දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම උදෙසා, මැයි 18 ලංකාවේ පැවති සමරුමකදී, ලංකාවේ තහනම් කර ඇති කෝටිත්‍රස්ත සංවිධානයේ නිල ඇඳුමකින් සැරසී සිටින කුඩා දරුවෙකු සමඟ පුද්ගලයෙකු සිටින අයුරු බව හඟවමින් “තබුත්තේගම කයිතං අවුරුදු 1 1/2 න් දුන් පුනරුදය” යන තේමාවෙන් හුවමාරු වූ සේයාරුවක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ලංකාවේ දමිළ ජනතාව සිදුකරන මැයි 18 මුල්ලිවයික්කාල් සැමරුමට සමගාමිව දක්නට ලැබුණු දර්ශනයක් ලෙස ඉහත තේමාවෙන් හුවමාරු වූ ඡායාරුප සටහන් පෙළක් පහතින්.


මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද පෙනී යන්නේ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ සිදු කළ සැමරීමක් බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

මෙය මෙරට සැමරුමක්ද යන්න පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සමරමින්, යුද්ධයෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කෙරෙන 17 වන ජාතික රණවිරු සැමරුම් දින උත්සවය පසුගිය මැයි 19 වන දා පවත්වනු ලැබීය. මේ අතර 2009 වසරේ යුද්ධයේ අවසාන සටනේදී, මුලතිව්, මුල්ලෙවයික්කාල් හිදී මියගිය සියලු දමිළ ජනතාව සිහිපත් කරමින්, සෑම වසරකම මැයි 18 වනදා ලංකාවේ දමිළ ජන කොටස් අතර සැමරුම් පැවැත්වෙන අතර, පසුගිය මැයි 18 වන දා ද මුල්ලිවයික්කාල් සැමරුම් දැකගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් වාර්තා වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් මෙතනින්.
ලංකාවේ සිදුකළ මැයි 18 මුල්ලිවයික්කාල් සැමරුම් තුළ මෙවැනි දර්ශන පෙළක් දක්නට ලැබෙන්නේ නැහැ!
කෙසේනමුත් එල්.ටී.ටී.යි සංවිධානය, මෙරට තහනම් සංවිධානයක් වන බැවින් මෙලෙසින් එම සංවිධානයේ නිල ඇඳුම සහිතව, උතුරේ දී කුඩා දරුවෙකු මුල්ලිවයික්කාල් අනුස්මරණයක දී දැකගන්නට ලැබුණා ද යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.
මැයි 18 වනදා, ලංකාවේ සිදුවූ, මුල්ලෙවයික්කාල් සැමරුම් වීඩියෝ වෙත අපගේ අවධානය යොමු කළ අතර එහිදී දැක ගන්න ලැබුවේ, පහන් දල්වමින් එසේ යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකිරීම් කර ඇති බවයි. එහෙත්, කිසිදු අයුරකින් කොටි සංවිධානය නියෝජනය කරන ඡායාරූප, ඇඳුම් භාවිත කර තිබු බවක් එම දර්ශන පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබුනේ නැහැ. එමෙන් ම එම අවස්ථාවට ශ්‍රී ලංකා හමුදා ආරක්ෂාව ද, යොදා ඇති බව දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
එම මුල්ලිවයික්කාල් සැමරුම්හි තවත් වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ඡායාරූප මෙතනින්. වැල්ලවත්තේ, මුහුදු තීරයේ ද සිදු කළ සැමරීමක් මෙතනන්. මෙහිදී හෝ ඉහත සඳහන් ආකාරයේ ඇඳුම් ඇඳ සැමරීමක් සිදු කර ඇති බවට දැක ගන්නට නොලැබේ.
මේ හේතුවෙන් අප ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ පුද්ගලයෙකු කුඩා දරුවකු ඔසවා සිටින ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබූ අතර එහිදී මෙම ඡායාරූපය Senthan guru (சேந்தன் குரு) නමැති X ගිණුමකපළ කර ඇති සටහනක් දැක ගන්නට ලැබුණා.
නාම් තමිලර් කච්චි (NTK) පක්ෂයේ සාමාජිකයෙකු, තමිල්නාඩුවේ සිදුකල මැයි 18 සමරුමකදී, කුඩා දරුවෙකු සමඟ ලබාගත් ඡායාරූපයක්
“මාරයිමලෙයි නගර් හි මැයි 18 රැස්වීමේදී කාගේත් අවධානය දිනාගත් කුඩා කොටි සාමාජිකයා”( மறைமலை நகர் மே 18 கூட்டத்தில் அனைவரின் கவனத்தை ஈர்த்த குட்டிப்புலி) යන තේමාවෙන්, සෙන්තන් ගුරු නම් ඉන්දියානු දමිළ ජාතිකයෙකු සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඉහත ඡායාරූපය මුලින් පළකර ඇති අයුරු අපට දැකගනන්ට ලැබුණේ මෙලෙසින්.


සෙන්තන් ගුරු යනු කැපී පෙනෙන දේශපාලන චරිතයක් වන අතර LTTE හිතෛෂී, නාම් තමිලර් කච්චි (NTK) පක්ෂයේ තොරතුරු තාක්ෂණ අංශයේ රාජ්‍ය නියෝජ්‍ය ලේකම්වරයා වේ. ඔහු තමිල්නාඩුව පුරා පක්ෂයේ ඩිජිටල් සහ බිම් මට්ටමේ ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධ හඬක් නගන සංවිධායකයෙකි.
ඒ වගේම, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හි පළකර තිබු ඡායාරූප හා වීඩියෝ පරීක්ෂා කිරීමේදී මාරයිමලෙයි නගර් හි මේ වසරේ(2026) මැයි 18 පැවැත් වූ රැස්වීම වන්නේ, සීමාන් ප්‍රමුඛ NTK පක්ෂය විසින් ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ චෙංගල්පත්තු දිස්ත්‍රික්කයේ මාරයිමලෙයි දී, සිදු කරන ලද, මැයි 18 අවසන් සටහනේ දී දමිළ ජනතාව ඝාතනයට ලක්වීම අනුස්මරණ කරමින් සිදු කළ රැස්වීමක් බව පැහැදිලිව දැක ගන්නට ලැබෙනවා.
ඉහත ඡායාරූපය පළ කර තිබූ සෙන්තන් ගුරු විසින් NTK නායක සීමාන්ගේ X පණිවිඩය නැවත සිය ගිණුමේ හුවමාරු කර තිබුණේ ද මෙලෙසින්.

එමෙන් ම සෙන්තන් ගුරු විසින් ඇඳ සිටි කළු පැහැති ඇඳුමින් ඔහු එම සැමරුම් තවත් අවස්ථාවල දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
ඒ අනුව පැහැදිලි වන්නේ, මෙරට උතුරේ ජනතාව විසින් යුද්ධයෙන් මියගිය දමිළ ජනතාව සහ LTTE මිය ගිය සාමාජිකයින් අනුස්මරණය කිරීමේදී LTTE නිරූපණය කෙරෙන අයුරුන් ඔවුන්ගේ නිල ඇඳුම දරුවෙක් ඇඳ සිටි බවට පළ වන ඡායාරූපය, මෙරට ඡායාරූපයක් නොවන බවයි.
නාම් තමිලර් කච්චි (NTK)
නාම් තමිලර් කච්චි (NTK) යනු තමිල්නාඩුවේ සහ පුදුචෙරිහි ක්‍රියාකාරී දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂයක් වන අතර, එහි නායකත්වය දරන්නේ හිටපු නළුවෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සීමාන් (සෙන්තමිෂන් සීමාන්) විසිනි. සෘජුව සහ වක්‍රව LTTE ය ප්‍රවර්ධනය කරන මෙම පක්ෂය, 2009 LTTE නායකයාගේ මරණයෙන් පසුව, 2010 වසරේ දී පිහිටවනු ලැබීය.
“නාම් තමිලර්” යන පක්ෂයේ නමේ වචනාර්ථය “අපි දෙමළ“ යන්නයි. මෙම පක්ෂය, කුල හෝ ආගම නොසලකා සියලුම දෙමළ ජනතාව නියෝජනය කරන බව අවධාරණය කරන අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සඳහා වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහාය වීම ඔවුන්ගේ ප්‍රධාන න්‍යාය පත්‍රයන්ගෙන් එකක් වෙනවා.
LTTE සංවිධානය, ලංකාවේ තහනම් කර ඇති සංවිධානයකි!
2011 අගෝස්තු 29 දින නිකුත් කළ අංක 1721/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් LTTE සංවිධානය තහනම් සංවිධනයක් ලෙස නම් කර තිබෙනවා.
මෙමඟින් LTTE සංවිධානයේ සාමාජිකයෙකු වීම, නායකත්වය දීම, නිල ඇඳුම්, ලාංඡන හෝ කොඩි භාවිත කිරීම/ප්‍රදර්ශනය කිරීම, රැස්වීම් පැවැත්වීම සහ අරමුදල් සැපයීම ඇතුළු සියලුම ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටතදී ද සිදු කිරීම සපුරා තහනම් කර තිබෙනවා.
එහි 4 වන වගන්තියේ සඳහන් වන්නේ එම නියෝග කඩකළ බවට මහාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවහොත් අවුරුදු 20ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට යටත් වන බව ය. එවැනි වරදක් කිරීම සඳහා අනුබල දෙන හෝ ඊට තැත් කරන අයෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම් පැමිණ විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්වනවා.
Also Read : මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙවර මැයි 18 උතුරේ දමිළ ජනතාව සිදු කරනු ලැබූ මුල්ලිවයික්කාල් සමරුමේ දී, ලංකාවේ දමිළ දරුවෙකු විසින් LTTE ත්‍රස්ත සංවිධානය නියෝජනය කෙරෙන ඔවුන්ගේ නිල ඇඳුම ඇඳ සිටින අවස්ථාවක් නොවේ.
මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටුවා ඇති, LTTE සංවිධානයට හිතෛෂී දේශපාලන පක්ෂයක් වන, NTK (නාම් තමිලර් කච්චි) පක්ෂය විසින්, මැයි 18 වනදා සංවිධානය කරන ලද මුල්ලිවයික්කාල් අනුස්මරණයක දී එම පාක්ෂිකයේ ක්‍රියාකාරිකයෙකු, කුඩා දරුවෙකු සමඟ පෙනී සිටිමින්, තමිල්නාඩුවේ මාරයිමලෙයි නගර් හි දී ලබා ගත් ඡායාරූපයකි.


