දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා ඊට අදාළ විවිධ වූ සමාජ මාධ්‍ය සටහන් ඉතා ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින ආකාරයක් දැකගත හැකියි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන තීන්දුව ලබාදුන් මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1:
“සුබ පැතුම් නිලුපුලී ලංකාපුර මැතිනියනි. කොළඹ කොටුව මහේස්ත්රාත් ලෙස ඔබගේ අවසාන අධිකරණ ක්රියාවලිය රනිල් වික්රමසිංහ මහතා සිරගත කළ තීන්දුව බව දැනගත්තා.
මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීම අගවිනිසුරු අත්සන් කළ විගස ක්රියාත්මක බව දැනගත් අතර එය ලබන සදුදාම ඔබ වෙත ලැබෙතැයි විශ්වාස කරනවා. කීර්තිමත් මහාධිකරණ සේවාවාකට සුබ පැතුම්.” යනුවෙන් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අඟහරුවාදා එනම් අද (26) දින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුවට වෙනම විනිසුරුවරයෙකු ඉදිරිපත් වනු ඇති බවයි.
මීට අදාළ තවත් සමාජ මාධ්‍ය සටහන් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරිනි.
(Facebook | Archived Link) (Facebook | Archived Link)
(Facebook | Archived Link) (Facebook | Archived Link)
Claim 2:
මේ අතර ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ තවත් සටහනක දැක්වුණේ, ඉකුත් 10 වැනිදා තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු දයා ලංකාපුර යනු කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරගේ පියාණන් බවයි.
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය දයා ලංකාපුරගේ දියණියක බවට වන තවත් සමාජ මාධ්‍ය සටහන් පළවී තිබුණේ මේ ආකාරයෙනි.
(Facebook | Archived Link) (Facebook | Archived Link)
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට අදාළව සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන්වල නිර්වද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Fact Check 1:
රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු රනිල් වික්රමසිංහ මහතා 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළේ ඉකුත් 22 වනදා ය.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් සහ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ මෙම නියෝගයෙන් පසු සමාජ මාධ්‍යයේ පළ වී ඇති ආකාරයට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද දිනයේ මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ලැබී ඇති බවට පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විකාශය වී තිබේ දැයි අප පරීක්ෂා කළ ද එවැනි කිසිදු පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර නොමැත.
මේ අතර මාධ්‍ය වාර්තා කරන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (26) යළි කැඳවීම සිදුවූ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණේ, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත රනිල් වික්රමසිංහ මහතා මුදා හරින ලෙසයි. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා අද අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරිණ.
මේ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය වැඩිදුරටත් නියෝග කර තිබුණේ, අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයන් සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ පියවර ගන්නා ලෙස යි.
තව ද අද (26) දහවල් නඩුව කැඳවීමට පෙර ද මාධ්‍ය වාර්තා කර තිබුණේ, මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කැඳවීමට නියමිත බවයි. සැකකාර හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 22 වනදායි.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගය නියමිතව තිබූ පරිදිම අද (26) යළිත් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ යළි කැඳවූ බව අප අධිකරණ වාර්තාකරු තහවුරු කළේ ය.
ඒ අනුව සමාජ මාධ්‍යවල සඳහන් පරිදි කොටුව මහේස්ත්‍රාත්වරියට උසස්වීමක් ලැබී නොමැති බවත් මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (26) යළිත් නඩුවට ද කැඳවා ඇති බවත් තහවුරු වේ.
එසේම මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ඇයට ලබාදෙන්නේ නම් එය සිදුවන්නේ අධිකරණ සේවා කොමිසම හරහා වන අතර අපට ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවද එම කොමිසම හරහා මේ ආකාරයේ කිසිඳු තීන්දුවක් ලබාගත් බවට පුවත් වාර්තාවක් සිදුව නොතිබිණ.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධ නියෝගයෙන් පසු කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියට මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ලැබෙන බවට වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය. එහිදී නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර කියා සිටියේ එවැනි කිසිදු සූදානමක් හෝ යෝජනාවක් නොමැති බවයි. තව ද මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අධිකරණ සේවා කොමිසම අනුමත නොකරන කිසිවෙකු පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බව ද නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
මේ අතර ඉකුත් 2024 වසරේ දෙසැම්බර් මාසයේදී අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්‍රාත්වරුන් කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබූ අතර අධිකරණ සේවා කොමිසම උපුටා දක්වමින් News 1st වාර්තා කර තිබුණේ ඒ යටතේ නිලුපුලී ලංකාපුර මෙනවිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කර ඇති බවයි.
Fact Check 2:
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතාගේ දියණියක බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් සම්බන්ධයෙන් විමසීම සඳහා අප දයා ලංකාපුර මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
එහිදී ලංකාපුර මහතා සඳහන් කළේ, මහේස්ත්‍රාත්වරියට තමාගේ කිසිදු ඥාතීත්වයක් නොමැති බවයි. තව ද තමාට සිටින්නේ එකම දියණියක බවත් ඇය රාජ්‍ය බැංකුවක සේවය කරන බවත් ඔහු සඳහන් කළේ ය. තවද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර තමන් කිසිදු අවස්ථාවකදී මුණගැසී නොමැති බව ද ලංකාපුර මහතා කියා සිටියේ ය.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති සටහන්වල අන්තර්ගත තොරුතුරු මඩ ගැසීමේ අරමුණින් සිදු කරන පදනම් විරහිත අසත්‍ය ඒවා බව ද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා කියා සිටියේ ය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර
ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා ඉකුත් 11 වැනිදා ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබිණ.
1965 වසරේදී, ඇත්ත, පුවත්පත හරහා පුවත්පත් කලාවට අවතීර්ණය වූ ලංකාපුර මහතා සිළුමිණ, දිවයින, දිනමිණ, රිවිර සහ ලක්බිම ඇතුළු පුවත්පත් රැසක සේවය කර ඇති අතර අධිකරණ වාර්තාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති පුවත්පත් කලාවේදියෙකි.
කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව සහ අපරාධ යුක්ති කොමිෂන් සභාවේ අප්‍රේල් කැරැල්ලේ නඩු විභාගය වාර්තා කළ ලංකාපුර අධිකරණ වාර්තාකරුවෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
ඊට අමතරව පාර්ලිමේන්තු සහ දේශපාලන වාර්තාකරුවෙකු ලෙස මෙන් ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ද සේවය කර ඇති ලංකාපුර මහතා දශක 6කට වැඩි මාධ්‍ය අත්දැකීම් සහිත ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.
රත්ගම දේව පතිරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු කොළඹ සරසවියේ උපාධිධාරියෙකි. කැනඩාවේ වෙස්ටන් ඔන්ටාරියෝ සහ තාන්‍යයේ බ්‍රැඩ්ෆෝඩ් යන විශ්වවිද්‍යාලවල මෙන් ම කොරියාවේ මාධ්‍ය පුහුණු ආයතනයේ ජනමාධ්‍ය පාඨමාලා හදාරා ඇති ඔහු ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ උපදේශකයෙකු ලෙස සේවය කර ඇත. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින්.
එසේම මීට වසර හතකට පෙර සිදුකළ සම්මුඛ සකච්ඡාවක් අතරතුර දී ද දයා ලංකාපුර මහතා සිය බිරිඳ සහ දරුවන් පිලිබඳ තොරතුරු සඳහන් කරන අතර එහිදී පවසා සිටින්නේ ද තමාට පුතුන් දෙදෙනෙකු සහ දුවෙකු සිටින බවත් ඔවුන් සියල්ලන්ම ඒ වන විටත් විවාහ වී සිටි බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව නියමිතව තිබූ පරිදිම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද යළි (26) කැඳවූ අතර ඒ අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි මහේස්ත්‍රාත්වරියට උසස්වීමක් ලැබී නොමැති බවයි. ඒ අනුව අද (26) දින නඩුවට වෙනම විනිසුරුවරයෙකු ඉදිරිපත් වනු ඇති බවට පළවී තිබූ සටහන් ද අසත්‍යයි. තව ද තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති දයා ලංකාපුර කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරගේ පියාණන් බවට වන සටහන්වල ද කිසිදු සත්‍යතාවක් නොමැති බව දයා ලංකාපුර මහතාගෙන් සිදු කළ විමසීමේදී තහවුරු විය. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් අසත්‍ය වූත් පදනම් විරහිත ඒවා බව පැහැදිලි වේ.

Title:කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ගැන පළවන සමාජ මාධ්‍ය සටහන් ඇත්ත ද?
Fact Check By: Sagarika ChathumaliResult: False
