකලේ ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් වූ ලාංකීය ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් බවයි. නමුත් FactCrescendo අප කණ්ඩායම මගින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී මේ පිලිබදව සැබෑ තතු විත්ති දැනගැනීමට අපට හැකිවුණා.

අපට අනාවරණය වුයේ නොවැම්බර් 12 වනදා, එනම් T20 අවසන් මහ තරඟයට දිනකට පෙර, එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් සිදුකල , හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද වූ ඩේවිඩ් ඉන්ග්ලිෂ්, දිවියට සමු දී තිබු අතර, ඔහුගේ මරණයට ශෝකය පළකිරීමක් වශයෙන් එංගලන්ත ක්‍රීඩකයන් කලු පටි පැළද ක්‍රීඩා කර තිබු බවයි.

ඩේවිඩ් ඉංග්ලිෂ් වෙනුවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයන් විසින්ද  එංගලන්ත නායක ජෝෂ් බට්ලර් ද ඇතුළු ක්‍රීඩකයින් රැසක් ශෝක පණිවුඩ පළකර තිබුණා.

ක්‍රිකට්, පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසක මෙලෙස ශෝකය ප්‍රකාශ කිරීමේ සංකේතයක් ලෙස කළු පටි පැළඳ ක්‍රීඩා කිරීම දැක ගන්නට ලැබෙනවා.

නිර්මාණි ලියනගේ  මරණයට හේතුව, කල් ඉකුත්වූ කදුළු ගෑස්වලට අධිකව නිරාවරණය වීම බවට, නලින්ද ජයතිස්ස Twitter පණිවුඩයක් පළකර තිබුනේ නැහැ. Full Story here

ජනතා විමුක්ති පෙරමුණ සභිකයෙක් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අරගල භූමියේ කැපී පෙනුන චරිතයක් වන නිර්මානී ලියනගේ තරුණියගේ මරණය සිදුවුවේ කල් ඉකුත්වූ කදුළු ගෑස්වලට අධිකව නිරාවරණය වීම බවට ට්විටර් පණිවුඩයක් ඔස්සේ දන්වා සිටි බව සඳහන් කරමින් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සටහන් සංසරණය වුණා.

නමුත් නලින්ද ජයතිස්ස නිල ට්විටර් ගිණුමේ (@NalindaJay) එවැනි ප්‍රකාශයක් සඳහන් කළ බවක් අපට දක්නට නොලැබුණි. එසේම එවැනි සටහනක් දක්වා පසුව ඉන් ඉවත් කර ගත්තා ද යන්න පිළිබඳ අප එම ට්විටර් ගිණුමෙහි තාක්ෂණික පරීක්ෂාවක් ද සිදු කරන ලදී.  එහිදී ද, නලින්ද ජයතිස්සගේ  නිල ට්විටර් ගිණුමෙන් එවැනි සටහනක් පළ කොට ඉවත් කර හෝ තිබූ බව Factcrescendo අප කණ්ඩායමට දැකගන්නට නොලැබුණි.

එමෙන්ම මේ පිළිබඳ නලින්ද ජයතිස්ස  සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබු‍ණේ, එවැනි ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ ඇති බවත්, මෙය ව්‍යාජ නිර්මාණයක් බවයි.

අරගල භූමියේ ප්‍රකට ක්‍රියාකාරිනියක වූ, අරගලයේ පුරවැසි සභාව නිර්මාණය කිරීමේ මූලිකත්වය ගත් නිර්මාණි ලියනගේ තරුණිය, පසුගිය නොවැම්බර් 12 වන දා ලංකා හොස්පිට්ල් (පුද්ගලික) රෝහලේදී හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වී තිබුණා.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ  උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කර තිබේ.

අකුණු ගැසීමේදී ජංගම දුරකථන භාවිතා කිරීම ආරක්ෂිතද? Read in English

වායුගෝලයේ ඇති ජලය පෘථිවියට යැවීමේ මූලික ක්‍රමය වර්ෂාපතනය වන අතර සතුන්, ශාක සහ මිනිසුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. මෙම වැසි සමයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි ඇතිවීමත් සමඟ තද සුළං සහ අකුණුසැර පිලිබඳ අනතුරු ඇඟවීම් ද නිතර දක්නට ලැබුණා.

මේ අතර ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටි මිනිසෙකුට තදබල අකුණු සැර වැඩෙන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුනා. එම මිනිසා කුඩයක් ද අල්ලාගෙන සිටිය ද අකුණු අනතුරු සිදුවීමට හේතුව අකුණුසැර වැදෙන මොහොතේ ජංගම දුරකථන භාවිත කිරීම බව සමාජ මාධ්‍ය පළ කිරීම්වලින් පෙන්නුම් කර තිබුණා.

Factcrescendo අප විමර්ෂණයේ දී අනාවරණය වුයේ, 35 හැවිරිදි Abdul Rosyid නැමැත්තෙකුට ඉන්දුනීසියාවේ දී මෙම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදුව තිබු අතර එම මොහොතේ දී රේඩියෝ සම්ප්‍රේෂකයක් සහ කුඩයක් අතැතිව ඔහු මුර සංචාරයක යෙදී සිටි බවයි. කෙසේවෙතත් වාසනාවකට සුළු පිළිස්සීම් තුවාල පමණක් සමඟින් දින කිහිපයකින් පසුව මොහු රෝහලෙන් පිටව ගිය බවත් වාර්තා වෙනවා.

නමුත් ජංගම දුරකථන අකුණු ආකර්ෂණය කරයිද? මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන විශේෂඥයන් පවසන්නේ ඔබ සිටින්නේ විශාල හුදකලා ගසක් යට හෝ යම්කිසි ප්‍රදේශයක උසම වස්තුව විය හැකි හුදකලා අවදානම් සහිත ස්ථානයක නම්, ඔබ ජංගම දුරකථනයක් රැගෙන සිටියත් නැතත් අකුණු සැර වැදීමේ ඉඩකඩක් තිබෙන බවයි.

එසේ හැරුණු විට ජංගම දුරකථන වැනි කුඩා ලෝහ ප්‍රමාණයක් අඩංගු වස්තූන් මඟින් අකුණු අනතුරකට ලක්වීමේ සම්භාවිතාව වැඩි කෙරෙන්නේ නැති බව අධ්‍යයනයන් මඟින් ද ඔප්පු කර තිබෙනවා. කෙසේවෙතත් එම අධ්‍යයනයන් මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ අකුණු සැර වැදෙන අවස්ථාවක එම අකුණ වදින යම්කිසි වස්තුවකට ආසන්නව හෝ අනාරක්ෂිත ස්ථානයක ඔබ සිටිනම්, ලෝහ කොටස් තිබීම මඟින් side flash ඔස්සේ අනතුරකට ලක්වීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස වැඩි වන බවයි.

ඔබගේ ස්මාට් ජංගම දුරකථනය ඔරිජිනල් ද යන්න Facebook ඔස්සේ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැහැ! Full Story

ෆේස්බුක් හි කමෙන්ටුවක් ආකාරයෙන් GG යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීමට භාවිත කරනු ලැබූ ස්මාට් ජංගම දුරකතනය, අනුකරණයක් ද (Duplicate) නැතහොත් මුල් නිෂ්පාදනයක්ද (Original) යන්න පරීක්ෂා කිරීමේදී ක්‍රමවේදයක් පවතින බවට වන සටහන් පසුගිය සමයේ සමාජ ජාලාවල පළවුණා. නමුත් එම සටහන් ව්‍යාජ සහ නොමගයවන සුලු ඒවා වන බව FactCrescendo කණ්ඩායම පෙන්වා දුන්නා.

මෙම අකුරු කොමෙන්ටුවක් ලෙස පලකර පරික්ෂා කිරීමේ දී අපට දක්නට ලැබුණේ එම අකුරු රෝස පැහැයෙන් දිස්වන බවයි. ඉන්පසුව අප මේ පිලිබදව වැඩිදුරටත් සොයා බැලු අතර එවිට අපට තහවුරු වූයේ ඒ ආකාරයට කොමෙන්ටුවේ ඇති අකුරුවල පැහැය වෙනස්වන්නේ දුරකථනය මුල් නිෂ්පාදනයක් හෝ අනුකරණයක් ද යන සාධකය මත නොව ෆේස්බුක් ආයතනය විසින් හඳුන්වා දී තිබෙනවා වචන සජීවීකරණය හේතුවෙන් බවයි.

මේ ආකාරයට තෝරාගත් වචන ෆේස්බුක් කොමෙන්ට්ස්හි පලකල විට ඒවායෙහි පැහැය වෙනස්ව පෙනීමට හේතුව ලෙස හදුන්වනවා. Meta සමාගම විසින් සමාජ මාධ්‍ය වෙත විටින් විට එකතු කෙරෙන යම් යම් වචන හෝ වාක්‍ය ඛණ්ඩ සඳහා ලබා දෙන ෆේස්බුක් ටෙක්ස්ට් ඩිලයිට්ස් (Text Delight Animations) යනු, ෆේස්බුක් විසින් හඳුන්වාදී ඇති විශේෂ වච‍න සටහන් කරන විට, එම වචනය හෝ වාක්‍ය ඛණ්ඩ සඳහා වර්ණය වෙනස් වෙමින්, එම වර්ණවත් වචන මත ක්ලික් කළ විට, සජීවිකරණන් ලෙස තිරය මත ක්‍රියාත්මක වන බැලූන්, හදවත්, තරු, අත්පුඩි, ඉමෝජි යනාදිය දිස් වෙමින් ෆේස්බුක් පරිශීලකයින්ට සැමරීමක ආකාරයෙන් ලබාදෙන විශේෂ අත්දැකීමක්.

මෙවැනි ජනප්‍රියම සජීවීකරණ වචන කිහිපයක් ලෙස, Congratulations, Congrats, xoxo, Bff, Best Wishes, You Got This, Lovely Time, Wonderful Time, You’re the Best, Gooaal පැවසිය හැක.

GG යනු Good Game යන වචනය සඳහා සංක්ෂිප්ත වචනයක් වන අතර එය ද ඉහත සඳහන් ආකාරයේ Text Delight Animation (වචන සජීවිකරණ) ගණයට වැටෙන වදනක්. එය ක්‍රීඩකයින් අතර පොදු වචනයක් වන GG (Good Game), යම්කිසි Online ක්‍රීඩාවක යෙදී ජයග්‍රහණය කළ බවට ප්‍රතිවාදියාට හෝ සිය කණ්ඩායමට පැවසීමට සම්ප්‍රදායිකව භාවිත වන කෙටි යෙදුමක්.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ කමෙන්ටුවක් මත හෝ ෆේස්බුක් පෝස්ටුවක් මත හෝ සජීවිකරණ විශේෂ වචන සඳහන් කළ පමණින් ජංගම දුරකතනයක ගුණාත්මක බව තහවුරු කළ හැකි ද යන්න අප මෙරට පරිගනක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගෙන් විමසා බැලීමක් සිදු කළා.

එහිදීද ඔවුන් තහවුරු කළේ ද, ෆේස්බුක් හරහා ජංගම දුරකතනයක ව්‍යාජ බව සෙවීමට ක්‍රමයක් නොමැති බවයි. ජංගම දුරකතනයක් අනුකරණය කර ඇත්ද නැත්ද යන්න සොයා බැලීමට විවිධ ක්‍රම ඇති අතර ජංගම දුරකතන වල IMEI අංකය භාවිතයෙන්, වෙබ් අඩවි හරහා, වෙනත් තුන්වන පාර්ශවයක මෙවලම් හරහා ක්‍රම බොහොමයක් යොදා ගත හැකි අතර ජංගම දුරකතන නිෂ්පාදන ආයතනයන්ට අනුව එම දුරකතන අනුකරණය නොකරන ලද මුල් නිෂ්පාදන බවට සොයා බැලීමට විවිධ වූ අනන්‍ය ක්‍රම පවතින අතර ඒවා ජංගම දුරකතන නිෂ්පාදන සමාගම් වලට අනුව එකිනෙකට වෙනස් වන අවස්ථා දක්නට ලැබෙන බවයි.


සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.


Leave a Reply