දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සුප්‍රීම්සැට් සමාගමේ චන්ද්‍රිකාව යැවීමට රජයේ මුදල් ගෙන නොමැති බවට අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් ඒ සම්බන්ධයෙක් නොයෙකුත් කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහ වෙද්දී, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් ම අගමැතිනි හරිනි අමරසූරිය සිදු කළ ප්‍රකාශය හෙළා දැක්වෙන ආකාරයේ ප්‍රකාශයන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එම සටහනේ සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අගමැතිණිය කල ‘සුප්‍රිම්සැට්‘ කථාවෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරලා.. අගමැතිණියගේ මතය රජයේ මතය නොවන බව සභානායක බිමල් කියයි..” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.
අමාත්‍ය බිමල් රත්නායක විසින් සත්‍ය වශයෙන් මෙවැනි ප්‍රකාශයක් කළ බවට තව ත් සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
Facebook | Archived Link Facebook | Archived Link
මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය අගෝස්තු 06 වන දා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ලංකා ආයෝජන මණ්ඩලයෙන් ලබා දුන් තොරතුරු මත සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග් ආයතනයට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම 2011-2012 වසරවලදී දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැති බවට ප්‍රකාශ කරනු ලැබීය.
සුප්‍රීම් සැට් සමාගම ආයෝජනය මණ්ඩලය සමග ගිවිසුම අත්සන් කර ඇත්තේ 2012 මැයි මස 23 වැනිදා වන අතර 2013-2014 කාලය තුළ එම ආයතනය රුපියල් දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක මුදලක් එම සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවා ඇති බව ත්, එම සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම් පතෙහි තොරතුරු අනුව එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති 17 වැනි වගන්තිය යටතේ දේශීය වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් ව්‍යාපෘතියක් ලෙසයි මෙය ආරම්භ කර තිබෙන්නේ. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012 -05- 23 දින සුප්‍රීම් එස්. ටී. පුද්ගලික සමාගම ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළැඹ ඇති බව ත්, ඇය සඳහන් කළා.
එමෙන් ම සුප්‍රීම් සැට් ආයතනය ආදායම් ලබා ඇති ආකාරය අනුව,
2015-2016දී ආදායම රුපියල් මිලියන 19617යි,
2016-2017දී රුපියල් මිලියන 28133යි.
2017-2018දී රුපියල් මිලියන 29106යි.
2018-2019දී රුපියල් මිලියන 34169යි.
2019-2020දී රුපියල් මිලියන 42960යි.
2020-2021දී රුපියල් මිලියන 62545යි.
2021-2022දී රුපියල් මිලියන 87789යි.
2023 වසරේ පළමු මාස හය තුළ 39590ක් ලෙස ද, ඇය සඳහන් කරනු ලැබුවා. විපක්ෂ මන්ත්‍රී ඩී. වී. චානක මහතා විසින් අගමැතිවරියගෙන් පසුගිය මස 09 වැනිදා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙලෙසින් ප්‍රකාශයක් සිදු කළා.
මෙම ප්‍රකාශයත් සමග ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම පැහැර ඇති බවට ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ත්, එවැනි පුවතක් පළ වී ඇති බවක් දැක ගන්නට නොලැබුණි.
අමාත්‍යවරයා විසින් එවන් ප්‍රකාශයක් කර තිබුණේද, යන්න ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද, පරීක්ෂා කළත්, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති පරිදි ප්‍රකාශයක් කර ඇති බව ක් දක්නට නොලැබේ.
මේ හේතුවෙන් අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා සිදු කළ බව දැක්වෙන ප්‍රකාශය අසත්‍ය බව පවසා සිටියා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරියට සුප්‍රීම් සැට් සමාගමේ ආදායම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බව ත්, සුප්‍රිම් සැට් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ දත්තවල වරදක් ඇති, නිවැරදි දත්ත ලබා දි නොමැති බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ(07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ඔහු සඳහන් කරන පරිදි සුප්‍රීම් සැට් සමාගමේ වාර්ෂික ආදායම් පහත පරිදි විය යුතු බව ඔහු පැවසීය.
2015-2016 – රු. මිලියන 19.167
2016-2017 – රු. මිලියන 28.133
2017-2018 – රු. මිලියන 29.1
2018-2019 – රු. මිලියන 34.1
2019-2020 – රු. මිලියන 42.9
2020-2021 – රු. මිලියන 62.0
2021-2022 – රු. මිලියන 87.0
2023 පළමු මාස 6 – රු. මිලියන 39.5
ඒ අනුව අග්‍රාමාත්‍යවරිය මීට පෙර දත්ත ඉදිරිපත් කිරීමේදී දශම තිත අතහැර දත්ත ඉදිරිපත් කර ඇති බව පෙනී යනවා.
අමාත්‍යවරායා වැඩිදුරටත් පවසා සිටියේ, සුප්‍රීම් සැට් සමාගම යටතේ තව ත් සමාගම් ඇති බව ත්, Supreme Global Holding නමැති රූපවාහිනි සමාගමක් ඇති බව ත්, මේවා ඒකාබද්ධව සමාගම් විසින් ආදායම මිලියන 19.617ක් මිස සමාජයේ කතා බහ වන ලෙස මෙම සැටලයිට් එක තුළින් ලැබූ ආදායමක් නොවන බව ත් ය.
එමෙන් ම සුප්‍රීම් සැට් සමාගම 2012 වසරේ මැයි මස දී එම සමාගම මෙරට ආරම්භ කළ අතර එම වසරේ නොවැම්බර් මස දී චන්ද්‍රිකාවට ඩොලර් මිලියන 300ක වියදමක් දරා ඇති බවත් එම වියදම දැරුවේ කවුරුන්ද යන්න හොයන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියා.
2014-2015: මූල්‍ය අක්‍රමිකතා මතුවෙයි
මෙම කාලය තුළ සමාගම් වාර්තාවල තීරණාත්මක මූල්‍ය විෂමතා දක්නට ඇත.
2012: වත්කම් ලෙස ප්‍රකාශිත රුපියල් බිලියන 12.14
2013-2014: බදු මත පදනම් වූ චන්ද්‍රිකා මෙහෙයුම් සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 12 ක ආයෝජනයක්
2014-2015: කලින් ප්‍රකාශිත වත්කම්, වගකීම් සහ ආයෝජන මූල්‍ය වාර්තාවලින් අභිරහස් ලෙස අතුරුදහන් වූ බවට අමාත්‍යවරයා මෙහිදී අවදාරණය කරනවා.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය
සුප්‍රීම්සැට්-I යනු ශ්‍රී ලංකාවේ පළමු සන්නිවේදන චන්ද්‍රිකාව වන අතර එය 2012 නොවැම්බර් 12 වන දින සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් විසින් දියත් කරන බවට එම සමාගම විසින් නිවේදනය කර තිබුණා. එය චීනයේ China Great Wall Industry Corporation (CGWIC) සහ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ඒකාබද්ධව හිමිකාරීත්වය දරන අතර චන්ද්‍රිකාව චීනයේ ෂිචැං සිට ලෝන්ග් මාර්ච් 3B රොකට්ටුවක් භාවිතා කරමින් දියත් කරන ඇති බව ත්, සුප්‍රීම්සැට්-I භූස්ථායී කක්ෂයේ 87.5°E හි ස්ථානගත කර ඇති අතර එමඟින් විවිධ කලාප හරහා වැඩිදියුණු කළ විදුලි සංදේශ, විකාශන සහ අන්තර්ජාල ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධ ඔවුන්ගේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙලෙසින්. Archived Link
“2012 නොවැම්බර් 22 දින සවස 3.43ට සුප්‍රීම්සැට් විසින් ශ්‍රී ලංකාව සතු ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරයි”, යනුවෙන් සහ චන්ද්‍රිකාව චීනයේ සීවැන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේදී අභ්‍යාවකාශ ගත කරන බවට දක්වමින් එම දිනවල පළ කළ දැන්වීම් පත්‍රය පහතින්.
මේ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ අද දෙරණ වැඩසටහනකදී අදහස් පළ කරේ මෙලෙසින්.
ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රීම්සැට්-1, 2012 වසරේ නොවැම්බර් 27 වන දා චීනයේ XI-CHANG අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කල බවට නාමල් රාජපක්ෂ මහතා විසින් ෆේස්බුක් ඔස්සේ පළ කළ සටහන මෙතනින්. Archived Link
‘‘සුප්‍රීම් සැට්’’ යන නමින් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ගෝලීය කක්ෂගත චන්ද්‍රිකාවක් (GEO) ලෙසට අභ්‍යාවකාශ ගත කරන්නේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් තිස් හයදහසක් දුරින් සන්නිවේදන චන්ද්‍රිකාවක් ලෙසට. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ස්ථාන තුනක් පවතිනවා. ඒ, පහළ පෘථිවිගත චන්ද්‍රිකා (LEO) මධ්‍ය පෘථිවිගත චන්ද්‍රිකා (NEO) සහ භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා (GEO) වශයෙන් වන අතර චීන රජයට අනුබද්ධව ක‍්‍රියාත්මක කෙරෙනා චීනයේ ග්‍රේට්වෝල් ඉන්ඩ‍්‍රස්ටීස් මෙම ව්‍යාපෘතිය සඳහා උදව් කරබව ත්, පසුව ශ්‍රී ලංකාවේ සුප‍්‍රීම් සැටලයිට් පෞද්ගලික සමාගම සහ චීනයේ ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රීස් ආයතනයත් සමග ඇතිකරගත් එකාබද්ධ ගිවිසුමට අනුව චන්ද්‍රිකාව නිපදවීමේ කටයුතු ආරම්භ කළ බව ත්, Supreme Group සමාගමේ සභාපතිත්වය දරණ ආර්.එම් මනිවන්නන් 2012 වසරේ ලංකාදීප පුවත් පත සමගින් පවසා තිබුණා.
එමෙන් ම ශ්‍රී ලාකාවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට බලාපොරොත් වන බව එම අවදියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්වීමෙන් පසු ඒ වෙනුවෙන් රජයට මුදල් වෙන් කිරීමට නොහැකි බවත්, පෞද්ගලිකව මුදල් වියදම් කර චන්ද්‍රිකාවක් නිපදවනවානාම්, ඊට අදාළ සියලූ සහයෝගයන් ජනාධිපති වශයෙන්, ඔහුත් රජයත් ලබාදීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළ බව ත්, ලංකා ආයෝජන මණ්ඩලයත් මේ සඳහා සහයෝගය ලබා දුන් බව ත්, එම සාකච්ඡාවේදී මනිවන්නන් මහතා පවසා තිබුණේ මෙලෙසින්. Archived Link තවත් සාකච්ඡාවක් මෙතනින්.
මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් හෝ රාජ්‍යයේ කිසිදු විශේෂ අනුග්‍රහයක් යොදවා හෝ භාවිතා කර නොමැති අතර මෙම ව්‍යාපෘතියෙන් රටට සැලකිය යුතු විදේශ විනිමයක් ගෙන ඒමට හැකි වී ඇත. නමුත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොවීමද කණගාටුවකි. එමෙන්ම මෙය සම්පූර්ණ වශයෙන්ම පුද්ගලික ආයෝජනයක් මිස කිසිදු පොදු හෝ රජයේ හෝ රජයට සම්බන්ධ පාර්ශවයක හෝ මුදල් ආයෝජනයක් මෙම ව්‍යාපෘතිය තුළ අවභාවිතා කර බවත් මේ වන විට සාක්ෂි සාධක සහිතව නීති රාමුව තුළද තහවුරු වී අවසන් බව ත්, මෙම ව්‍යාපෘතිය ආරම්භ කර කෙටි කලකින් රෝහිත රාජපක්ෂ මහතා ආයතනයෙන් ඉල්ලා අස් වූ අතර ඔහු එම සමාගමේ කොටස් හිමියෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂවරයෙකු නොවන බව 2023 වසරේ මෙම සමාගම විසින් නිකුත් කළ නිවේදනයක් මෙතනින්.
සුප්‍රීම් සැට් ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙසින් සමාගම හඳුන්වන නමුත් 2012 වකවාණුවේදී ම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අනූෂ පැල්පිට නිවේදනයක් කරමින් ප්‍රකාශ කොට තිබුණේ, ශ්‍රී ලංකා ආණ්ඩුව එම ව්‍යාපෘතියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවලින් කිසිදු ණය මුදලක් ලබාගෙන නොමැති බවද සමාගම පවසන බවටත් බීබීසි සිංහල මාධ්‍ය වාර්තාවක දැක්වෙනවා. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව කක්ෂගත කළ ඇති අතර සුප්‍රීම් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් බීබීසී යට පවසා තිබුණේ. 2012 වසරේ පළ කර තිබූ එම වාර්තාව මෙතනින්. Archived Link
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 320 ක් වැයවී තිබීමත්, මේ චන්ද්‍රිකාව සඳහා චීන ආණ්ඩුවෙන් ණය මුදලක් ගත්ත නම්, ආණ්ඩුවට ගත්තත්, සමාගමට ගත්තත්, සමාගම යම්කිසි ඇපයක් සමාගම වෙනුවෙන් දිය යුතු අතර භාණ්ඩාගාර බැඳුම්කර අරගෙන ඇත්නම් ආණ්ඩුව ඒ සමාගමට ඒ සහතිකය දුන්නේ කෙලෙසද යන්න එවකට(2012) එජාප ලේකම්ව සිටි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් එවකට තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද, පවසා තිබුණේ මෙය කිසිසේත්ම මහජන මුදල් යොදාගෙන කෙරෙන කටයුත්තක් නොවන බවයි එම වාර්තාව මෙතනින්. Archived Link
SupremeSat මෙරට තනි ව්‍යාපෘතියක් ද?
කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් “ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව” ලෙස හැඳින් වූ SupremeSat-I ඇත්ත වශයෙන්ම චීනය විසින් දියත් කරන ලද ChinaSat-12 වන අතර එය තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් වන ChinaSat-5A වෙනුවට දියත් කරන ලද අතර එය එහි අපේක්ෂිත වසර 15 ක සේවා කාලය සම්පූර්ණ කර ඇති බව ත්, SupremeSat-I යනු ChinaSat-12 (Zhongxing-12 ලෙසද හැඳින්වේ) සඳහා නම් කිහිපයකින් එකක් බව online spaceflight පුවත් වෙබ් අඩවියේ දැක්වේ, එම වෙබ් අඩවියට අනුව, ChinaSat-12 හි සන්නිවේදන බරෙහි කොටසක් ශ්‍රී ලංකාවට බදු දී ඇති අතර එය SupremeSat-I ලෙස සම-සන්නාම කර ඇති බව ද සඳහන් කර ඇති බව පෙන්වා දේ. මේ සම්බන්ධයෙන් පළ වන වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල වූ පෙර කතා කිහිපයක්
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට රුපියල් මිලියන 460 ක් ගනු ලැබුවේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් බවට පාඨලී චම්පික රණවකගෙන් චෝදනා
චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කිරීම සඳහා ඉන්දියාව වැය කර ඇත්තේ ඩොලර් මිලියන 263ක් පමණක් බව ත්, 2012 වසරේ සුප්‍රීම්සැට් අභ්‍යවකාශගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 320ක් වැය කර ඇති බව ත් ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුප්‍රීම්සැට් සඳහා වන දැවැන්ත වියදම සහ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදා රජයෙන් ඉල්ලා තිබුණා. එම අවස්ථාව මෙතනින්.
මෙම චන්ද්‍රිකාව ස ජාතික ආදායමෙන් භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 320ක් වියදම් කළ බවට ජාතික ජන බලවේගයෙන් ද, අදහස් ප්‍රකාශය කර තිබුණේ මෙලෙසින්. Supreme SAT හි ඇති වෘත්තීමය පළ පුරුද්ද සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එම දිනවල පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමක් මෙතනින්.
මීට අමතරව නොයෙක් දේශපාලනය කණ්ඩායම් විසින් ද සුප්‍රිම්සැට් හි කක්ෂ ගත කළ බව කියන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් නොයෙනකුත් මත පසුගිය අවුරුදු කිහිපයේම නොයෙකුත් අවස්ථාවල ඉදිරිපත් කර තිබුණා.
SUPREMESAT හි නිවේදනයක්
වසර 13 ක් පුරා මේ රටේ ගෞරවණිය ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතාව වෙනුවට සත්‍යය අනාවරණය වීම සුප්‍රීම් සැටලැබූ සැබෑම ජයග්‍රහණයක් බවට සදහන් කරමින් ඔවුන් විසින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර තිබුණා.කිසිදු රාජ්‍ය අරමුදල්, සම්පත් හෝ අනුග්‍රහයක් කිසිදා භාවිතා නොකල පුද්ගලික ආයෝජනයක් බවත් ඔවුන් සදහන් කරමින් SUPREMESAT-1 චන්ද්‍රිකාව මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවරදිව සක්‍රීය ලෙසින් පවතී. මුලික දියත් කිරීමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇති බව ත් එම නිවේදනයෙන් පවසා තිබෙනවා. SupremeSat සමාගම බහු නෛතික රාමු යටතේ නිසි දේශීය හා අන්තර් ජාතික නීති රෙගුලාසීන්ට යටත්ව, නිසි අවසරයන් යටතේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වේ. නිසි දැනුමක් අවබෝධයක් නොමැති හා ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් පිළිබඳව හා ඔවුන් විසින් කරන පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් අප සමාගම දැඩි කණගාටුව ප්‍රකාශ කරන බවත් එහි තවදුරටත් සඳහන්.
සුප්‍රීම් SAT සහ රොකට් චන්ද්‍රිකා ව්‍යාපෘති සම්බන්ධයෙන් 2012 වසරේ සිට පැවති රජයන් දිගු කලක් නිහඬව සිටීම, වසර ගණනාවක් පුරා මහජනතාව සහ මාධ්‍ය අතර මේ පිළිබඳ ගැටලු මතු කිරීමට හේතු විය. පැහැදිලි තොරතුරු හෝ නිල හෙළිදරව් කිරීම් නොමැතිකම, රජයේ අරමුදල් සම්බන්ධ වීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොතිබුණු බව ත් මේ පිළිබඳ අදාළ පාර්ශවයන් මෙන් ම බලධාරීන් මේ සඳහා පිළිතුරු බඳිනවා වෙනුවට නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්, ඇතැම් අවස්ථාවලදී යොමු කරන ප්‍රශ්න වලින් පිළිතුරු නොදී පළා යමින් ඉඳ හිටි හැටියේ එක් වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් සියල්ල පැහැදිලි බවට පෙන්වීමට උත්සහ දරන බව ත්, සමාජයේ කතා බහට ලක්වන කරුණක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී චානක අගමැතිනියගෙන් මේ සම්බන්ධ ප්‍රශ්නයක් යොමු කිරීම, එමඟින් ආයෝජන මණ්ඩලය (BOI) ඉක්මනින්ම පිරිසිදු වාර්තාවක් නිකුත් කිරීමට පෙළඹුණු බවත්, මෙම සිදුවීම් අනුපිළිවෙල කාලය සහ රජයේ සමස්ත ප්‍රවේශය සම්බන්ධයෙන් ද, තව ත් පාර්ශවයන් ගැටලු මතු කරයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ මහජන විශ්වාසය සඳහාමෙම ගැටළු වලට විසඳුම් ලෙස විනිවිද පෙනෙන සහ සවිස්තරාත්මක සත්‍ය වූ තොරතුරු සැපයීම රජයේ වගකීම බව තව ත් පිරිස් අවධාරණය කරනු ලබයි.
මේ පිළිබඳව ඉදිරියේදී ඉදිරිපත් වන තහවුරු වූ තොරතුරු මත මෙම ලිපිය යාවත්කාලීන කිරීම අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
“අගමැතිණිය කල ‘සුප්‍රිම්සැට්‘ කථාවෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරලා.. අගමැතිණියගේ මතය රජයේ මතය නොවන බව සභානායක බිමල් කියයි..” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය අතර අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත.

Title:අගමැතිගේ ‘සුප්‍රීම්සැට්’ කතාව සහ කැබිනට් වගකීම පිළිබඳව බිමල්ගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Pavithra SandamaliResult: False
