දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
රටේ පවතින නීති රීති පිළිපැදීම සිදු නොවන අවස්ථාවල රටේ ජනතාවට දඬුවම් පැනවීම, දඩ නියම කිරීම වැනි කටයුතු සිදුවනවා. නමුත් ඇතැම් අවස්ථාවල එම නීති රීති ඇතැම් කණ්ඩායම් සඳහා බල පා නොමැතිව ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසයි නම් ඒ සම්බන්ධනේ දැඩි විවේචන යොමු වනවා. ඒ ආකාරයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක ඇත්ත කරුණු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“විදේශ සංචාරකයින්ට දුම්රියේ පටන් ගන්න අලුත්ම වැඩේ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි දැක්වෙන්නේ විදේශිකයන් පිරිසකට දුම්රිය තුළ දී, සම්බානය සිදු කරන අයුරු වේ.
මෙය විදේශීකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මෙන් ම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ව්‍යාපෘතියක් ලෙසට බොහෝ අය අදහස් දක්වා තිබුණා.
මෙරට දුම්රියේ ගමන් කරන විදේශීකයින් සඳහා සිදු කරන නවමු ව්‍යාපෘතියක් ද, යන්න සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉහත වීඩියෝවේ දැක්වෙන ලෙස විදේශිකයන් සඳහා දුම්රි මැදිරි වල සම්බහන අවස්ථා සලසා දීමේ ව්‍යාපෘතියක් ගෙන ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කිරීමක් කර ඇත්දැයි යන්න අප පළමු වෙන් ම පරීක්ෂාවට ලක් කළා. එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එවැනි වාර්තාවක් හෝ එම අමාත්‍යාංශය විසින් මේ ආකාරයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බවට හෝ කිසිදු සඳහනක් දක්වා නොමැති බවට අපට තහුවරු වුණා.
ඒ අනුව අප මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, ආයුර්වේද රෝහලක් මගින් බවත්, එහි අයිතිකරු බවට දක්වා තිබූ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නමත් සඳහන් කර තිබූ සටහනක් ඔස්සේ අප මේ පිළිබඳව පරීක්ෂා කිරීමට තීරණය කරනු ලැබුවා.
එම ආයුර්වේද වෛද්‍යවරයා දුරකතන මාර්ගයෙන් අප සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය මෙරට නම ගිය පෞද්ගලික හෝටල් ජාලයකට අයත් එහි අනුබද්ධිත ආයතනයක් වන සංචාරකයින් ගමන් බිමන් පහසුකම් සපයන ආයතනයක් විසින් බවයි. එම හෝටලයේ 50 වන සංවත්සරයට සමගාමීය සිදු කරන ව්‍යාපෘතියක් බව ත්, බල්ගේරියානු ජාතිකයින් 160 දෙනෙකු මෙම සංචාරය සඳහා සහභාගී වූ බව ත්, පිළිමතලාවේ සිට කොළඹ දක්වා මෙම විදේශිකයින් සඳහා වෙන ම මිලදී වෙන්කරවා ගත් දුම්රියකින් රැගෙන එන අතරවාරයේ මෙලෙසින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වෘත්තීයවේදීන් විසින් විදේශිකයින් ව ආයුර්වේද සම්බාහනයට ලක් කළ බවයි. කෙසේ වෙතත් මෙය තමන්ගේ ආයුර්වේද රෝහලේ සිටින වෘත්තීයවේදීන් නොව විවිධ ප්‍රදේශ වලින් එකතු කර ගන්නා පිරිසක් බව ත්, මෙය ඉහත කී ආයතනය විසින් සිදු කළ වැඩසටහනක් බව ත් සඳහන් කළා.
ඒ අනුව අප එම කී ආයතනයෙන් ද, මේ පිළිබඳ විමසීමක් කළ අතර මෙම සංචාරක කණ්ඩායමට මග පෙන්වූ සම්බන්ධීකාරව ද, සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු සඳහන් කළේ, මෙම කණ්ඩායම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වෙන ම මුදල් දී වෙන් කරවා ගත් දුම්රියකින් පිළිමතලාව සිට කොළඹට එන අතරවාරයේ නව අත්දැකීමක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම පරිදි ආයුර්වේද වෘත්තීයවේදීන් මගින් ආයුර්වේද හිස, කකුල්, උරහිස් සඳහා සම්භාහනය සිදු කළ බවයි. එමෙන් ම දුම්රිය සියල්ල පිරිසිදු කර, විෂබීජ නාශකද කර නැවත එම දුම්රිය, දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දුන් බවයි.
සැ.යු : අදාළ හෝටල් ජාලය කුමක් ද, යන්න අප තහවුරු කර ගත් නමුත්, ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙහි එම හෝටලේ සහ ඔවුන්ගේ සංචාරක මගපෙන්වීමේ ආයතනයේ නම සඳහන් කර නොමැත.
දුම්රිය දෙපාර්තමේන්තුව
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොල මහතාගෙන් අප මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, මෙය විශේෂ දුම්රිය වෙන් කරවා ගැනීමේ අවස්ථාවක් බව ත්, පසුගිය 15 වන දා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට පෞද්ගලික සංචාරක ආයතනයක් විසින් දුම්රිය වෙන් කරවා ගත්තද, මෙහි සම්බාහන කටයුත්තක් සිදු වන බව ට දැනුවත් කර නොමැති බව ත්, එසේ නම් දුම්රිය තුළ එවැනි කටයුත්තක් සඳහා අවසර ලබා නොදෙන බව ත් ය. සාමාන්‍යයෙන් දුම්රියක් වෙන්වා කර ගැනීමට හැකියාව පවතින බව ත්, එලෙසින් වෙන්කරවා ගත් අවස්ථාවක දී වූ සිදුවීමක් මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බව ත්, මෙය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හෝ සංචාරක අමාත්‍යාංශය විසින් සිදු කළ කටයුත්තක් නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම සංචාරක ආයතනයෙන් විමර්ශනයක් සිදු කරන බව ත් ඔහු තවදුරටත් අප සමගින් ප්‍රකාශ කර සිටියා.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ සම්බන්ධව මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය පහතින්.
විදේශ කටයුතු අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ද, අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමසීමක් සිදු කළා. ඔවුන් සඳහන් කළේ ද, මෙවැනි ව්‍යාපෘතියක් විදේශ කටයුතු අමාත්‍යාංංශය විසින් සිදු නොකළ බව ත්, මේ පිළිබඳ කිසිදු දැනුවත් වීමක් ද, නොමැති බව ත්ය.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:දුම්රිය තුළ විදේශ සංචාරකයින් සම්බහානය සිදු කරන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්!
Fact Check By: Pavithra SandamaliResult: Insight
