දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය වකවාණුවේ සිදු වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කළා. මේ අතර ඇතැම් ප්‍රතිසංස්කරණයන් පිළිබඳ නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ. එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි, ගෙදර කවුරුවත් හිටියේ නැතත් බද්ද වදිනවා” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා.

එම යෝජනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ IMF Country Report 24/161 වාර්තාවේ සඳහන් වේ.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු?

නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමය.

මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වේ.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළයුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපොළ හිමියන් සතුව ඇති දේපොළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මාසය වන විට අවසන් විය යුතු බවද එම වාර්තාවේ සඳහන් වේ.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වාදීමට සූදානම් වූ දේපොළ බදු සහ තෑගි හා ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම විවිධ ව්‍යවස්ථාමය සීමාකම් හේතුවෙන් ප්‍රමාදවීම හේතුකොට ගෙන මෙලෙස නව ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

මුදල් අමාත්‍යංශය :

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකවීමට යන ආරෝපිත කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ආදායම් බලන්නන් විෂයෙහි නොව ඉහළ ආදායම් සහිත පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කරමින් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරනවා.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන වසර අවසන් වන විට අපේක්ෂිත රජයේ ආදායම් ඉලක්කය දල දේශීය නිශ්පාදනයෙන් 15%කි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තව දුරටත් දල ‌ දේශීය නිශ්පාදිතයෙන් සියයට එකයි දශම පහක ඉලක්කයක් ලබා ගත යුතු බව ත්, මෙම ඉලක්කය ලබා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේදය දේපළ මත පදනම් වූ මෙම බද්ද බව ත් එම අමාත්‍යාංශය පැහැදිලි කරයි.

එම බද්ද මගින් 2025 වසරේ දළ දේශීය නිශ්පාදිතයෙන් 0.2%ක් හා 2026 දී 0.4%ක් ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිත බව මේ පිළිබඳව පැහැදිලි කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයනයේ දැක්වේ.

මුදල් අමාත්‍යාංශය අනුව මෙම බද්ද පැනවීමට අදාල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කළ යුතු අතර එම අවශ්‍යතා සපුරාගෙන වර්ෂ 2025 අප්‍රේල් මස සිට මෙම නීතිය බලාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, නව බද්ද ඉතා ඉහළ බලාත්මක කිරීමේ සීමාවක් ඇති බව තහවුරු කරමින්, 90%ක් නිවාස මෙම බදු ගණයට නොවැටෙන බව සඳහන් කළා. මූලික වශයෙන් ඉහළ ආදායම් ලබන පවුල්වලට බලපාන පරිදි බද්ද සැලසුම් කර ඇති බව ඒ මහතා එහිදී අවධාරණය කළා. එම වීඩියෝව මෙතනින්. එහි සිංහල පරිවර්තනය පහතින්.

"මූල්‍ය කරුණු සාකච්ඡා වූ අවස්ථාවේ මම පාර්ලිමේන්තුවේ නොසිටි නිසා මුදල් අමාත්‍යවරයා ලෙස කුලී ආදායම් බද්ද පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දක්වන්න කැමතියි. එහිදී ඉතා ඉහළ ආදායම් සීමාවක් පවතීවී. රටේ නිවාසවලින් 90%ක් පමණ ඊට අයත් වන්නේ නැහැ. ඒ නිසා එක් නිවසක් ඇති ඔබ බිය විය යුතු නැහැ. ඔබේ නිවස ආරක්ෂිතයි. මං හිතන්නේ මේ රටේ ජනතාවගෙන් අති බහුතරයකට තමන්ගේ නිවාස පිළිබඳ බියවන්න දෙයක් නැහැ. එහෙත් අප ධන බද්ද ක්‍රියාත්මක කළ යුතුයි. මම දන්නවා සජබ ඒ ගැන කලබල වී සිටින බව. ඔවුන් සමඟ සිටින කෝටිපතියන්ට ඒ බද්ද බලපාන එක තමයි මං හිතන්නේ ඒකට හේතුව."

මෙම ආරෝපණය කරන ලද කුලී ආදායම ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් සඳහා අපේක්ෂා නොකරන බවත්, එය බලපානු ලබන්නේ ලක්ෂ 1-1.5 පමණ පුරවැසියන් වන සුඛෝපභෝගී නිවාස හිමියන්ට පමණක් බවත් රවී කරුණානායක මහතා සඳහන් කළේ මෙලෙසින්.

කෙසේ වෙතත්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යෝජිත බදු සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේ, මෙම නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අපැහැදිලි බවයි. එබැවින් සාමාන්‍ය කුටුම්භවලින් පවා බදු අය නොකරන බවට සහතිකයක් නොමැති බව ත්ය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවිධ පාර්ශවයන් දැක් වූ අදහස් මෙතනින්.

https://www.youtube.com/watch?v=4J4wO2-db8g

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න 

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ආණ්ඩුවෙන් නව නිවාස බද්දක් - නමුත් ජනගහනයෙන් බහුතරයක් බද්දට ඇතුලත් නැහැ

Fact Check By: Fact Crescendo Team

Result: Insight